බාලයාට සංසාරය දිගය
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
කේන්තියෙන් පුද්ගලයකුට
දියුණුවක් නොලැබේ.
අයහපතක්ම මිස යහපතක් සිදු නොවේ. පසුබැස්මක් සිදුවෙනවා මිස
අභිවෘද්ධියක් සිදු නොවේ.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයෙහි ‘ජම්බුක’ නම් ආජීවකයෙක් රජගහ
නුවර ඇසුරු කරගෙන ජීවත් විය. ‘ජම්බුක’ ආජීවකයා පෙර කාශ්‍යප බුදුරජාණන්
වහන්සේගේ කාලයෙහි උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදි බව ලබා කටයුතු කළ කෙනෙක්
විය. පැවිදි බව ලබා කටයුතු කළත්, පැවිදි දිවියට අවශ්‍ය කරන පිළිවෙත්
ඔහු ළඟ නොතිබුණි. ඒ නිසා සසර කෙටිකර ගැනීම සඳහා මහණදම් නොපිරූ නිසාම
සංසාරය දීර්ඝ වන ආකාරයේ ක්‍රියාවල නිරත විය.
එම හිමියන් වැඩවාසය කළ පන්සලට රහතන් වහන්සේ නමක් වැඩම කළහ. රහතන්
වහන්සේ තුළ පැවැති ශාන්ත සන්සුන් බවත්, ඉතා මැනවින් ධර්මය දේශනා කිරීම
නිසාත් එම පන්සලට උදව් කරන ප්‍රධාන දායක මහතා භික්‍ෂූන් වහන්සේට වඩා
රහතන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයක් ඇතිකර ගන්නා ලදී. එම ප්‍රසාදය නිසාම
ඉතාමත් ප්‍රණීත ආකාරයට සකස් කරන ලද දානය රහතන් වහන්සේට පූජා කරන ලදී.
හිස රැවුල් බෑමට පහසු වන උපකරණ හා භික්‍ෂූන් වහන්සේ නමකට පහසුවෙන්
සැතපිය හැකි ආකාරයේ පූජා ද්‍රව්‍යයන්ද පූජා කරන ලදී. එම පුද පූජාවන්
කරන දායක මහතා සමඟ එම භික්‍ෂූන් වහන්සේ අමනාපයක් ඇතිකර ගත්තේ ය.
තමන්ගේ දායක මහතා තමන්ගේ විහාරයේම වැඩ සිටින වෙනත් භික්‍ෂූන් වහන්සේ
නමකට මේ ආකාරයෙන් උවටැන් කිරීම ගැන හිතේ අසතුටක් ඇතිකර ගත්තේ ය. මෙම
පන්සලට වැඩි ආගන්තුක භික්‍ෂූන් වහන්සේ රහතන් වහන්සේ නමක් යැයි පන්සලේ
වැඩ සිටි නායක හාමුදුරුවන් සහ එම හාමුදුරුවන්ට උවටැන් කළ දායක මහතා දැන
නොසිටියහ. පන්සලේ නේවාසික හාමුදුරුවන් තමන් වෙලත්, තමන්ට එසේ ගරු
සැලකිලි නොකොට ආගන්තුක භික්‍ෂුවකට උවටැන් කිරීම නිසයි හාමුදුරුවන්
නොසතුටට පත් වූයේ, රහතන් වහන්සේ පිළිබඳව නොමනාප සිතින් සිටි භික්‍ෂූන්
වහන්සේගේ සිතේ බරපතළ කේන්තියක් ඇතිවිණි. කේන්තියේ ස්වභාවය නොමනාපයෙන්
යමක් ගැන හිතනවා නම් ඒ පිළිබඳව සිතන්න, සිතන්න කේන්තිය වැඩි වේ.
කේන්තිය අඩුකර ගැනීමට නම් වෙනම උත්සාහයක් තිබිය යුතු ය. තමන් වෙත
කේන්තිය පැමිණි සිද්ධිය අමතකර දැමිය යුතු ය. ඒ තැනින් ඉවත්ව එය තමන්ට
අනවශ්‍ය දෙයක් ලෙස සිතිය යුතුයි. සාමාන්‍යයෙන් එසේ සිතා සිතේ ඇතිවන
කේන්තිය දුරු කර ගන්නේ තරමක් හෝ දැනුම් තේරුම් ඇති බුද්ධිමත්
මිනිස්සුය. එතරම් දැනුමක් නැති අනුවණ මිනිසුන්ට එසේ කළ නොහැකිය. ඔවුන්ට
හටගත් කේන්තියෙන්ම නැවත නැවතත් සිතීම නිසා කේන්තිය වැඩි වේ. ඊට පසුව එම
කේන්තිය වචනයෙන්ද ප්‍රකාශ කැරේ. අනතුරුව ක්‍රියාවලින් යම් යම් දේ
කිරීමට ද පෙළඹේ. මෙය අවස්ථා තුනකින් යුක්තවේ. පළමුව කේන්තිය මානසිකව
හටගත් දෙයකි. ඒ පිළිබඳ සිතා කල්පනා කළ විට කේන්තිය වැඩි වේ. දෙවන
අවස්ථාව ලෙස පරිසරයත් දැනුවත් වෙමින් කේන්තිය වචන මගින් ප්‍රකාශ වේ. එය
වර්ධනය වූ විට කය ක්‍රියාත්මක වේ. එය කේන්තියේ ස්වභාවයයි.
කේන්තියෙන් පුද්ගලයකුට දියුණුවක් නොලැබේ. අයහපතක් මිසක් යහපතක් සිදු
නොවේ. පසුබැස්මක් සිදුවෙනවා මිස අභිවෘද්ධියක් සිදු නොවේ.
ඉහත සඳහන් කළ භික්‍ෂූන් වහන්සේත්, දායක මහතා පිළිබඳව කේන්තියෙන් ඒ
පිළිබඳවම සිත සිතා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස රහතන් වහන්සේට දොස් පරොස්
කීමට පටන් ගත්තේ ය. “මගේ දායකයා පූජා කළ සුව පහසු ඇතිරිලිවල සැතපෙනවට
වඩා බිම නිදාගැනීම නරකද? මගේ දායකයා පූජා කළ උපකරණ වලින් හිස් රැවුල්
බා ගැනීමට වඩා නරකද තල් ඇටයක් තබා කෙස් ගහින් ගහ ගලවා දැමීම. මාගේ
දායකයා පූජා කරන ප්‍රණීත දානය වළඳනවාට වඩා නරකද මල පහ වළඳන එක” ආදී
වශයෙන් නින්දා සහගත ආකාරයට හිතේ තිබූ කේන්තිය, කෝපය තරහව, වෛරය පෙරදැරි
කරගෙන රහතන් වහන්සේ නමක් යැයි නොදැන උන්වහන්සේට දොස් පරොස් නැගීය.
රහතන් වහන්සේ නමක් යනු සමාජය පිළිබඳව, පුද්ගලයා පිළිබඳව, දැනුම් තේරුම්
තිබෙන බුද්ධිමත් උත්තමයෙක්. උන්වහන්සේ කල්පනා කළා. මේ මෝඩ භික්‍ෂුව
සිවුරු පොරවගෙන හිටියත් සිවුරට ගැළපෙන ක්‍රියා කරන්නෙ නැහැ. ඒ භික්‍ෂුව
කරන වැඩ කටයුතු මනුෂ්‍ය ධර්ම වලටත් ඔරොත්තු නොදෙයි. එම භික්‍ෂුවගේ හිත
එම භික්‍ෂුවටම පාලනය කරගත නොහැකි නිසා ඒ තුළින් එම භික්‍ෂුව තවත් පාප
කර්ම සිදු කර ගනී. මෙම සිදුකරගන්නා අකුසල්, පාප කර්ම නිසා, ඔහුගේ සංසාර
චක්‍රය දුක්ඛිත වෙමින් තව දුරටත් දිග්වේලා. මේ සිද්ධිය මෙසේ වන්නේ මම
මේ ආරාමයේ නේවාසික වී සිටියොත් යැයි රහතන් වහන්සේ ඒ පිළිබඳව සිතූහ.
එනිසා මේ පිළිබඳව එම දායක මහතාට ප්‍රකාශ කළහොත් එම දායක මහතාත් මේ
ස්වාමීන් වහන්සේ සමඟ උරණ වෙයි. එසේ වුවහොත් දායක මහතාගේ මනසට ද අකුසල
ධර්ම හා පාප ධර්ම රැස්කරගන්නා නිසාම ඔහුගේත් සංසාරගත ජීවිතය කටුක සහගතව
දිග්වීමට ඉඩ ඇත. එබැවින් මෙම දෙදෙනාටම හානියක් නොවන අයුරින් ඉතාමත්
රහසිගතව රහතන් වහන්සේ වෙහෙරෙන් බැහැර වූහ. ඔවුන් දෙදෙනාටම මෙම සිද්ධි
පවසා පැහැදිලි කර දී සන්සිදුවීමට නොහැකි බව රහතන් වහන්සේ තේරුම් ගත්
හෙයින් එවැනි තීරණයක් ගන්නා ලදී.
එම අකුසල කර්ම කළ භික්‍ෂූන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දවස රජගහ
නුවර එක්තරා දෙමාපිය යුවළකට පුතකු වශයෙන් උප්පත්තිය ලැබීය. කුඩා
කාලයේදී කිරි නොබීය. තරමක් ලොකු මහත් වන විට කොණ්ඩය කැපීමට ඉඩ නොදුන්හ.
කොණ්ඩය කැපීමට ඔහු විරුද්ධ විය. ගෙදර සුව පහසුවට අසුන් තිබුණත් ඒ ළමයා
කටුක ලෙස නිදාගත්තේ බිමය. කොතරම් රසට කෑම දුන්නත් ඒවා භුක්ති නොවින්දහ.
දරුවා ආහාර වශයෙන් මිනිස් සිරුරේ අපද්‍රව්‍ය ගන්නා බව දෙමාපියන්ට පසුව
දැනගන්නට ලැබුණි. දරුවාගේ මෙම තත්ත්වය වෙනස් කරන්න දෙමාපියන් කෙතරම්
මහන්සි ගත්තත් පලක් නොවූහ. පෙර සංසාරයේ කරන ලද කර්ම වෙනස් කිරීමට මවට
පියාටවත් පුළුවන්කමක් නොමැත. රහතන් වහන්සේට චෝදනා කළ ආකාරයට ඔහුගේ
ජීවිතය තුළ හැසිරීමට පටන් ගන්නා ලදී. මෙම දරුවාගේ ක්‍රියා කලාපයන්
ඥාතීන් අසල්වාසීන් දැනගතහොත් ඔවුන්ට නින්දාවක් වන හෙයින් මෙම දරුවා
නිවසින් පිටමං කළේ ය. දෙමව්පියන් මෙම දරුවා නිගණ්ඨයන් සිටින නිගණ්ඨ
ආරාමයකට බාර කළේ ය. මිනිසුන් රැගෙනවිත් දෙන ආහාර පාන නොගන්නා බවත්,
මිනිසුන්ට නොගැලපෙන ආහාර ගන්නා බවත්, නිගණ්ඨයන් වටහාගත්හ. මේ බව
මිනිසුන් දැනගතහොත් මෙම ආරාමයට මිනිසුන්ගේ පැමිණීමත් නතරවිය හැකි යැයි
සිතා ආරාමයෙන් නෙරපා දැමීය. පසුව මොහු තනියම ගහක් මුලට වී භාවනා කරන
ආකාරයෙන් හිඳිමින් මිනිසුන් එන විට තනි කකුලෙන් හිටගෙන සිටියහ. කකුල්
දෙකම බිම තැබුවහොත් මේ මිහිකතට ඔරොත්තු නොදී මහපොළොව දෙදරා යන තරම්
බලයක් ඔහුට තිබෙන බවට ප්‍රකාශ විය. කෑම බීම නොගන්නා බවත් වාතය පමණක්
ආඝහණය කරන බවත් මිනිසුන්ට ප්‍රකාශ කරන ලදී. එනිසා ඇතැම් මිනිසුන් මොහු
ආගමික ශාස්තෘවරයකු ලෙස ඇදහීමට පටන් ගන්නා ලදී. මෙම ‘ජම්බුක’ ආජීවකයා
පෙර සංසාරයේ කළ අකුසල් නිසා, අපායේ දුක් විඳ මනුෂ්‍යයෙක් වී ඉපදෙන්න
පින් තිබුණත්, මනුෂ්‍යයන්ට නොගැළපෙන කෑම බීම, නොගැළපෙන ක්‍රියා
පිළිවෙතක් අනුගමනය කළේ ය.
“ජම්බුක” ආජීවකයාගේ අකුසල් ස්වභාවය හඳුනාගෙන බුදුරජාණන් වහන්සේගේ බණ
පදයක් දේශනා කරනු ලැබූහ. මිනිස්සු ජීවත් වෙන බවත්, ජීවත් වීම සඳහා
නොයෙක් දේ කරනා බවත්, එය එතරම් වැදගත් දෙයක් නොවන බවත්ය. මනුෂ්‍යත්වයක්
ලබන්නේත්, වැඩි ආයුෂයක් භුක්ති විඳින්නේත්, පෙර සංසාරයේ පිනක් නිසා බව
වුවත් මනුෂ්‍යයා කරන ක්‍රියා සහ කියන දේ වඩා වැදගත් වේ. ‘ජම්බුක’
ආජිවකයා ආගමික නායකයකු ලෙස ඇතැම් අය පිළිගත්තද, බුදු දහමට අනුව එබඳු අය
යහපත් මිනිස්සු බවට පත් නොවේ. තමන් සමාජයට තිළිණ කරන දෙය සහ සමාජයෙන්
උරාගන්නා යහපත් දෙය තමන්ගේ ජීවිතයට වැදගත් වන්නේ ය. අනුවණ මනුෂ්‍යයත්
ප්‍රඥාවන්ත මනුෂ්‍යයත් හඳුනාගත හැකි එකම රේඛාව මෙය වේ |