UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියවසක් සපිරෙන විතාරන්දෙණිය ශ්‍රී සුදර්ශනාරාමය

සියවසක් සපිරෙන විතාරන්දෙණිය ශ්‍රී සුදර්ශනාරාමය

දකුණු පළාත හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතාරන්දෙණිය ගම ඉතා පැරැණිවූ ද වැව්, වෙල් හා තුරුලතාවන්ගෙන් හා ගොවිතැන ජීවන උපාය කරගත් දැහැමි මිනිසුන්ගෙන් යුත් රමණීය ගම්මානයකි.

දුටුගැමුණු රජ දවස රුහුණේ ප්‍රාදේශීය පාලකයකු වූ මිණිකිරුළ රජු කළ පැරැණි වෛත්‍යක්ද පෞරාණික සෙල් පුවරු අදද දක්නට ඇත. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ සඟ පරපුරේ වේහැල්ලේ දම්මදින්න නාහිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරෙන් පැවත එන විතාරන්දෙණිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සුප්‍රකට හිමිනමක්ව වැඩසිටි මුලනේ ගුණානන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

උන්වහන්සේ එම විහාරස්ථානය පමණක් නොව තවත් විහාරස්ථාන 07ක් ආරම්භ කළ අතර ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 18 නමක් සසුනට දායාද කළෝ ය. එම භික්‍ෂූන් වහන්සේලා අතර පණ්ඩිත පළපොත ධම්මානන්ද, විතාරන්දෙණියේ චන්දජෝති, මිද්දෙණියේ පේමරතන ආදී හිමිවරු චිර ප්‍රසිද්ධය. ඒ අතර වර්තමානයේ රටට පමණක් නොව ලෝකයටම කොළඹ නගරයට පැමිණෙන විට නගර මධ්‍යයේ ඇති රමණීය අඩි 90 උස චෛත්‍යද දහඅට රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව පිහිටා ඇති කොටුව සම්බුද්ධාලෝක විහාරය නිර්මාණය කළේ විතාරන්දෙණියේ ශ්‍රී චන්දජෝති නාහිමිපාණන් ය. විතාරන්දෙණිය සඟ පුරපුරේ දැනට ජ්‍යෙෂ්ඨතම ස්වාමීන්වහන්සේ ලෙස කටයුතු කරන්නේ කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන් වහන්සේ ය. විතාරන්දෙණිය ශ්‍රී සුදර්ශනාරාමය කේන්ද්‍රකරගනිමින් අපවත්වී වදාළ විතාරන්දෙණියේ චන්දජෝති නාහිමියන් ඇතිකළ සමාජ සංවර්ධන පදනම මඟින් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදුකළහ. අධ්‍යාපනය හදාරණ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම ගොවිජනතාවට ආධාර කිරීම, ගමේ යටිතල පහසුකම් නංවාලීම ඒ අතර ප්‍රමුඛ තැනක් ගත්හ.

මෙම විහාරස්ථානය වර්තමානයේ විශාල දියුණුවකට පත්කළේ කිරින්දේ ගුණසිරි ලොකුහාමුදුරුවන්ය. සීමා මාලකය සහිත සංඝාවාසගෙය ඇතුළු ප්‍රධාන ධර්මශාලාවක්ද චෛත්‍යය, බෝධිය, බුද්ධ මන්දිරය, විෂ්ණු, කතරගම දේවාල, දාන ශාලා ආදිය ගොඩනැඟීමෙන් අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කළේ උන්වහන්සේයි. කදුරුපොකුණ සිරි ධම්මතිලක පිරිවෙනේ පරිවේණාධිපති ධූරය දරමින් විශාල අධ්‍යාපනික සේවාවක් සසුනට සිදුකළහ. විහාරාධිපති කිරින්දේ ගුණසිරි ස්වාමීන් වහන්සේ වර්තමානයේ ද ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් බිහිකර ඇත. එදා සිට මෙම විහාරස්ථානය වර්තමානය දක්වා ශාසනික ආගමික සේවාවන්ගෙන් ප්‍රදේශයට විශාල සේවාවක් සිදුවීම සැමට ආදර්ශවත් ය.

ශ්‍රී ගුණානන්ද දහම් පාසල මඟින් ප්‍රදේශයේ දරුවන්ට බෞද්ධ අධ්‍යාපනය ලබාදෙමින් ද ජාතික හා ආගමික හැඟීම් දරුවන් තුළ ඇතිකිරීම සඳහා විවිධ වැඩසටහන් සිදුකරනු ලබයි. මාසික සීල වැඩසටහන මඟින් වැඩිහිටි සැමට මානසික සුවයක් ලබාදෙති. ධර්ම පුස්තකාලය තුළින් ගමේ ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වාම ධර්ම ඤාණය දියුණුකිරීමට මහත්රුකුළකි.

අති විශිෂ්ට සඟ පරපුරකට නෑකම් කියන විතාරන්දෙණිය ශ්‍රී සුධර්ශනාරාම මහා විහාරස්ථානයට වසර 100 කි. ඒ වෙනුවෙන් 2013 මාර්තු 11 සිට 14 දක්වා හත්වරු පිරිතක් ඇතුළුව මහා පින්කම් මාලාවක් පැවැත්විණි. ඒ නිමිත්තෙන් විතාරන්දෙණිය මහා විද්‍යාලයේ ඉගෙනුම හදාරන දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමක්ද මාර්තු 14 උදේ සිදුකිරීමට බලාපොරොත්තුවේ. විහාරාධිපති නාහිමියන්ගේ ජාතික හා ආගමික සේවාව සමරනුවස් කිරින්දේ ගුණසිරි උපහාර ශාස්ත්‍රීය ග්‍රන්ථයක් “අනුපද” නමින් එළිදැක්වීමට මාර්තු 15 දින උදෑසන විශේෂ උත්සවයේ දී කටයුතු යොදා ඇත. රටත් ජාතියත් ආගමත් ලෝකයත් බැබළවූ විතාරන්දෙණිය සඟපරපුරටත් ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයටත් අනාගතයේද සසුන බබළවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 09.40ට ලබයි.
20 වැනි දා බදාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 19 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මාර්තු 26 වැනි දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]