අපේ සාම්ප්‍රදායික වට වන්දනා සංස්කෘතියට
යළි අනුගත වෙමු
කතරගම, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති,
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක,
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, උපාධ්‍යාය
ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි
මෑතක සිට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව තුළ දඹදිව බෞද්ධ සිද්ධස්ථාන දැක වැඳ
පුදා ගැනීමේ ආසාවක් සහ පෙළැඹීමක් දක්නට ලැබේ. ගත වූ වසර කීපය තුළ දඹදිව
වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ ගණනින් වැඩි වී ඇති
ආකාරයක්ද පෙනෙන්නට ඇත. ඒ වෙනුවෙන් ම රට පුරා බිහි වී ඇති චාරිකා
සංවිධාන සහ පුද්ගලයන්ගේ පෙළඹවීමත්, දඹදිව සිද්ධස්ථාන පිළිබඳ ලියැවී ඇති
පොත පත සහ ලිපි ලේඛන සුලභ වීමත්, සංචාරයෙහි යෙදෙන්නන් හරහා සමාජගතවන
තොරතුරුත් මේ තත්ත්වයට හේතු වී ඇති බව පෙනී යයි. අප මේ ලිපිය ලියන්නට
අදහස් කළේ දඹදිව වන්දනාවේ යාම පිළිබඳ විස්තර කිරීමට නොව, වර්තමානයේ
උද්ගත ව පවත්නා තත්ත්වයන් යටතේ දඹදිව වන්දනාවේ යාම පිළිබඳව දෙවරක්
සිතන්නට ජනතාව පෙළඹවීම සඳහා ය.
විවිධ ආගම් අදහන බැතිමතුන් තුළ තම ආගමික ශාස්තෘවරයාගේ නිජබිමට ගොස් වැඳ
පුදා ගැනීම උත්කෘෂ්ඨ පින්කමක් යන අදහසක් තිබේ. බෞද්ධයෝ දඹදිව යති. එසේ
යාම ජීවිතයේ තම තමන් ලබන මහත් භාග්‍යයක් ලෙස සැලකීමට පුරුදු වී සිටිති.
මුතියංගණය |
බෞද්ධයන් දඹදිව වන්දනාවේ යාමට පෙළැඹීමට හේතුවක් ලෙස පෙනෙන්නේ දීඝ
නිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි එන බුද්ධ භාෂිතයකි.
බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ ‘උපවර්තන’ නම් සල් උයනෙහි පිරිනිවන්
මංචකයේ වැඩ සිටිය දී අනඳ මහ තෙරුන් වහන්සේ උන්වහන්සේගෙන් බුදු දහම,
බුදු සසුන හා බෞද්ධ සමාජය පිළිබඳ විවිධ කරුණු කාරණා විමසූහ. අනඳ තෙරුන්
වහන්සේගේ එක් පැනයක් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැදැහැවත් කුල
පුත්‍රයන් විසින් දැක බලා සංවේගය ඉපදවිය යුතු තැන් මොනවාද? යන්නය. එහි
දී බුදුරදුන්ගේ පිළිතුර වූයේ මෙසේ ය.
ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයනට දක්නට සුදුසු සංවේග උපදවන ස්ථාන
සතරක් වෙයි. එනම් තථාගතයන් වහන්සේ උපන් ස්ථානය, බුද්ධත්වයට පත් වූ
ස්ථානය, ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය සහ පිරිනිවන් පා වදාළ
ස්ථානය යන සතරය.
මෙහි සඳහන් වන කරුණු අනුව බුද්ධ චරිතය හා සම්බන්ධ එකී ස්ථාන සතර
ශ්‍රද්ධාවන්ත බෞද්ධයකුට දැකීමට සුදුසු වෙයි. ඊට හේතුව එකී ස්ථාන
දැකීමෙන් සංවේගය ඉපදීමයි. තමන් අදහන ධර්මයේ ශාස්තෘවරයාණන් වහන්සේ පවා
ලෝක ස්වභාවයට අනුකූලව උත්පත්තිය ලබා ධර්මාව බෝධය කරගෙන, ඒ ධර්මය ලෝක
සත්වයාට දේශනා කොට පිරිනිවන් පා වදාළේ යැයි සලකා අනිත්‍යානුස්මෘතියක්
හටගැනීම, සංවේගය ඉපදීම යන්නෙන් අදහස් කෙරේ. එය බුද්ධාලම්භන පී‍්‍රතිය
නොව බුද්ධානුස්සති භාවනාවකි.
ශාසන ඉතිහාසයට අනුව, එකී ස්ථාන දැක වැඳ පුදා ගන්නට ගිය ප්‍රථම
ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා ධර්මාශෝක මහරජතුමා ය. එතුමා එසේ ගියේ එම
ස්ථාන වැඳ පුදා ගැනීමට පමණක් ම නොව අනාගත පරම්පරාවට ප්‍රයෝජනවත් වන
අන්දමින් ඒ ස්ථාන සංරක්‍ෂණය කර තැබීමට යි.
ලාංකිකයන් පමණක් නොව, ලෝකයේ වෙනත් රටවල විසූ සැදැහැවතුන් ද ඉමහත්
භක්තියෙන් දඹදිව සිද්ධස්ථාන වැඳ පුදා ගන්නට පැමිණි බවට ඓතිහාසික
සාක්‍ෂි තිබේ. චීන ජාතික පාහියන්, හියුංසාන් වැනි දේශාටක භික්‍ෂූන්
වහන්සේලාගේ චාරිකා සටහන් එහිලා වඩාත් වැදගත් ය.
වර්තමාන ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ දඹදිව වන්දනාවේ හෝ සංචාරයේ හෝ
යෙදෙන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියහ. බෞද්ධ සැදැහැවතුන්ගේ අරමුණ
දුර්ලභ පුණ්‍යකර්මයකට සහභාගී වීමට අවස්ථාව උදා කර ගැනීම වුවද, එය
ජීවනෝපායක් බවට පත් කරගත් ඇතැම් අයගේ අරමුණ ව්‍යාපාරික අතින් ලාභයක්
උපයා ගැනීමය.
නාගදීපය |
අද සිදු වී ඇත්තේ බැතිමතුන්ගේ ශ්‍රද්ධාව අලෙවි වීමය. එහි ප්‍රතිඵලය වී
ඇත්තේ ජීවිත කාලයක් තිස්සේ ඉතිරි කරගත් මුදල් වැය කරමින් දඹදිව
වන්දනාවේ යෙදෙන ඇතැම් දෙනෙකු මහත් දුෂ්කර තත්ත්වයන්ට පත්වීමය. මාධ්‍ය
හරහා ලැබෙන වාර්තා අනුව මේ වන විට ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට යාම
අනතුරුදායක සංචාරයක් බවට පත් වෙමින් ඇති බවක් ද පෙනේ. අතරමං වීම්,
රෝගාතුරවීම්, රැවටීම්, වංචා වලට ගොදුරුවීම්, නොසලකා හැරීම් අතරට දැන්
ත්‍රස්තවාදී ප්‍රහාරයන් ද එකතු වී තිබීමෙන් ඒ බව තහවුරු වෙයි.
යහපත් කාර්යයයකට මුල් තැන දී ඉන් සාධාරණව යමක් උපයා ගැනීම වෙනුවට ඇතැම්
ව්‍යාපාරිකයාගේ ඒකායන අරමුණ කවර තත්ත්වයන් යටතේ වුවත් වැඩි පිරිසක්
සංචාරයට සම්බන්ධ කර ගනිමින් තම ආර්ථික අරමුණ පමණක් මුදුන්පත් කර
ගැනීමය.
දඹදිව වන්දනාවේ යාම වරදක් නැත. කිසිදු බෞද්ධ භික්‍ෂුවක තබා සාමාන්‍ය
බෞද්ධයකුවත් ඊට එරෙහි වන්නේ ද නැත. එහෙත්, මේ සම්බන්ධයෙන් ගැඹුරින්
සිතා බලා කටයුතු කිරීමට බෞද්ධයා නැඹුරුවිය යුතු අවස්ථාවක් දැන් උදා වී
තිබේ.
බුදුරජාණන් වහන්සේ ම අවධාරණය කර ඇති අන්දමට, බුදුදහම ප්‍රඥාවන්තයන්
උදෙසා නිර්දේශිත ධර්මයකි. (පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ
දුප්පඤ්ඤස්ස) ඒ අනුව බෞද්ධයෝ ප්‍රඥාවන්තයෝ විය යුත්තාහ. මෙහිදී අප
අදහස් කරන්නේ දඹදිව වන්දනාවේ යාම පිළිබඳ ව සෑම බෞද්ධයකු ම ප්‍රඥාවෙන්
සිතා බැලිය යුතු බවය.
අප ජීවත්වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක්ම
පාරිශුද්ධත්වයට පත් වූ දේශයක බව අප අමතක නොකළ යුතු ය. ලෝකයේ නිර්මල
ථේරවාද බුද්ධ ධර්මය තවමත් ආරක්‍ෂා වී ඇති රට අපේ ශ්‍රී ලංකාවය. බුදු
දහමේ නිජ භූමිය ඉන්දියාව වුවද, පිවිතුරු බුදුදහම පවතින්නේ අප මාතෘ
භූමියේ ය. අද ඉන්දියාවෙහි යම්කිසි බෞද්ධ ප්‍රබෝධයක් ඇත්නම් එය ලැබුණේ ද
ලංකාවෙන් එහි ගිය බෞද්ධ ධර්ම දූතයන්ගෙනි. ඒ අනුව, බුදුරදුන් උපන් බිමට
වඩා සම්භාවනීයත්වයක් හිමිවන්නේ අපේ රටට ය. එවන් සම්භාව්‍ය දේශයක උපන්
අප අනේක දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වන්දනාමාන සඳහා දඹදිව යා යුතුම
ද?
සම්බුදු පා පහස ලත් සොළොස්මස්ථානය ඇතුළු දහස් ගණන් වෙහෙර විහාර අප රට
පුරාම විසිරී තිබේ. එසේ සලකන විට අපේ රට පින් බිමක් වෙයි. ඒ වසර 2500ක
අඛණ්ඩ ඉතිහාසයක් අපට තිබෙන බැවිනි.
මේ යථාර්ථය වටහාගත් අපේ පැරැන්නෝ දේශීය වෙහෙර විහාරස්ථාන වන්දනාමාන
කිරීම සඳහා වට වන්දනාවෙහි ගියහ. ගමේ කණ්ඩායම් වශයෙන් එක්ව ‘තුන් සරණය’
කියමින් මහත් ශ්‍රද්ධාවෙන් හා ආස්වාදයෙන් එදා ගිය ගමන් අද බොහෝ දෙනා
දන්නේද නැත.
එදා පැවැති වන්දනා ගමන් සම්ප්‍රදාය අනුව ගමේ අන්‍යෝන්‍ය සහජීවනය තහවුරු
වූ අතර දේශීය මුදල් සංසරණය වූයේ ද දේශය තුළම ය. වන්දනා කරුවන්ගෙන්
ලැබෙන පුණ්‍යාධාරවලින් දේශීය බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය විය. අද අපි
‘ලෝකෙට පරගාසේ ගෙදරට මරගාතේ’ යි කියන්නාක් මෙන් ගමේ දුප්පත් පන්සල් ගරා
වැටෙද්දී ජීවිතය පරදුවට තබා දඹදිව ගොස් එහි විහාර සංවර්ධන අරමුදලට දායක
වන්නෙමු. ඇතැම් බෞද්ධ පින්වතුන්ට, තමන්ගේ පාංශුකූලය සඳහා වැඩම කරන්නේ
ගමේ පන්සලේ වෙසෙන දුප්පත් ස්වාමීන් වහන්සේලාය යන්න පවා අමතක වී ගොස්
ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. ඒ තරමට ගැති මානසිකත්වයක් අපේ සමහර
බෞද්ධයන් තුළ මතුවෙමින් පවතී.
ඉන්දියාවේ අද ඇත්තේ මුල් බුදු සසුන නොවේ. අද දඹදිව බලා පියාසර කරන්නන්ට
ඒ බව අමතක වී ඇත. අද තමිල්නාඩුවේ හිස ඔසොවා ඇති ඒ තත්ත්වය ඇතැම් විට
නුදුරු අනාගතයේ දී ව්‍යාප්ත වීමට ඉඩ ඇත. මේ වන විටත් සිංහල බෞද්ධ
පින්වතුන්ට විඳින්නට සිදු වී ඇති ගැහැට ඉදිරියේ දී තවත් උත්සන්න වීම
වැළැක්විය නොහේ. වන්දනාවේ යාම බෞද්ධ දර්ශනයට අනුකූල නොවතත්, කිසියම්
බෞද්ධයකුට එසේ යාමට බුදුදහමෙන් බාධාවක් ද නැත. වන්දනා ගමනකින් ලබන
තාවකාලික බුද්ධාලම්බන පී‍්‍රතිය හෝ රත්නත්‍රය පිළිබඳ ශ්‍රද්ධාව
ධර්මානුකූලව පිනක් ද වෙයි. ‘චිත්තං පුනාතී හි පුඤ්ඤං’ (පින යනු සිතෙහි
උපදින ධාර්මික සතුටයි) යන අර්ථ නිරූපණය අනුව ඒ බව පැහැදිලිය.
බුද්ධ දේශනය අනුව බෞද්ධයා හැම විටකම කළයුත්තේ තමන්ටත්, අනුන්ටත්
ප්‍රයෝජනවත් දේය. ‘බහුජන හිතාය, බහුජන සුඛාය, අත්ථාය හිතාය’ යන බුදු
වදනින් ඒ බව තහවුරු වෙයි. කිසියම් ක්‍රියාවක් තමන්ටත්, අනුන්ටත් අහිත
පිණිස වේද ඉන් වැළකීම. එය නොකර සිටීම වඩාත් වැදගත් ය. හිතකරය. දඹදිව
වන්දනාවේ යාමෙන් එසේ යන පුද්ගලයා ලබන ප්‍රතිලාභවලට වඩා වැඩි
ප්‍රතිලාභයක් ලබන්නේ ඉන්දියාවය. ඒ ගමන් සංවිධානය කරන්නවුන් ය. මේ රටේ
සහ ඒ රටේ එකී ව්‍යාපාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධව සිටින්නන් ය. එහෙත්
ඒ ගමනේ ද මුහුණ පාන්නට වන සියලු අහිතකර තත්ත්වයන්ට මුහුණ දෙන්නට
සිදුවන්නේ ගමනෙහි යෙදෙන්නාට පමණි. එබඳු අවස්ථාවක දී අන් සියලු දෙනා
වගකීමෙන් මිදෙති. මේ පිළිබඳ ඕනෑ තරම් උදාහරණ ඉදිරිපත් කරන්නට පිළිවන.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම්, ඉතාම සද්භාවයෙන් හා මානව
දයාවෙන් යුතුව දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන අතළොස්සක් ද සිටින බවය.
එබඳු සංවිධායක වරයකුට වුවත්, තම නඩයේ සාමාජිකයකු විපතකට පත් වූ විට ශෝක
කරනු හැර වෙනත් කළ හැක්කක් නොමැත.
මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගත් විට වර්තමාන තත්ත්වය යටතේ අපට ගත
හැකි එකම විකල්පය නම්, අපේ සාම්ප්‍රදායික වට වන්දනා සංස්කෘතියට යළි
අනුගත වීම නුවණට හුරු බවය. එය තම තමන්ගේ ශරීර සෞඛ්‍යයටත් රටේ
ආර්ථිකයටත්, ශ්‍රී ලංකා බුද්ධ ශාසනයේ චිර පැවැත්මටත් එකසේ යහපත් ය. |