UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපේ වෙසක් උත්සවයේ අසිරිය

අපේ වෙසක් උත්සවයේ අසිරිය

දුටුගැමුණු මහරජතුමා තමාගේ සිය 24 අවුරුදු රාජ්‍ය පාලන සමයේ බුදුන් වහන්සේ උදෙසා වෙසක් පූජාවෝ “සුවිස්සක්” පැවැත්වූ බව මහාවංශයේ තිස්දෙවන පරිච්ඡේදයේද, ථූපවංශයෙහි හා පූජාවලියේද දක්වා ඇත. ක්‍රි.පූ. 19 යෙහිදී රාජ්‍යත්වයට පැමිණි භාතිකාභය රජතුමා තම 28 වර්ෂයක් වූ රාජ්‍ය පාලන කාලයේදී සෑම වර්ෂයකම “ මහා වෙසක් පූජාව“ පැවැත්වූ බව මහා වංශයේ  තිස්හතරවන පරිච්ඡේදයේ සඳහන්ව ඇත. මී, ගිතෙල්, උක්සකුරු, කිරිබත් ආදියෙන් දන්වැට පවත්වමින් මහාර්ඝ පූජාමය පරිහාරයෙන් හෙවත් විචිත්‍ර පුද පෙරහරින් වෙසක් උත්සවය සිදුකළ ආකාරය මහාවංශටීකාවේ දක්වා ඇත

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, සම්බුද්ධත්වයට පත්වීම හා පරිනිර්වාණය යන තෙමඟුල අනුස්මරණය කිරීම උදෙසා පැවැත්වෙන වෙසක් මංගල්‍යය ලක්දිව පැරැණි රජදවස පටන් ඉතා අත්‍යලංකාර අන්දමින් සැමරූ බව වංශකතාවන්හි සඳහන් වේ. අපේ අනෙකුත් බෞද්ධ උත්සව වලට මෙන් වෙසක් උළෙලටද දිගු ඉතිහාසයක් ඇත. පැරැණි සිංහල රජදවස එය මහත් හරසරින් සැමරූ ආකාරය පිළිබඳව මෙහිලා සලකා බැලීම අපේක්‍ෂා කෙරේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනයත් සමග දේවානම්පියතිස්ස රජ දවස ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත විය.එතැන් පටන් සෑම වසරක් පාසාම අඛණ්ඩව වෙසක් මහා මංගල්‍යය මෙරට වැසියන් විසින් සමරන ලද බවට සාක්ෂි රැසකි.දේවානම්පියතිස්ස රජතුමා බුදුසසුනට රාජකීය සම්බන්ධය තවදුරටත් තහවුරු කරනු පිණිස සිය දෙවන අභිෂේකය වෙසක් පොහෝ දිනෙක පැවැත්වූ බව මහාවංශයේ දැක්වේ.

දුටුගැමුණූ මහරජතුමා ‘විසා’ නැකතට අනුව රුවන්වැලි මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය පිණිස ප්‍රථම පස්පිඬැල්ල කැපුවේත්,තිස්ස රජතුමා තම අභිෂේකය සිදුකළේත් වෙසක් පොහෝ දිනක බව මහාවංශයේ එකොළොස් වන (11) හා විසි වන (20) පරිච්ඡේදවල සදහන්ය. අපේ පැරණි සිංහල බෞද්ධ රජවරුන් ‘විසා’ නැකතින් උදාවන වෙසක් මංගල්‍යය ඉතා උතුම් කොට සළකා කටයුතු කළ බව සඳහන් කළ හැකිය.

දුටුගැමුණු මහරජතුමා තමාගේ සිය 24 අවුරුදු රාජ්‍ය පාලන සමයේ බුදුන් වහන්සේ උදෙසා වෙසක් පූජාවෝ “සුවිස්සක්” පැවැත්වූ බව මහාවංශයේ තිස්දෙවන පරිච්ඡේදයේද, ථූපවංශයෙහි හා පූජාවලියේද දක්වා ඇත. ක්‍රි.පූ. 19 යෙහිදී රාජ්‍යත්වයට පැමිණි භාතිකාභය රජතුමා තම 28 වර්ෂයක් වූ රාජ්‍ය පාලන කාලයේදී සෑම වර්ෂයකම “ මහා වෙසක් පූජාව“ පැවැත්වූ බව මහා වංශයේ තිස්හතරවන පරිච්ඡේදයේ සඳහන්ව ඇත. මී, ගිතෙල්, උක්සකුරු, කිරිබත් ආදියෙන් දන්වැට පවත්වමින් මහාර්ඝ පූජාමය පරිහාරයෙන් හෙවත් විචිත්‍ර පුද පෙරහරින් වෙසක් උත්සවය සිදුකළ ආකාරය මහාවංශටීකාවේ දක්වා ඇත. ඉතා ශ්‍රද්ධා බුද්ධිසම්පන්න ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ බවද ඵෙතිහාසික වාර්තාවල ඔහුගේ පාලන සමය හා සම්බන්ධ තොරතුරුවල දක්වා ඇත.

ක්‍රි.ව. 67 –111 කාල පරිච්ඡේදයෙහි මෙරට රජකළ වසභ රජතුමාගේ සුසාලිස් වසරක් රාජ්‍ය කාලය තුල අඛණ්ඩව සැම වර්ෂයකම වෙසක් උත්සවය ඉමහත් හරසරින් සමරන ලද බව වංශකතාවන්හි සඳහන් වේ. වරින්වර මෙරටට එල්ලවූ පරසතුරු ආක්‍රමණ හා අභ්‍යන්තර අවුල් වියවුල් හේතුවෙන් රටේ සාමය විනාශ වී ගිය විටෙක නම් මෙවැනි බෞද්ධ පූජෝත්සව පැවැත්විය නොහැකි වන්නට ඇත. එහෙත් ඉතිහාසගත තොරතුරු වලින් සනාථ වන්නේ විදේශීය අන්‍යාගමික රජවරුන් පවා හා එකල ලක්දිව බෞද්ධ කටයුතු උදෙසා විශාල අනුග්‍රහයක් ලබාදී ඇති බවයි. සාමාන්‍යයෙන් වංශකතාවල සඳහන් වන්නේ වැදගත් රජවරුන්ගේ ශාසනික හා ශාසනයේ උන්නතියට ඉටු කරන ලද කාර්යභාර්යයන් පමණකි. කෙසේ වෙතත් පැරණි රජදවස වෙසක් උත්සවය අඛණ්ඩව පවත්වාගෙන එන්නට ඇතැයි විශ්වාස කළහැකිය.

බෞද්ධ කටයුතු කෙරෙහි අනුග්‍රහය දැක්වූ රජවරුන් අතර එළාර රජු විශේෂත්වයක් ගනී.වළගම්බා රජුගෙන් පසු අනුරාධපුර රාජධානියේ රජකම පැහැර ගත් තිරිතර, දාඨිය ආදි දෙමළ රාජ්‍ය පාලකයින් විහාරාරාමවලට විවිධ පරිත්‍යාගයන් කළ බව සෙල්ලිපිවල සඳහන් වේ. බෞද්ධ ජනතාවගේ සහාය දිනාගැනීමේ අපේක්‍ෂාවෙන් ඔවුන් එසේ කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. වසරක් පාසාම මහා වෙසක් උත්සව පවත්වා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට තුන් සිවුරු දේවි යැ’යි මෙරට රාජ්‍ය පාලනය ගෙන ගිය වෝහාරතිස්ස රජුගේ බෞද්ධ කටයුතු ගැන කියවෙන මහාවංශය සඳහන් කරයි. මෙමගින් තහවුරුවන්නේ එකල රජවරු මහා දානමය පුණ්‍ය කර්මයන් සඳහා සුදුසු දිනයක් ලෙස වෙසක් පූජෝත්සවය සැලකූ බවයි.

ක්‍රි.ව. 253 – 266 අතර කාලයේ රාජ්‍ය පාලනය කළ ගෝඨාභය රජුද, ක්‍රි.ව. 266- 278 අතර රජ කළ දෙටුතිස් රජතුමාද ඉමහත් හරසරින් විවිධ පුද පූජා පවත්වා වෙසක් මංගල්‍යය ඉතා අත්‍යාලංකාර අන්දමින් සමරන ලද බව වංශකතාවන්හි අන්තර්ගත තොරතුරුවලින් පැහැදිලිවේ. ක්‍රි.ව.618 – 623 අතර කාලයේ මෙරට රජකළ දල මුගලන් රජු වෙසක් පූජාදී චාරිත්‍ර සියල්ලක්ම ඉටු කළ බව මහාවංශයේ සඳහන් වේ.මෙමගින් තහවුරු වන්නේ එකල වෙසක් මංගල්‍යය රාජ්‍ය පාලකයින් විසින් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතුම වූ මහගු චාරිත්‍රයක්ව පැවති බවයි. චිරාගත සම්ප්‍රදායයන් නොකඩවා ආරක්‍ෂා කළ තරමට මහජනතාවගේ ආදරය, කරුණාව හා පක්‍ෂපාතිත්වය රජවරුන්ට දිනාගත හැකි වූයෙන් එලෙස වෙසක් උළෙල සෑම පාලකයෙකු විසින්ම මහත් හරසරින් සමරන ලද බව තහවුරු වේ.

ක්‍රි.වර්ෂ 07 වන සියවසින් පසුව වෙසක් උළෙල සැණකෙළි ස්වභාවයක් ගෙන ඇත.ආගමික උළෙලක් ලෙස සැලකූ වෙසක් මංගල්‍යය පසුකලෙක ජාතික උත්සවයක් බවට පත්වන්නට ඇත්තේ පැරණි සිංහලයන් විසින් බුදු උපත සිදුවූ මාසය තමන්ගේ අලුත් අවුරුද්ද වශයෙන්ද සැලකූ නිසායැයි ගොඩකුඹුරේ මහතා සඳහන් කරයි. ඔහු තවදුරටත් දක්වන්නේ සූර්යයා රාශි සංක්‍රමණයට පත්වීමෙන් ඇතිවන නක්ෂත්‍රවර්ෂය අලුත් අවුරුද්ද වශයෙන් සැලකීමේ සිරිත එකල මෙරට ව්‍යවහාරයේ නොපැවති බවයි.

ක්‍රි.ව. 853 –887 අතර කාලයේ දී මෙරට රාජ්‍ය පාලනය කළ දෙවැනි සේන රජු දවස ප්‍රථමවරට වෙසක් සැණකෙළියක් සම්බන්ධව තොරතුරු මහාවංශයේ දැක්වේ. එතුමා දුගී මගී යාචකාදීන්ට සියලු ආහාර පානාදියෙන් සංග්‍රහ පවත්වා වෙසක් උළෙල සැණකෙළි ස්වරූපයෙන් සමරා අත. “වෙසාඛ කීළං කිළෙත්වා” යන පාඨයෙන් එය ජාතික සැණකෙළියක ස්වභාවය ලත් බව තහවුරු වේ.

පොළොන්නරු යුගයේදීද වෙසක් උත්සවය ඉතා අත්‍යාලංකාරයෙන් ජාතික මහෝත්සවයක් වශයෙන් සැමරූ බව පූජාවලියෙහි මෙන්ම චූලවංශයෙහිද සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලවකවානුව තුළද ඉතා උසස් ආකාරයෙන් වෙසක් උළෙල සමරා ඇත. මහාවංශයේ වෙසක් පූජා “වෙසාඛ පූජා” නමින් හඳුන්වා ඇත. පසු කලෙක සාහිත්‍යකරුවන් එය “වෙසක් කෙළිය’ නමින් හඳුන්වා ඇත. මුල් යුගයේ දානමාන ආදි වත්පිළිවෙත් සඳහා මුල්තැනදී පැවැත්වූහ. වෙසක් උත්සවය පසුකාලයේදී කෙළිසෙල්ලම් වලින් සමලංකෘත සැණකෙළියක ස්වභාවය ගත් බව තහවුරු වේ.

එදා සිට මේ දක්වාම බෞද්ධයින්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ වෙසක් මහා මංගල්‍යය නොකඩවාම ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව මහත් අභිමානයෙන් සමරනු ලැබීම සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරනු ලබන උතුම්වූ කළ ගුණ සැලකීමේ මාහැඟි චාරිත්‍රය පසක් කරවයි.

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk