UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක ආලෝකය දඹදෙණිය දළදා මන්දිරය

දඹදෙණි රාජධානිය ලංකා ඉතිහාසයේ තවත් එක් කඩඉමක් සඳහා පසුබිම සකසන ඓතිහාසික ස්ථානයකි. දකුණු ඉන්දියානු ආක්‍රමණික කුරිරු කාලිංග මාඝට පොළොන්නරුව අගනුවර අත්පත් වීමෙන් පසුව සිංහල රජවරු තම රාජධානිය නිරිත දිගට රැගෙන ගියහ. එසේ රැගෙන ගිය දඹදෙණිය රාජධානිය අයත් වූයේ ත්‍රී සිංහලයේ මායා රටට ය.

මෙය මුලින්ම ඉදිවන්නේ සතුරු ආක්‍රමණයන්ට මුහුණදීමට සුදුසු ආකාරයට පර්වත නගරයක් පරිද්දෙනි. තැනිතලාව පුපුරවාගෙන ස්වභාවධර්මයා විසින් ඉහළට ඔසවා තබන ගිරිශිඛර ආශ්‍රයේ තම රාජාධානි ගොඩනැංවීමට ඇතැම් රජවරු පෙළඹුනේ එළඹෙන ඕනෑම ආක්‍රමණයකට මුහුණ දීමට අවැසි පෙර සූදානම සහිතව ය. රජතුමාගේ ශක්තියට මෙන්ම බලයටත් එසේම ස්ථිරත්වයටත් මහත් ආශීර්වාදයක් වූ ශ්‍රී දන්තධාතූන් වහන්සේ රජතුමා සමීපයේ වඩා හිඳුවා පුදසත්කාර කිරීම මේ දම්දිවේ එදා රජවරුන්ගේ සම්ප්‍රදායික සිරිතක් විය.

මෙසේ දඹදෙණි යුගයත් (ව්‍ය. වර්ෂ 1236 – 1283) එයට සමගාමීව දඹදෙණි රාජධානියත් ගොඩනැඟී එහි ප්‍රථම රජතුමා වශයෙන් අභිෂේක ලබන්නේ තුන්වන විජයබාහු (ක්‍රි.ව. 1232 – 1236 ) රජතුමා ය. මෙතුමාට දන්ත ධාතූන් වහන්සේගේ පූර්ණ ආරක්‍ෂාව පිළිබඳ සැක පහළ විය.ඒ නිසා කොත්මලේ සිට ගෙන්වා ගත් දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍රධාතූන් වහන්සේ දඹදෙනි රජමැදුර සමීපයේ තබා නොගෙන කෑගල්ලේ බෙලිගල නම් වූ ඉතා දුෂ්කර කඳු මුදුනක දළදා මාලිගයක් සාදවා වඩාත් සුරක්‍ෂිත ආකාරයට එහි තැන්පත් කර තබන්නට පෙළඹුණේ ය. එසේම දඹදෙණිය ඓතිහාසික ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාරය සාදවා එහි මුල්ම දළදා මන්දිරය ඉදිකරවනු ලබන්නේ තුන්වැනි විජයබාහු රජතුමා විසින් බව කියැවෙයි. තවත් තැනක කියැවෙන්නේ එය දෙවන පරාක්‍රමබාහු (ව්‍යව. 1236 – 1270) රජතුමා කරවූ බවයි.

දෙවන පරාක්‍රමබාහු රජතුමා තෙවන විජයබාහු රජතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත් කුමරු ය. එතුමා රජබවට පත් වන්නේ ව්‍ය.ව. 1236 වසරේදී ය. එතුමා කඳු පර්වතය මත වඩාත් සුරක්‍ෂිත ආකාරයට එක් දළදා මාලිගාවක් ද ඒ ආසන්නයේ තැනි බිමෙහි තවත් මාලිගාවක් ද කරවූ බව වංශ කතාවන් අනුව සනාථ වෙයි. කෙසේ හෝ පියරජතුමා ඉදිකරවූ දළදා මාළිගාව තුන්මහල් කොට සෑදු බව ද තවත් තැනක කියැවෙයි.

මෙසේ වත්මන් දඹදෙණි දළදා මාලිගාවේ ස්වභාවය ඓතිහාසික දළදා මාලිගාවේ යථා ස්වරූපයම පෙන්නුම් නොකළ ද පුරාණ දළදා මාලිගයේ ඇතැම් ලක්‍ෂණ තවමත් රඳවා තබා ගැනීමට සමත්ව සිටියි.

අද අප දකින දළදා මන්දිරය ඇත්තේ ශ්‍රී විජයසුන්දරාරාම රජ මහා විහාර භූමියේ ය. මෙම පිවිතුරු පුදබිම දඹදෙණිය රාජධානියේ ප්‍රධාන විහාරස්ථානය බවට පත්විය. එසේම මෙය සංඝරාජ මහා නා හිමිවරු දෙනමක් වැඩ සිටි ස්ථානයකි. ශාසන, ආගමික උන්නතිය වෙනුවෙන් කථිකාවන් දෙකක් සම්මත වූ පින් බිමකි. එසේම මහා සංඝයා වහන්සේ රැස් කරවා උන්වහන්සේලාගේ ආශ්ර්වාදයන් මධ්‍යයේ දළදා වහන්සේ පැරකුම්බා කුමරුගේ භාරයට ද, කුමරු මහා සංඝරත්නයට ද භාර කරන ලද්දේ මේ උතුම් පුද බිමේ දී ය.

දෙවන පරාක්‍රමබාහු රජතුමා මහා පඬිරුවනක් මෙන්ම විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ප්‍රවීනත්වයක් දැක් වූ විශාරදයෙක් විය. ඒ නිසාම එතුමා හැඳින්වූයේ කලිකාල සංගීත සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන ගෞරව නාමයන් සහිතවය. අදත් වියතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී ඇති ‘කව්සිළුමිණ’ නම් මහා කාව්‍ය පරාක්‍රමබාහු රජතුමාගේ විශිෂ්ට ප්‍රබන්ධයකි.

බෞද්ධ දර්ශනය සාහිත්‍ය කලාවට මෙන්ම සංග්‍රාමයට ද එකසේ දක්‍ෂතා දැක් වූ මෙම රජතුමා සංග්‍රාමයන් හතරකට අභීතව මුහුණ දී එයින් ජය ලබා ත්‍රී සිංහලය එක්සේසත් කළ බවට වංශ කතා සනාථ කරයි. රජුගේ ප්‍රාර්ථනය වූයේ පළමුව දළදා වහන්සේට පුද සත්කාර කර දෙවනුව ද්‍රවිඩ ආක්‍රමණිකයන් හා සටන් කිරීමය. රජතුමාගේ අපේක්‍ෂාව වන්නට ඇත්තේ සතුරු බල සේනා පැරදවීමේ මහා බලය ශක්තිය උත්තම ශ්‍රී දළදා වහන්සේගේ ආශීර්වාදයෙන් ඉෂ්ඨ සිද්ධ වන බව යැයි සිතිය හැක. එවන් ගෞරවනීය විශ්වාසයක් බෞද්ධයන් තුළ අදත් පවති යි. බෙලිගලින් රැගෙන එන දළදා වහන්සේ දඹදෙනියේ ගිරග මත කළ දළදා මැදුරේ මෙන්ම විහාර භූමියේ කළ දළදා මැදුරේත් තැන්පත් කර තැබීමට රජතුමා පෙළඹුණු බවක් පෙනෙයි. එසේම දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා පිටතට රැගෙන ප්‍රදර්ශන මණ්ඩපයක තැන්පත් කළ බවක් ද කියැවේ. දළදා මැදුර සමීපයේ කුඩා ස්තූපයක් සහිත වටදාගෙයක් අද ද දක්නට ලැබෙයි. එම ස්තූපය හා පසුබිම වෙනත් තැනක දකින්නට නොමැති තරමේ විශේෂ ආකෘතියකින් නිමැවී තිබෙයි.

කෙසේ හෝ දළදා වහන්සේ මෙසේ වඩා හිඳවාලූ තෙමහල් විහාර මන්දිරය පසු කලෙක ගරා වැටුණු පසුව ශ්‍රී වික්‍රම රාජසිංහ යුගයේ දී මීගස්තැන්න අධිකාරම් විසින් දෙමහල් මැදුරක් ලෙස ප්‍රතිසංස්කරණය කරවයි. අද ශේෂව පවතින දළදා මැදුරේ බිතු මත ඇඳි එදා දළදා පෙරහර හා ජාතක කතා ආදිය නිරූපණය කළ සිතුවම් ඓතිහාසික කලා සම්ප්‍රදායේ වැදගත් පිළිබිඹුවකි.

මේවා බොහෝමයක් විනාශයට පත් වී තිබේ. අනාගතය වර්ණවත් කරනා ඓතිහාසික ප්‍රභවයන්ගේ ආලෝක ශක්තිය හීන වීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් ලංකාවේ සුරක්‍ෂිතව පවතින පැරණිතම දළදා මන්දිරය මෙසේ හෝ පැවතීම යම් තරමක හෝ භාග්‍යයකි.

උත්තම සම්බුදු දන්තධාතූන් වහන්සේගේ ස්පර්ශය වින්දනය කිරීමට තරම් වාසනාව ලද මේ කුඩා දළදා මැදුර බෞද්ධ ජනතාවට නම් මහා දෙව් විමනකටත් වඩා පූජනීය මැදුරකි. බෞද්ධ සංස්කෘතිය ඔස්සේ පෙළ ගැසෙන ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරවත් ගමන් මඟක් දිදුළුවා ලූ ආලෝක ප්‍රභවයකට සමානය.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සමස්ත බෞද්ධ ජන හද ලේ ධාතුව හා කා වැදුණු පාරම්පරිකව පැවත එන උත්තුංග වූ මහත් පූජනීය වස්තුවකි. ඒ හා සමවැදුණු බෞද්ධ උරුමයන් හා ඇඳුණු මාතෘ භූමියේ ඉතිහාස කතාව විශිෂ්ටත්වයට පත් කරන්නේ මෙවන් සදානුස්මරණය වූ ද පූජනීය වූ ද මහා ස්මාරකයන් ය.

 

බක් මස පුර පසළොස්වක පෝය

 අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.04ට ලබයි.
26 වැනිදා සිකුරාදා පූර්වභාග 01.26 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 02 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk