ඇලීම අත්හැර සැනසීම ලබන්න
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අචිචෙන්තිකාල තරයන්ති රත්තියො
වයො ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්‍ඛ මානො
ලොකාම්සං පජතෙ සන්තිපෙක්ඛා
ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ
සඳහන් ඉතා වැදගත් ගාථාවක් පළමුව දැක්වෙනවා. මේ ගාථාව දේශනා කිරීමට හේතු
වූයේ දෙවියකු විසින් දක්වන ලද අදහසක් නිමිතිකොට ගෙනයි. බුදුරදුන්
ජේතවනාරාමයේ වැඩ සිටිය දී ‘නන්ද’ නමින් හැඳින් වූ දෙවියකු එක්තරා දිනක
මධ්‍යම රාත්‍රියේ දී පැමිණ ගාථාවකින් කදිම අදහසක් ප්‍රකාශ කළා. එයින්
පැවසෙන්නේ කාලය අනුක්‍රමයෙන් ගෙවෙමින් ගමන් කොට රෑ දවල් ඉක්ම යන බවත්,
ඒ අනුව සියලු සත්ත්වයන් ජීවත් විය යුතු කාලයද අනුක්‍රමයෙන් අවසන්
වෙමින් මරණයට පත්වීමේ බියත් ඇති කරන බවයි. මෙසේ මරණයට මුහුණ පෑමට පෙර
සෑම දෙනාම සැප ලබා ගැනීමට කැමැති නම් නොපමාව පින් කරන්න ඕන යන අදහස
‘නන්ද’ නම් දෙවියා බුදුරදුන් හමුවේ ප්‍රකාශ කළා.
ඔරලෝසුවක් ‘ටික් ටික්’ යන හඬ නඟමින් තත්පර ගණන් ගෙවා අවසානයේ පැය ගණන්
ද ඉකුත් වීමෙන් දිවා රෑ අවසන් කොට ගමන් කිරීමෙන් එක් අවුරුද්දක් අවසන්
කරනවා. මෙයට දින කීපයකට පෙර එවැනි අවුරුද්දක් ගෙවී ගොස් සිංහල අලුත්
අවුරුද්ද එළඹීමත් සමඟ මේ රටේ බොහෝ අය රතිඤ්ඤා පත්තු කළා. පී‍්‍රතියෙන්
උදම් ඇනුව පෞද්ගලික මට්ටමින් සලකන විට ලෝවැසි සෑම දෙනා ම අවුරුද්දේ
සියලු දිනයන් අතුරෙන් එක දිනයක කිරිබත් හෝ කේක් කමින් පී‍්‍රතියට පත්
වෙනවා. ඒ උපතින් වසරක් ගෙවා තමා උපන් දිනය එළඹීම නිසයි.
වසරක් ගෙවී තවත් වසරක් ගෙවේ නම් උපන් දිනයක් ළඟා වූයේ ය යන අදහස
ගැඹුරින් සලකන විට පෙනී යන්නේ ජීවත් විය යුතු ආයු ප්‍රමාණයෙන් එක්
වසරක් අඩු වූ බවයි. යම් කෙනෙකුගේ ආයුෂ අවුරුදු අනූවක් සේ සිතුවොත් ඒ බව
දැන සිටින තැනැත්තාට තම ආයුෂ අසූ අට නොවේ නම් අසූනවය එළඹුනු කල්හි මා
ජීවත් වන්නේ තව වසර දෙකක් හෝ එකක් පමණක් යයි සිහියට නැගුණු විට කලින්
මෙන් රතිඤ්ඤා පත්තු කරමින් හෝ කිරිබත් නොවේ නම් කේක් වැනි දේ භුක්ති
විඳිමින් සතුටින් ජීවත් විය හැකි දැයි සිතා බලන්න. මා මරණයට භය නෑ යයි
සමහර අය ප්‍රකාශ කළත් විචාරාත්මකව සිතන විට පෙනී යන්නේ උපන් සෑම දෙනාම
මරණය නිසා බියට පත්වන බවයි.
දෙවියන් බුදුරදුන් හමුවෙහි ප්‍රකාශ කරන ලද්දේ මොහොතක් පාසා අපගේ ගත
මෙන්ම සිත ද ඇතිව, පැවැතී, විනාශයට පත් වෙමින් ගමන් කරන බවයි. අභිණ්හ
පච්චවෙක්ඛිතබ්බ සූත්‍රයේ දී සෑම දෙනාම නිරන්තරයෙන් සිහියේ තබා ගත යුතු
යයි පෙන්වා දුන් කරුණු අතුරින් කවර හෝ අවස්ථාවක හුස්ම ටික හෙළන්නට
සිදුවන බව සිත්හි තබා ගෙන කටයුතු කළ යුතු බව සඳහන් වෙනව. එසේ නම් ඒ බිය
ජනක මරණයට මුහුණ පෑමට පෙර මතු තමන්ට අවශ්‍ය සැප සම්පත් ලබා ගැනීම සඳහා
‘පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි’ යනුවෙන් පින් කරන්නය යැයි දෙවියන් ප්‍රකාශ
කළා.
සැප ලැබීම සඳහා බුදුරදුන් පෙන්වා දුන් ප්‍රධාන පින්කම් තුනකි. එනම්
දාන, සීල, භාවනා යන ඒවාය. සත්ත්වයා මැරෙමින් නැවත ඉපදෙමින් මේ සසර ගමන්
කිරීමට ප්‍රධාන හේතුව තණ්හාව බව බුද්ධත්වයට පත්ව ප්‍රථමයෙන් දේශනා කළ
‘දම්සක් පැවතුම්’ සූත්‍රයේ දී ‘යායංතණ්හා පොනෝභවිකා’ යනුවෙන් පෙන්වා
දුන්නා. බලවත් දුක ඇති කිරීමට දැඩි ලෙස බලපාන මේ තණ්හාව තරමක් හෝ දුබල
කළ හැක්කේ පරිත්‍යාගය හෙවත් දීම නිසායි. ඒ උතුම් ක්‍රියාව ත්‍රිවිධ
කුසල ක්‍රියාවන් අතුරෙන් ප්‍රථමයෙන් දැක්වෙනවා. දෙඅත් දෙපා ආදී අවයවයන්
මෙන්ම ඇස් කන් නාස් ආදී ඉන්ද්‍රියන් ද සමඟ සෑම දෙනෙකුගේම කට නුසුදුසු
අන්දමට නොයොදවා මැනවින් සංවර කර ගැනීම සීලයට අයත් වෙනවා. එහෙත් මොන
තරම් දන් දුන්නත් කවර අන්දමේ උසස් පරිත්‍යාග කළත්, මුළු ශරීරයම මනා වූ
සංවරයෙන් තබා ගෙන ජීවත් වූවත් ඒවා තුළින් සදාකාලික ශාන්තිය හෙවත් සැපත
ළඟා කරගන්න පුළුවන්කමක් නෑ.
දානය හෙවත් පරිත්‍යාගය තුළින් කාමාවචර කුසල් රැස් වෙනවා. ඒ කුසල් නිසාම
කිසිවෙකුට පරම සැපත උදාකර ගන්න බෑ. සිදු වන්නේ අපමණ සැප ඇති සදෙව්
ලොවෙන් එකක නැත්නම් අප ජීවත්වන මනුෂ්‍ය ලෝකය යන කාම ලෝක සතෙන් එකක
උත්පත්තිය ලබා ගැනීමයි. මෙලොව වශයෙන් සැළකුවත් මේ දක්වා අතීතයේ සිදු
කරන ලද සාමාන්‍ය අකුසල කර්ම වලින් ලැබෙන්නට තිබෙන විවිධ කරදර ලෙඩ දුක්
බොහෝ දුරට මැඩ පවත්වා සැපවත්ව ජීවත් වීමට එදිනෙදා සිදු කරන දාන ශීල යන
ද්විද යහපත් ක්‍රියාවන් හේතු වෙනවා. සෑම ලෝකයකටම උපත පවතින නිසා ඒ සමඟම
ජරාව, ව්‍යාධිය සමඟ මරණය යන තුන් බිය පහ වී නැති බවත් ඒ නිසාම ශෝක,
පරිදේව, ඇතිවන බවත් සිතට ගන්න ඕන.
සැප ලැබීමට පින් කරන්නයයි දෙවියන් සඳහන් කළ අදහස තාවකාලික සැපයකට පමණක්
හේතුවන නිසා ඒ අදහස සම්පූර්ණයෙන් බුදුරදුන් අනුමත කළේ නෑ. ‘ලෝකාමිසං
පජහේ සන්ති පෙෙක්‍ඛා’ යනුවෙන් ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් ආහාර කොට ගන්නා
රූපාදී ආරම්මණයන්ගෙන් ඉවත්වීමේ අවශ්‍යතාව උන්වහන්සේ අවධාරණය කොට වදාළ
අපේ සිත, ඇස උපයෝගී කොට ගෙන විවිධ රූපවල ඇලෙනවා. එසේ නැතිනම් අපේ සිත
කණ උපයෝගී කොටගෙන විවිධ ශබ්ද වල ඇලෙනවා. මේ අන්දමට නාසය, දිව, ශරීරය යන
මේවා පිළිවෙළින් ගඳ, රස, ස්පර්ශ යන ඒවාට ආසා කරමින් ඇලෙනවා. ‘යායං
තණ්හා නන්දිරාග සහගතා’ යනුවෙන් බුදුරදුන් දක්වා වදාළේ එයයි.
මේ ඇලීම, තණ්හාව, ආශාව, කාමය ආදී විවිධ වචන වලින් ධර්ම ග්‍රන්ථයන්හි
දක්වා තිබෙනවා. දැල් වූ ගිනි හුලක් අනුක්‍රමයෙන් දැවෙමින් අවුත්
අවසානයේ තමාගේ ශරීරයට ද විපත්ති කරනවා. ඉතා ලස්සනට පෙනෙන ගිනි අඟුරු
ගොඩට රැවටී වැළඳ ගන්නට ගියහොත් දරුණු ලෙස පිළිස්සෙනවා. යම් කෙනෙක්
සර්පයෙකුගේ හිස ළඟින් අල්ලා ගතහොත් බුරුල් කොට අතහරින්ට සැරසෙත්ම දෂ්ඨ
කිරීමෙන් බලවත් සේ විපතට පත් වෙනවා. මෙවැනි උපමා ගෙන හැර දක්වමින් දේපල
හා වස්තුවට පමණක් නොව රූප, ශබ්ද ආදිය කෙරෙහි ඇලීම නිසා බලවත් දුක්
උපදින බව බුදුරදුන් පෙන්නා දී තිබෙනවා.
සැපයයි සිතා ගමන් කරන කාමසුඛල්ලිකානු යෝගී ජීවන ක්‍රමය යහපත පිණිස හේතු
නොවන බවත්, සම්පූර්ණයෙන් අනාර්ථකාරී වන බවත් බුදුරදුන් පෙන්නා දී
තිබෙනවා. ඇතිනම් සැපයයි කියා සිතුවත් ඒ ඇතිකමම දුකට හේතුවන බව සිතන්න
ඕන. අප ලබා ඇති මේ මනුෂ්‍ය තත්ත්වය පුදුම මහන්සියකින් කුසල් රැස්කොට
ගැනීමෙන් හිමි කොට ගත් එකක්. ඒ ලබා ඇති මනුෂ්‍ය ජීවිතය තමාට ම බරක්
නොවන ලෙස සැහැල්ලු අන්දමට පවත්වාගෙන යාම අපේ වගකීම. අද සමාජයෙහි බොහෝ
අය ගේ, දොර, යාන, වාහන, ඇඳුම්, පැළඳුම්, කෑම්, බීම් ආදී බාහිර දේ
කෙරෙහි බෙහෙවින් ඇලුම් කරනවා. ඒවා ලබා ගැනීමට උත්සාහ කරනවා. එහෙත්
අවශ්‍ය කරන්නේ බාහිර ආටෝපවත් අනර්ථකාරී පැවැත්මට වඩා අභ්‍යන්තරය
සාරධර්මයන්ගෙන් සපිරුණු අධි ප්‍රඥාව උදාකරගත හැකි මාර්ගයක් ඔස්සේ ගමන්
කිරීමයි. ඒ සඳහා ත්‍රිවිධ කුසල ක්‍රියාවන්ගෙන් පෙන්වා දුන් භාවනාව
කෙරෙහි අපේ අවධානය යොමු වන්න ඕන. එවිට බාහිර සැප සම්පත් වලට වඩා
ලෝකෝත්තර සැපත උදාකර ගැනීමට ඇති එකම මඟ විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීම
බව අවබෝධ වෙනවා. ඒ මඟින් ලෝකයේ ඇති සෑම දේකම අනිත්‍ය ස්වභාවයත් ඒ නිසාම
දුක් හටගන්නා බවත්, එසේ වීමට හේතුව මගේයයි ගත හැකි කිසිවක් නැති බවත්
අවබෝධ කර ගන්න පුළුවනි. සැපත උදාකර ගැනීමට ඇති මඟ මෙයයි.
ඔබ සැමට සැප ලැබේවා! |