UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාරම්මිණිය ගාමිණී අශෝකාරාමය

 නාරම්මිණිය ගාමිණී අශෝකාරාමය

කැලණිය, නාරම්මිණිය, අශෝකාරාමය වසර තිහක් පමණ පැරණි ආරාමයකි. බෝධීන් වහන්සේනමක් හැරුණු විට, කුඩා ආවාස ගෙයක් පමණක් පැවති, එදා මඩ වඟුරක් සහිත විහාරස්ථානය වර්තමානයේ සකලාංගයන්ගෙන්ම සමන්විත පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට විහාරාධිපති ගිරාඋල්ලේ ඤාණසිරි ස්වාමීන් වහන්සේට හැකිවී ඇත්තේ උන්වහන්සේ සතුව ඇති කැපවීමත්, අප්‍රතිහත ධෛර්යයත් නිසා ය. ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාව අනුව යමින් උන්වහන්සේට මේ උදාර කර්තව්‍යයේ දී උපදෙස් සපයමින් නිරන්තරයෙන් මග පෙන්වන්නේ ගුරුඋත්තම ගැවිලිපිටියේ පඤ්ඤාරංසි ස්වාමීන් වහන්සේයි.

නාරම්මිණිය, ගාමිණී අශෝකාරාමයේ සුවිශේෂිතම නිර්මාණය වන්නේ අභිනවයෙන් ඉදිකර ඇති ‘සම්බුදු මාලිගාවයි’ සීමිත භූමි ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ගනිමින් විහාර බිම සකස් කර ඇති අතර සම්බුදු මාලිගාව, ගිරාඋල්ලේ ඤාණසිරි හිමියන්ගේ සංකල්පයක් අනුව රමණීය අයුරින් ඉදිකර ඇති අතර එය ප්‍රදේශයටම මහත් වූ ආලෝකයකි.

එම සම්බුදු මාලිගාව ප්‍රධාන වශයෙන් මහල් දෙකකින් සමන්විත වේ. සම්බුදු මාලිගාවට ඇතුළු වන පිවිසුම් දොරටුව විශාල දැකුම්කළු තොරණක ස්වභාවය ගන්නා නිර්මාණ කිහිපයකින් සමන්විත වන අතර පුන් කලස්, දොරටු පාල රූප ආදී බෞද්ධ කලා සම්ප්‍රදායන්ට අයත් අංගයන්ගෙන් අලංකාර කර ඇත. ඊට අමතරව අලංකාරව නිම කර ඇති බිතු සිතුවම් කිහිපයක් මාලිගාවේ පළමු මහලේ දැකගත හැකි වන අතර ඒ බිතු සිතුවම් අතරින් සුමේධ තාපසයන් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගැනීම, බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම, බුදුරජාණන් වහන්සේට දෙව්දත් තෙරුන් ගල් පෙරළීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට වැඩම කරවීම ආදී නිර්මාණ සුවිශේෂී ස්ථානයක් ගෙන දෙමින් බුද්ධාලම්භන පී‍්‍රතිය ජනිත කරවීමට සමත් වී ඇත. මෙම නිර්මාණයන්ට අමතරව සූවිසි බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින අයුරින් බුද්ධ මන්දිරය සකස් කොට ඇති අතර ගුරු පූජාවක් වශයෙන් ගැවිලිපිටියේ පඤ්ඤාරංසි ස්වාමීන් වහන්සේගේ රුවක් ද සිතුවමට නඟා ඇත. මේ සියල්ලට අමතරව සීමිත භූමි භාගයක පොළව යට ඉදිකරමින් යන ‘අපාය’ පිළිබිඹු කරන සිතුවම් හා නිර්මාණයන්ගෙන් පළමු මහල අලංකාර කොට ඇත. සම්බුදු මාලිගාවේ දෙවැනි මහල වඩාත් සුවිශේෂී වන අතර එම මහලට පිවිසීමෙන් පසු දැකුම්කළු අංග කිහිපයක් දැක ගත හැකි වේ.සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට අභිනවයෙන් ඉදි කළ සිළුමිණි සෑය’ ලෙස නම් කොට ඇති ස්ථූපයන් වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කර ඇත්තා වූ සමාධි පිළිම වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කළ පරිනිර්වාණ මංචකය, බෝධීන් වහන්සේ, පිහිටා තිබීම සුවිශේෂී මෙන්ම ආකර්ෂණීය දර්ශනයකි.

කැලණිය, නාරම්මිණිය, ගාමිණී අශෝකාරාම විහාරස්ථානයේ, සම්බුදු මාලිගාව තුළ ඉදි වූ සිළුමිණි සෑය බෞද්ධ ජනයාගේ චිත්ත සන්තානය විචාරශීලී නව මඟකට යොමු කිරීමට සමත් වී ඇත. මෙම ස්ථූපය විශේෂිත ආකෘතියකින් යුක්ත බෞද්ධ ස්ථූපයකි. එය චතුරස්‍රාකාර ස්ථූපයන්ගේ හා අෂ්ඨාකාර ස්ථූපයන්ගේ සංකලනයක් වශයෙන් දැක්විය හැක. චතුරස්‍රාකාර ස්ථූපයන්ගේ ස්වරූපය අනුව යමින් ක්‍රමයෙන් ඉහළට යාමත් සමඟම කුඩා වන සත් මහල් ප්‍රාසාදයන්ගෙන් යුක්තව සකස් වී ඇති අතර, අෂ්ඨාකාර ස්ථූපයන්ගේ ස්වරූපය අනුව යමින් එක් එක් ප්‍රාසාදයක් පැති අටකින් යුක්ත වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

මෙම ස්ථූපයේ ධාතු ගර්භයේ සර්වඥධාතූන් වහන්සේ නමක් නිධන් කර ඇති අතර දායක සුපින්වතුන්ගේ අනුග්‍රහය මැද නොයෙක් වටිනාකම් වලින් යුත් තවත් අගනා වස්තූන්ද නිධන් කර ඇත. මෙම ස්ථුපය මාලා හතකින් යුක්තව අෂ්ඨාකාර ස්වරූපයෙන් අලංකාරව නිර්මාණය වී ඇති අතර පළමු මාලකයට වඩා දෙවැනි මාලකය ප්‍රමාණයෙන් කුඩාය. ඒ මත ඇති තෙවැනි මාලකය ඊට වඩා කුඩා ය. මෙසේ සත්වැනි මාලකය දක්වාම ප්‍රමාණයෙන් කුඩා වෙමින් යයි. සත්වැනි මාලකයෙන් පසුව අලංකාර කොත් කැරැල්ලක් හා කොත් වහන්සේ නමක් තැන්පත් කර ඇත. මෙම ස්ථූපයේ මාලක හතේ විවිධ ආකාරයෙන් යුත් අලංකාර බුද්ධ රූප ප්‍රතිමාවට නඟා රන්වන් පැහැයෙන් ආලේප කොට සකස් කර තිබීම තවත් විශේෂත්වයකි.

මෙම නිරූපණයන්ට අමතරව පළමුවෙනි මාලයේ ගර්භය හිස්ව සකස් කොට ඇති අතර බැතිමතුන්ට වැඳුම් පිදුම් කර ගැනීමට හැකිවන අයුරින් ගර්භය ඇතුළතට පිවිසීමේ හැකියාව ද ඇත.

මෙම ස්ථූපය අඩි 70 ක් පමණ උස වන අතර නව ආරකට අනුව ඉදිකළ අද්විතීය නිර්මාණයකි. මියන්මාරය, තායිලන්තය, නේපාලය, චීනය, ජපානය, කොරියාව වැනි ආසියානු රටවල බෞද්ධයන් විසින් ඉදිකර ඇති පැපෝඩා යන ස්ථූප වර්ගය හා අනුකූල වීමක් ද ඉන් විද්‍යාමාන වේ. අභිනවයෙන් ඉදිකළ සම්බුදු මාලිගාවේ දෙවැනි මහලට පිවිසෙනවාත් සමග දැකබලා, වැඳ පුදා ගැනීමට හැකිවන අයුරින් සමාධි පිළිමවහන්සේ වැඩ හිටියි. මෙම පිළිම වහන්සේ තුළ උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේලා දෙනමක් වැඩ හිඳියි. සම්බුදු මාලිගාවේ ඉදිකොට ඇති සමාධි පිළිම වහන්සේ පසුකර දකුණු දිශාවට ගමන් කිරීමේ දී පරිනිර්වාණ මංචකය පිළිබිඹු කරන පිළිම වහන්සේ දැක ගත හැක.

සම්බුදු මාලිගාවේ දෙවෙනි මහලට පිවිසීමෙන් පසුව සිළුමිණි සෑය වන්දනා කර මදක් ඉදිරියට සක්මන් කරන විට බෝධීන් වහන්සේ කුඩා බෝ මළුවක් මධ්‍යයේ විරාජමානව වැඩ වාසය කරයි.ධාතු මන්දිරයේ සියලු වතාවත් සහ බුද්ධ වන්දනා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දිනපතා උදේ සවස සිදු කරනු ලබයි.

ගිරාඋල්ලේ ඤාණසිරි ස්වාමීන් වහන්සේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරු උපදේශක තනතුරක් දරමින් දරුවන්ගේ නැණ නුවණ වැඩීමේ මහඟු කර්තව්‍යයක නිරත වී සිටියි. ඒ අතරම උන්වහන්සේ මෙම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රදේශයේ දරුවන්ට භාෂා ත්‍රිත්වයෙන් (සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂාවලින්) දහම් අධ්‍යාපනය ලබා දීමට මහත් වූ වෙහෙසක් දරයි. ඒ සියලු කර්තව්‍යයන් සඳහාත්, විහාරස්ථානයේ දියුණුව සඳහාත් දායක සභාව, කුලඟන සභාව සහ ප්‍රදේශවාසී ජනතාව නොමදව උන්වහන්සේට අවශ්‍ය සහාය ලබා දෙයි.

කැලණිය, නාරම්මිණිය, ගාමිණී අශෝකාරාමයේ අභිනව සම්බුදු මාලිගාවෙහි ‘සිළුමිණි සෑයේ’ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි මස 18 වෙනි දින සම්භාවනීය අමුත්තන්ගේ පින්බර සුරතින් සිදු කිරීමට නියමිත වන අතර, එම පුණ්‍ය මහෝත්සවයට සමඟාමීව දින සතරක් පුරාවට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා සෙත් පැතීමටත්, සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමටත් කටයුතු සංවිධානය කර ඇත.

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]