පොඩි හාමුදුරුවෝ මායාදුන්නාරාමයට නවලෝකයක් බඳුය. උන්වහන්සේගේ
මහණවීමත් සමගම, පන්සල තුළ එතෙක් පැවති අන්ධකාරය පහවී ගියාක් මෙන්
ලොකුහාමුදුරුවන්ට දැනුණි.
පොඩි හාමුදුරුවන්ගේ කටහඬ මිහිරිය, සිනාව ප්‍රසන්න ය. නිතර හිස බූගා,
දැලි රවුල් කපා, පැහැපත් ලෙස දිවි ගෙවති. දිනපතා දිය නා පිරිසිදුව,
නොකිළිටි සිවුරු පළඳිති. අත්පා නිය කපා පිරිසිදුව සිටිති. අලස බවක්
නැත. උදේ හවා බුදුගෙට පිවිස තෙලින් මලින් බුදුන් පුදා අනතුරුව ගුරු
හිමි පා වඳිති. උදේ වරුවේ නම් බෝමලුව අමදිය.
පන්සලේ මහණ වූ අලුත පොඩි හාමුදුරුවෝ කළේ ගුරු දේවයන්වහන්සේගේ උපදෙස්
ලබා පන්සල් වත්ත පිරිසිදු කිරීමය. ඒ සඳහා උන්වහන්සේට කීප දෙනෙකුගේ
උපකාර ලැබිණ. එහිදී වත්තේ වැඩුණු හැම ඖෂධ පැළෑටියක්ම වට කොට,ගල් වැටි
දැමීමෙන්, ඒවා සුරක්‍ෂිත කිරීම, ලොකු හාමුදුරුවන්ගේ සතුටට හේතුවක්
විය.අනතුරවැ පන්සල ඇතුළත, මකුලුදැල් ආදිය කඩා පිරිසිදු කිරීමත්, ලොකු
සතුටක් වූයේ ලොකු හාමුදුරුවන්ටය.
දැන් දැන් පන්සලට යන එන අයත් වැඩිය. එහි අඩුපාඩු ගැන සොයා බලන අයත්
වැඩිය. පොඩි හාමුදුරුවන්ගේ මහණ වීමත් සමගම, පාලුවට ගිහින් තිබුණු
පන්සලට කලඑළියක් ලද බව නම් කවුරුත් කියති.
“පොඩි හාමුදුරුවනේ, මම පැටී මහත්තයා”
“ආ පැටී මහත්තයා, ඉතින් කොහොමද?”
“වරදක් නෑ හාමුදුරුවනේ, ඉන්නවා හොඳින්, මගේ අලුත්දායක සභා අදහස
සම්බන්ධයෙන්, අපේ ලොකු හාමුදුරුවො කුමක්ද කිව්වේ? “
“ලොකු හාමුදුරුවන්ටත් ඕනෑ වෙලා තියෙන්නේ හොඳ දායක සභාවක් පිහිටුවන්න
නමුත් දැන් තියෙන දායක සභාව විසුරුවන්න යෑමෙන්, ගම දෙකට බෙදිලා ප්‍රශ්න
ඇති වෙයිද කියන බය තියෙනවා. ලොකු හාමුදුරුවන්ට”
“පොඩු හාමුදුරුවනේ දැන් තියෙන දායක සභාවේ ප්‍රධාන සභාපති ටයි සමරසිංහ
මහත්මයා උප සභාපති පල්ලෙබැද්දේ අප්පුහාමි පොඩි හාමුදුරුවන්ගේ අයියණ්ඩි
පොඩි හාමුදුරුවන්ගේ අයියණ්ඩි ලේකම් මුදියන්සෙ උන්නැහේ. ඔය තුන් දෙනා
සමාජයට වැඩක් කරන අයද? පොඩි හාමුදුරුවී කියන්න මට? ”
“මම නම් ඔයනම් කියපු අය කෙරෙහි කිසිදු පැහැදීමක් නැහැ. පැටි මහත්මයෝ,
මට වැටහෙනවා .ඔය ඊනියා දායක සභාවෙන් නම් පන්සලට කිසිදු වැඩක් නැති බව!”
“මේ පන්සල දිව්‍ය ලෝකයක් කරන්න පුළුවන් දායක සභාව ශක්තිමත් නම්”
“පල්ලේබැද්දේ ගමේ පවුල් වලින් වැඩි හරියක් ටයි සමරසිංහ මහත්මයාගේ
නෑදැයෝ නේද? ”
“ඉතින් ?”
“ටයි මහත්තයගෙ දායක සභාව විසුරුවා හැරියොත්. ඒ පවුල් පන්සලෙන් ඈත්වෙයි
කියලා අපේ ලොකු හාමුදුරුවෝ කියනවා. “පොඩි හාමුදුරුවනේ ගමකට කිසිම වැඩක්
නෑ ගම්කාරයෝ කියන බමුණු පැලැන්තියෙන්.
“ඔව්”
“ඕනෑම ගමකට ගිහින් බලන්න මහා ලොකු ගම්කාරයෝ ගමේ දියුණුව සඳහා යමක්
කරනවද කියලා? නෑ! කරන්නෙත් නෑ කරන්න හදන අයට කරන්න දෙන්නෙත් නෑ!”
“අවාසනාවන්ත තත්ත්වයක් මේක”
“පිටින් ඇවිත් ගම්වල ඉඩම් අරන් පදිංචි වී සිටින අපි වගෙ පිටගංකාරයෝ
තමයි පොඩි හාමුදුරුවනේ ගමකට වැඩක් කරන්නේ! “
“ඇයි පැටි මහත්තයා අලුත් දායක සභාව ගැන අපේ ලොකු හාමුදුරුවෝ සමග කතා
නොකරන්නේ ? ”
“එහෙම නම් මම උන්වහන්සේ සමග කතා කරන්නද? “
ගමේ පන්සල වූකලී ගැමි විමුක්තියේ නිජබිමය. ගැමි සංස්කෘතියේ තෝතැන්නය.
බුද්ධ ධර්මයේ පසුබිම හඳුන්වා දෙන ශාන්ති නිකේතනයය. පන්සල්භූමිය, බරණැස
ඉසිපතනාරාමයේ මිගදාය වැනිය. නමුත් අවාසනාවකට මෙන් අද පන්සල් බිම ඇතැම්හු
පාවිච්චි කරන්නෙ වාද පිටියක් සමානවය. කුල මල කියා ගන්නා වදක බිමක්
ලෙසය. බොහෝ ගැමි පන්සල්වල දායක සභාවල් පවත්නේ අවුල් සහගත තත්වයකය.
පිටිසර ගැමි පෙදෙස්වල මේ තත්ත්තවය බොහෝ විට දක්නට ඇතත්, කොළඹ ගංගාරාමය,
කැලණිය රජ මහා විහාරය, බෙල්ලන්විල විහාරය, කොටා පාරේ ජයවර්ධනාරාමය,
කුප්පියවත්ත, සුනේත්‍රාදේවි විහාරය ආදි සිද්ධස්ථානවල දායක සභා
ක්‍රියාත්මක වන්නේ ප්‍රශංසනීය ආකාරයටය.
ලලිතා දැරිවියගේ නිවසේ සාංඝික දානයක් පිරිනැමීමේ සූදානමක් ඇති වූයේ
හිටිහැටියේය.ලලිතාගේ පියා රජයේ උසස් නිලධාරියෙකි. මව පාසල් ගුරුවරියකි.
පිනට දහමට ඔවුන් කැමති අය වුවද, එහි ඇලී ගැලී කටයුතු කරන අයම නොවේ.
නිවසට මහ සඟන මඩම්මවා දානයක් පිරිනමනු ලබන්නේ කිසියම් විශේෂ අවස්ථාවකදී
ය. නමුත් මේ සාංඝික දානයට එවන් විශේෂමය හේතුවක් ඇති බවක් නොකියැවිණ,
සාංඝික දානයට ආරාධනා ලද සීමිත ගෘහ ප්‍රධානින්හට දන්වා සිටින ලද්දේ
“අසවල් දින දහවල අපේ නිවසේ පැවැත්වෙන සාංඝික දානමය අවස්ථාවට සහභාගි වී
පින් රැස් කර ගනිත්වා” යන්න පමණය. බර්ලින් සුමනසේකර මහතා සහ එම මහත්මිය
විසින් හිටිහැටියේ සාංඝික දානයක් පරිනැමීමට කළ තීරණය
පිළිබඳව, පල්ලේබැද්දේ, එක එක නිවෙස්වල එක එක අදහස් පහළ විණ. සාකච්ඡා
කෙරිණි.
“ඔයගොල්ලෝ සම්මත අයියේ අපේ දාන ගෙදර එනවා නේද? ”
“එනවා ලලිතා නංගී එනවා අපේ අම්මයි තාත්තයි මමයි එනවා එනවාමයි”
“සන්තෝසයි අහන්න! “ඔය දානයට හුඟක් හාමුදුරුවරු එනවද?”
“අපේ අම්මා කිව්වා පන්සල් හතරකින් හාමුදුරුවරු දහ දෙනෙක් එන බව“
“එහෙනම් ලලිතා නංගී අපේ පන්සලේ ලොකු හාමුදුරුවොයි පොඩිහාමුදුරුවොයි
දෙන්නම දානයට ඒවි නේද? ”
“කිව්වේ නම් නෑ එන බව ආවොත් හොඳයි නේද? ”
පිරිමි දරුවන් හෝ වේවා ගැහැනු දරුවන් හෝ වේවා, ඔවුන්ගෙ චරිත හැඩ
ගැස්වීමට නම් සංඝ ඇසුරක් තිබිය යුතු බව, එදා ගැමියෝ විශ්වාස කළහ.
මතු සම්බන්ධයි
භික්ෂු සංඝස්ස -09 මහණ කළේ පන්සලේ දේපළ ආරක්‍ෂා කර ගන්න ද ? |