ඌරුගමුවේ අස්සජි හිමි
නිවන්
මාර්ගය
ලොවට පෙන්වා දී අවිද්‍යා
අන්ධකාරයෙන් ලෝකයා මුදවා ගැනීම නිසා බුදුඋපත හැර අනෙකක් ලෝකයාගේ පරම
සැපත සඳහා හේතු නොවේ.
බුදුඋපත නිසාම සිදුවන සදහම්
දෙසීම ද ඒ අනුව පරම සැපතක්ම වේ.
බුදුන් වදාළ ධර්මය ලෝකයා වෙත ගෙන යන
භික්ෂූන් වහන්සේගේ සමඟි භාවයද,
එසේ සමඟිව සිදු කරන ප්‍රතිපත්ති පිරීම ද
ලෝකයාගේ මෙලොව, පරලොව
සැපත සඳහාම හේතු වේ.
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සුඛො බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්ම දෙසනා
සුඛා සංඝස්ස සාමග්ගී
සමග්ගානං තපො සුඛො
සැදැහැවතුනි,
අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථා ධර්මය ධම්මපදයේ බුද්ධ වග්ගයට
අයත් ය.මෙහි සරල සිංහල අර්ථය මෙසේය. ‘බුදුවරයන් වහන්සේගේ ඉපදීම
සැපය.සදහම් දෙසීම සැපය. සඟුන්ගේ සමඟිය සැපය.සමඟිවූවන්ට තපස සැපය.’
යන්නයි.
මේ අනුව, සියලු සත්වයන්ගේ දුක්ගිනි නිවා සෙත සලසන හෙයින්ද සසර කතරෙන්
එතෙර කරවන හෙයින්ද බුදුවරයන් වහන්සේගේ පහළවීම සැප පිණිස පවතී.
සත්වයන්ගේ සිත් සකසා සැදැහැ හා නුවණ වඩවා දෙව්, මිනිස් හා නිවන් සැප
සාදා දී දුක්කෙළවර කිරීමට හේතුවන හෙයින් සදහම් දෙසීමද සැපය.එසේම
සසුන්ගතව මහණදම් පුරන භික්ෂූන් වහන්සේගේ එක්සිත් ඇතිව විසුමද සැපය. ඒ
තුළින් ස්වකීය අදහස් මුදුන් පමුණුවා තමතමන්ට මෙන්ම අනුන්ටත් හිත සැප
ගෙන දෙන බැවිනි. එසේ එක්සිත් ඇතිව කරන කෙලෙස් තැවුම මනා හෙයින් ඒ සඳහා
පිළිවෙත් පිරීම ද සැපය. ඒ අනුව පවිටු අදහස් සිත තුළට නොවදින බැවින්
සමඟියත් තපසත් සැපතට පමුණු වන්නේය.
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේ අතර
මෙලොව යහපත්ම සැප කවරේද යන්න පිළිබඳ සාකච්ඡාවක් ඇතිවිණ. එම භික්ෂූ
පිරිස අතර රාජ්‍ය ශ්‍රී සම්පත් විඳිමින් සිට රජ කුලයෙන් පැවිදි වූවෝ ද
කම් සැප විඳ පැවිදිවූවෝ ද මිහිරි රස බොජුන් අනුභව කොට සිට පැවිදි වූ
අයද සිටියහ. ඒ ඒ පිරිස් ගිහිව සිටි කාලයෙහි තමන් දැන සිටි දේ ම සැප
යැයි කීහ. ඒ අනුව, රජකුලයෙන් පැවිදි වූ අය මෙලොව රජ සැපයම ඉතා උසස්
බවත්, එබැවින් රජ සැපය තරම් යහපත් සුවයක් නොමැති බවත් ප්‍රකාශ කළහ. කම්
සැප විඳ පැවිදිවූවෝ පස්කම් සැපයම යහපත් බවත්, එයට වඩා මන පිනවන උසස්
සැපතක් ලෝකයේ නොමැති බවත් ප්‍රකාශ කළහ. ගිහිගෙයි රස මසවුලෙන් යුත්
මිහිරි බොජුන් අනුභව කොට පැවිදි වූවන් සඳහන් කළේ ප්‍රණීත බොජුන්
වැළඳීම උසස්ම සැපත බවත් මෙලොව එයට වඩා උසස් සැපතක් නොමැති බවත්ය.
එවේලෙහි එතැනට වැඩමකළ බුදුරජාණන් වහන්සේ හමුවෙහි ඔවුහු තම තමන් සැප
යැයි කීදේ පිළිබඳ වෙන් වෙන් වශයෙන් සැලකර සිටියහ. එවිට එම භික්ෂූ පිරිස
ඇමතු බුදුරජාණන් වහන්සේ ඒ එකම දෙයක් තුළවත් සැපයක් නොමැති බවත් ඒ
සියල්ල කෙළවරක් නොදැකිය හැකි දිගු සසර දුකටම ඇතුළත් වන බවත් වදාළහ. මෙම
සිද්ධිය නිමිතිකොට ගෙන බුදුරදුන් ‘බුදු උපත සැපය. සදහම් දෙසුම සැපය. සඟ
සමඟිය සැපය. සමඟිවූවනට තපස සැප යැයි වදාරමින් දහම් දෙසා එකී පන්සියයක්
පමණ වූ භික්ෂුන් වහන්සේ අරහත් භාවයෙහි පිහිට වූ සේක.
චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට අවබෝධ කරවාදුන් එකම ශාස්තෘවරයා වනුයේ,
බුදුරජාණන් වහන්සේය. දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම හා දුක නැති
කිරීමේ මාර්ගය වශයෙන් මෙම උතුම් සත්‍ය සතර බෙදා වෙන්කොට තිබේ. දුක නැති
කිරීමේ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ශීල, සමාධි, ප්‍රඥා යන
ත්‍රිශික්ෂාවන් දියුණුකර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස්
වෙයි. පන්සාලිස් වසක් පුරාම බුදුරදුන් දෙසූ මුළුධර්මයම මෙම මාර්ගය
මුල්කොට පවතියි. සංයුක්ත නිකායේ නගර සුත්‍රයේ දී බුදුරදුන් දේශනාකර
ඇත්තේ අංග අටකින්යුත් මෙම මාර්ගය පෙර විසූ බුදුවරුන් විසින්ද අනුගමනය
කරනලද මාර්ගය බවත් තමන් වහන්සේ ද නැවතත් එම මාර්ගය සොයාගෙන එය ලෝකයාට
අවබෝධ කරවාදෙන බවත්ය. බුදුරදුන් වෙත පැමිණි ඒ ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය
ධර්මයන්හි දියුණුවේ ප්‍රමාණයත්, ධර්මය තේරුම් ගෙන එය පිළිපැදීමට ඔවුන්
තුළ පැවැති හැකියාවත් අනුව නොයෙක් ආකාරයෙන් ද නොයෙක් වචනවලින් ද
උන්වහන්සේ මෙම මාර්ගය විස්තර කර දුන්හ. එකී නිර්වාණගාමි ප්‍රතිපදා
මාර්ගය ලෝකයාට පෙන්වා දී අවිද්‍යා අන්ධකාරයෙන් ලෝකයා මුදවා ගැනීම නිසා
බුදුඋපත හැර අනෙකක් ලෝකයාගේ පරම සැපත සඳහා හේතු නොවේ. බුදුඋපත නිසාම
සිදුවන සදහම් දෙසීමද ඒ අනුවම පරම සැපතක්ම වේ.බුදුන් වදාළ ධර්මය ලෝකයා
වෙත ගෙන යන භික්ෂූන් වහන්සේගේ සමඟි භාවයද, එසේ සමඟිව ගෙන යන
ප්‍රතිපත්ති පිරීමද ලෝකයාගේ මෙලොව, පරලොව සැපත සඳහාම හේතු වේ.
එබැවින් සුව ගෙන දෙන මෙකී කරුණු සතර පිළිබඳ මනාව වටහාගෙන සසර ගමන පුරාම
සෑහෙන කුසල ධර්ම රැසක් සිදුකොට,ඉතා අපහසුවෙන් අප ලද මෙම දුර්ලභ වූ
මිනිසත් බවෙන් මෙලොව හා පරලොව සුබසෙත සලසා ගැනීමට අපි සැවොම වඩාත්
උත්සුක විය යුත්තෝ වෙමු.
තෙරුවන් සරණයි!
සිතුවම - සරත් නන්ද කුමාර |