උවදුරු නිවාරණයට මෙත් සිත පතුරවමු
ජම්මික ප්‍රබෝධනී වැලිකල
තුරුලතාවන්හි පුෂ්පයන් විකසිත වී පල දැරූ වසන්ත සමය උදා වෙද්දී
කොවුලාගේ සුමිහිරි ගීත නාදය පරිසරයට රැගෙන එන්නේ නව ප්‍රබෝධයකි. ස්වභාව
ධර්මයේ මෙම අසිරිමත් සිදුවීමත් සමඟ නව අවුරුදු උදාව වූ සිංහල හා හින්දු
අවුරුදු සමය එළඹිණි. විශේෂයෙන් අප දේශයේ බොදු ජනතාව ආගම දහමට ප්‍රමුඛ
ස්ථානයක් ලබා දෙමින් නව අවුරුදු සුබ නිමිති සමඟින් ජීවිතයේ යහපත්
එළැඹුමකට පිවිසීමට අදිටන් කර ගනිති.
එමෙන්ම බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිරිතේ මහඟු ගුණ කදම්බය
මනසට වඩාත් හොඳින් මෙනෙහි වන බක් මාසයේ අවපසළොස්වක පොහෝදා සවණක් ඝන
බුදු රැස් මාලාවන්ගෙන් ලක් මාතාව දෙවන වරටත් ආලෝකවත් විය.
මෙසේ බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළේ සාමකාමී මිනිසුන් හා සතුටු
වීමටවත්, නව අවුරුදු උදාවේ අසිරිමත් බව වින්දනයට නොව ඇවිලෙන්නට ගිය යුද
ගැටුමක ගිනි දැල් නිවාලීමේ අපේක්‍ෂාව පෙර දැරි කරගෙන මහා කරුණාවෙන්ම ය.
බුදුරදුන් එදා අලුයම් කාලයේ දී මහා කරුණා සමාපත්ති සුවයෙන් ලොව දෙස
බලද්දී ලක්දිව නාගදීපයේ දී ඇතිවන්නට ගිය මහා යුද ගැටුමෙන් සිදුවන
විනාශය වටහා ගත් සේක.
චූලෝදර, මහෝදර ගෝත්‍රික ඥාති නායකයන් දෙදෙනා මිණි පළඟකට තණ්හාවෙන්,
අවිද්‍යාවෙන් අන්ධ වූහ. මෙයින් ඇතිවන මහා සංග්‍රාමයෙන් වැගිරෙන ලේ
ගංගාවට ගොදුරු වන්නේ වටිනා ජීවිත හිමි මිනිසුන් මෙන්ම චංචල හා නිශ්චල
දෑ විය හැකි ය. තණ්හාවෙන් උන්මාද වන මනසකින් මතුවන කුරිරු යුද්ධය
බිහිසුනු ය.
එදා අප මහා සම්බුදුපියාණන් වහන්සේගේ උතුරා පිටාර ගලන අපරිමිත මෛත්‍රී
කරුණා ගුණ සමුද්‍රයෙන් යුද ගිනි දැල් නිවා දමා සාමයේ සමගියේ අගය වටහා
දුන්නේ මේ අසිරිමත් බක් මහේ දී ය.
මෛත්‍රියේ මෙන්ම මහා කරුණාවේ ප්‍රතිමූර්තිය වූ බුදුපියාණන් වහන්සේ
පෙන්වා දුන් අහිංසාවාදී, සදා සැනසුම්දායක සදහම් මාවතට පිවිසෙන සැබෑ
බෞද්ධයා තුළ ද පීඩාවක්, ප්‍රාණඝාතයක්, කලහයක්, ආරවුලක්, අමනාපකමක්
සිදුවීමට ඉඩක් නොමැත. එදා චණ්ඩාශෝක යුද ගිනිදැල් සදහටම නිවා දැමූ
බුදුරදුන්ගේ අනුගාමිකයෙකු වී ධර්මාශෝක බවට පත්විය. නිසිමග දැන ගිය
ධර්මාශෝක රජතුමා සැබෑ බෞද්ධ නිරිඳකු ලෙස ප්‍රකට වූයේ මේ උතුම් බුද්ධ
ධර්මයේ සරණ සොයා ගිය බැවිනි. කෙනකුගේ අභිවෘද්ධිය වෙනුවෙන් අකුල්
හෙළමින් ඊර්ෂ්‍යා කරන දුබල මිනිසුන්ට යථා තතු පහදා දෙමින් මෛත්‍රී
කිරීම බෞද්ධයාගේ සැබෑ යුතුකම වන්නේ ය. එසේම මෙත් වැඩීමේ උතුම් ගුණයෙන්
ඔහුගේ සිත නිබඳව පිරී පැවැතිය යුතු ය. කෙනෙකුට තවත් අයකු කෙරෙහි මෙත්
සිත් පැතිරවිය හැකිනම් එයින් ලබන ආනිසංස ද අපමණ යැයි ‘මෙත්තානිසංස
සූත්‍රයෙන්’ බුදුන් වහන්සේ දේශනා කළ සේක.
‘මහණෙනි, මේ සසුනෙහි යම් භික්‍ෂුවක් අසුරු සැණක් වැනි වූ කෙටිකාලයක්
වුවද සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරුවන්නේ නම් එවන්නෙකු මේ සසුනෙහි
නොසිඳ වූ ධ්‍යාන ඇත්තෙකු බවත් ඔවදන් පිළිපදිමින් දායකයන් විසින් දෙනු
ලබන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළඳන්නේ යැයි ද කියනු ලැබේ. යම් කෙනෙක් මෙත්
සිත නැවත නැවත පතුරයි නම් වඩාත්, ඔවුන් ගැන කුමක් පවසන්නේ දැ යි ‘චුල්ල
අච්ඡරාසංඝ’ සූත්‍රයෙන් ද වදාරා ඇත.
චූලෝදර, මහෝදර නා රජවරුන්ගේ මෝහයෙන්, බලකාමයෙන්, අවිද්‍යාවෙන් වෙළුණු
සිත් සතන් මුදු මොළොක් කරවූ මහා කාරුණිකයාණන් වහන්සේ සමඟියේ අගය පෙන්වා
දුන් සේක. එසේම බුදුරදුන් දෙව්රම්වෙහෙර දී වැඩ සිටි සමයේ දී
මෙත්තානිසංස සූත්‍රය වදාළ අයුරු ජාතක පොතෙහි දැක්වෙන ‘ආරක ජාතකයෙන්’
කියැවෙයි.
මහණෙනි, පුරුදු කළ මෙන්ම වර්ධනය කරන ලද මෙත් සිත් ඇත්තන්ට ඉෂ්ට විපාක
එකොළහක් තිබෙන්නේ යැ’යි බුදුපියාණෝ වදාළහ. සුවසේ නිදයි, සුවසේ
පුබුදියි, බියකරු සිහින නොදකී, මිනිසුන්ට පි‍්‍රය බව, නොමිනිසුන්ට
පි‍්‍රය බව, දෙවියන් රකිති, ගිනි, විෂ ආදී උවදුරු වලින් ආරක්‍ෂා වීම,
සිත වහා එකඟ කරවයි, ප්‍රසන්න පෙනුමකින් යුතු වීම, නොමුළාව කලුරිය කරයි,
මරණින් මතු බඹලොව උපදියි.
ව්‍යාකූලත්වයෙන් මිදී සිත සමනය කර ගැනීමෙන් මෙත් වැඩීමට පහසුය. යමෙකුගේ
සිත දිවා රෑ දෙකෙහි දී ම අවිහිංසාවෙහි ඇලුණේ ද ඒ ගෞතම ශ්‍රාවකයෝ සැමදා
සුවසේ නිදා පුබුදිත් යනුවෙනි. මෙත් වැඩීමේ අනුසස් ‘ආරක ජාතකයෙහි’ මෙසේ
ද සඳහන්ව ඇත. සියලු සතුන් වෙත මෛත්‍රිය ද, සියලු සත්ත්වයෝ දුකෙන්
මිදෙත්වා’යි කරුණාව ද සියලු සත්ත්වයෝ සුඛිත මුදිත වෙත්වා’යි මුදිතාවද
සියලු සත්ත්වයෝ සමසිතින් දැක උපේක්‍ෂාවද වැඩිය යුතු යැයි ද ධර්ම දේශනා
කර පෙර උතුමෝ මෛත්‍රී භාවනාව වඩා සත් කපක් බඹ සැපතින් නොපිරිහුනා යැ’යි
පෙර පුවත වදාළ සේක.
පෙර බෝසතාණෝ බ්‍රාහ්මණ නිවසක උපත ලබා මහණව බොහෝ තාපසවරුන්ට නායකව සතර
බ්‍රහ්ම විහරණ වැඩූහ. තාපසවරුන්ට අවවාද කරමින් දශ දිශාවෙහි සත්ත්වයන්ට
මෙත් වඩන්නන්ගේ සිත්වල අකුසල ධර්ම යටපත්ව කුසල් දියුණු වන්නේ යැයි
දක්වා එයින් චුතව බඹ ලොව ඉපදී සත් කල්පයක් ගෙවුවා යැයි වදාළ සේක.
එකල ආරක තාපසයෝ තමන් වහන්සේම යැ’යි බුදුපියාණෝ වදාළ සේක. මෙසේ ආරක
ජාතකයෙන් පෙන්වා දුන් පරිදි මෙත් වැඩීමේ ආනිසංස එදා චූලෝදර, මහෝදර නා
රජවරුන් අවබෝධ කරගෙන සිටියා නම් බල තණ්හාවෙන් හෝ යුද වැදීමට සූදානම්
වන්නේ නැත. එහෙත් ඇවිලීමට ගිය යුද ගිනි දැල් නිවාලමින් සමඟි දමේ අගය
ලාංකේය අපට වටහා දුන් බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය අද වැනි පොහොය දිනයකදී
සිහිපත් කර ගනිමින්, ඒ හා සබැඳුණු සියලු සත්ත්වයන්ට මෙත් සිත පැතිරවීමේ
උතුම් ගුණය සමස්ත මිනිස් සමාජයම නිසිලෙස අවබෝධ කර ගත යුතු ය. එය එසේ
වන්නේ නම් මිහිපිට, සියලු මනුෂ්‍යයන්ගේ ජීවිත ගුණධර්මයන්ගෙන් පොහොසත්
වී මේ මනුලොව හෙට දිනයේ දී දෙවි දේවතාවුන් සැරිසරන දෙවි විමනක් මෙන්
බැබළෙනු නියතය. |