UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සර්පයා සහ තෘෂ්ණාව

සර්පයා සහ තෘෂ්ණාව

බුදුරජාණන් වහන්සේගේ දේශනා සංස්කෘතියක් ලෙස සංවර්ධනය වෙලා ආගමක් වශයෙන් ස්ථාපිත වුණාට පසුව ලංකාවේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත වුණා. ප්‍රධාන වශයෙන්ම ආගමක් ලෙස සංස්ථාපිත වීමයි, එහි ප්‍රකාශනයන්ගේ යථාර්ථය ගවේෂණය කිරීමයි, සමාන්තරව යන දෙකක් වුණාට පැහැදිලිවම එය දෙකක්.

සමහර වෙලාවට සංස්කෘතිකව මේ සම්ප්‍රදාය තුළ නොඉඳ යථාර්ථය දැකිය හැකියි. උදාහරණයක් වශයෙන් බෞද්ධ ඇවතුම් පැවතුම් වත්පිළිවෙත් නැතිව තණ්හාව බන්ධනයට හේතුවය කියන කාරණාව තේරුම් ගත හැකි .කෙසේ වුවත් මේ ලෝකයේ අවසානයට ඉතිරි වන්නේ “දුකයි” කියන දෙය තේරුම් ගැනීමට සංස්කෘතිකව බෞද්ධයෙක් වීම වැදගත් වෙන්නත් පුළුවන්. එය එතරම් වැදගත් නොවෙන්නත් පුළුවන්. ඒ අනුව බුදුහාමුදුරුවන්ගේ සමස්ත සම්බුද්ධ ශාසනයේදී වෙනම තියෙන ප්‍රකාශන පිළිපදින්නා වූ හෝ අනුගමනය කරන්නා වූ හෝ එය පිළිගන්නවූ හෝ පිරිසක් භික්‍ෂු සංස්ථාවක් හැටියට වෙනම සංවර්ධනය වෙලා තියෙනවා. එම භික්ෂු සංස්ථාව පෝෂණය කරන්නා වූ සහ උන්වහන්සේලා විසින් මෙහෙය වන්නා වූ ප්‍රජාව බෞද්ධ නමින් හඳුන්වනු ලබනවා. මෙය සංස්කෘතියක් එක්ක, සභ්‍යත්වයක් එක්ක, චාරිත්‍ර වාරිත්‍ර සමඟ යන මානව සංස්ථාවක්. මෙම මානව සංස්ථාව පවත්වාගෙන යා යුත්තේ එක්තරා ආගමික කුළකයක් පවත්වාගෙන යාම උදෙසා පමණක් නොවෙයි. යථාර්ථයක් ග්‍රහණය කරගැනීම සඳහායි.

ලෝකයේ කිසියම් ආකාරයක පරම සත්‍යයක් තියෙනවා. එම පරම සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එම පරම සත්‍ය බුදුහාමුදුරුවො දේශනා කළාය කියලා අපි නිරතුරුවම පිළිගනු ලබනවා. එම පරම සත්‍ය පිළිගැනීම සඳහා අපි කිසියම් ආගමික සම්ප්‍රදායක් ඇති දැඩි කරගෙන තිබෙනවා. එම ආගමික සම්ප්‍රදායෙහි එන්නා වූ ඇවතුම් පැවතුම් කිරීමත් , එම ආගමික සම්ප්‍රදායේ එන්නාවූ යථාව ග්‍රහණය කිරීමත් දෙකක්.

උදාහරණයක් වශයෙන් යම් කිසි කෙනකුට තුන් වේල බුද්ධ පූජා තියාගෙන බුදුන් වැඳල දැඩි ලෝභ කමින් ජීවත් වන්නේ නම් එම තැනැත්තා බෞද්ධයෙක්ද? නොවේද? යන්න ගැටලුවක් තිබෙනවා. නිති පන්සිල් පොහොය අටසිල්, සුරකිමින්, විහාරස්ථාන පන්සල් ගොඩනගමින් එහෙත් ලෝකයේ පරම සත්‍ය වන තෘෂ්ණාව නිසා බැඳී සිටින්නා වූ බැඳීම් තේරුම් ගැනීමට නොහැකි ජීවිතයක් ගත කරන්නාවූ තැනැත්තා “බෞද්ධ” ද? නැද්ද? ඉතාමත් හොඳ විවාහ ජීවිතයක්ද, පවුල් ජීවිතයක්ද? ගත කරන්නාවූ බොදුනුවෙක් ඉන්නවා. ඔහු දරුවන්ට සලකනවා, සමාජ බද්ධ ක්‍රියාකාරකම් කරනවා. වෙහෙර විහාරවලට උදව් පදව් කරනවා. නමුත් මොහු ලෝකය “දුකයි” කියන එක පිළිගන්නෙත් නැහැ. සහ තෘෂ්ණාව නිසා බැඳී තිබෙන බව පිළිගන්නෙත් නැහැ. මොහු “බෞද්ධ”ද? “අබෞද්ධ”ද? මෙම කාරණාව සරල විග්‍රහයකට පැමිණ මොහු බෞද්ධයෙක් නොවේයැයි කිව නොහැකියි. පන්සල් නොයන, කිසිම විහාරස්ථානයකට උපකාර නොකරන පුද්ගලයා බෞද්ධයෙක් නොවේ යැයි සරලව ප්‍රකාශ කළ නොහැකියි.

හොඳ ජීවිතයක් ගතකරමින් ඉතාමත්ම යහපත් ව්‍යාපාරයක්ද කරමින්, ධාර්මික ධනස්කන්ද හරිහම්බ කරගෙන එහෙත්, මේ සංසාරය හෝ දුක හෝ තෘෂ්ණාව හෝ පිළිබඳව අල්ප මාත්‍රයක හැඟීමක් නැතිව ජීවත්වෙන්නාවු තැනැත්තා,බෞද්ධ නොවේය, කියන සාහසික ප්‍රකාශයක් කළ යුතු නැහැ.

සමහරු සංස්කෘතික බෞද්ධ, සමහරු ආගමික, බෞද්ධ, සමහරු දාර්ශනික බෞද්ධ වශයෙන් තම තමන්ගේ විෂය පරාසය ඇතුළත සංවර්ධන වුන බෞද්ධයන් ඉන්නවා. මේ දෙස සමාජ විද්‍යාත්මක විවේචනය ආත්ම තෘප්තියක් ලැබීමේ තිරස්චීන ආසාවකින් නොකළ යුතුයි. සමාජ විද්‍යාත්මක විග්‍රහයක් කිරීම අවශ්‍ය වුවත් එහිදී තලා පෙළා, හිංසාවෙන් ,පීඩාවෙන් අපහාසයෙන් හෝ උපහාසයකින් නොවිය යුතුයි. දන් පහන්, දෙමින් බුද්ධ පූජා, බෝධි පූජා පවත්වමින්, නිරන්තරව විහාරස්ථානයත් සමග සම්බන්ධකම් පවත්වමින්, ජාතික හා ආගමික භාවය ඉතාමත් වැඩි භක්ති පූර්වක බෞද්ධයන් පිරිසක් ඉන්නවා. භාවනා කරමින්,අධ්‍යයනය කිරීම් කරමින් කුමන හේතුවක් නිසාවත් විහාරස්ථානයට නොයන, භක්තියක් ඇත්තේම නැති දාර්ශනික බෞද්ධයන් පිරිසකුත් ඉන්නවා. ආචාර ධර්ම පිළිගන්නා බෞද්ධයන් හොඳ නරක පිළිබඳව පමණක් හිතමින්, හැම ආගමකම තියෙන්නේ හොඳ ගැන කියන්න විතරයි, යන විග්‍රහයක යෙදීම ඔවුන්ගේ ස්වභාවයයි.

හැම ආගමක හොඳ නරක විග්‍රහ කරදෙන බව සත්‍යයක් වුවත්, හැම ආගමක් ම තියෙන්නේ හොඳ නරක කියාදීමට පමණක් නොවෙයි. ආගමක් වූ විට හොඳ කියල දෙන, නරක ප්‍රතික්ෂේප කරන එකක් විය යුතුයි. එසේ නොවුවහොත් එය ආගමක් නොවෙයි. නමුත් ආගමක් කියන්නේ ඒ සඳහාම නොවෙයි. සංස්කෘතික බෞද්ධ, ආගමික බෞද්ධ සහ දාර්ශනික බෞද්ධ යන කොටස් තුන බෞද්ධයන් අතර පමණක් නොවෙයි, සෑම ආගමක දක්නට ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේට ඇත්ත වශයෙන් අවශ්‍ය වුණේ ආගමක් හදල විශාල සංස්කෘතික සම්ප්‍රදායක් හදල, විශාල පිරිසක් ඒකරාශි කරගත්ත ජනනායකයන් වහන්සේ නමක් වෙන්නද? නැත්නම් ලෝක සත්‍යය පැහැදිලි කරන්නද? බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ උන්වහන්සේට දැණුන ලෝක සත්‍යය පැහැදිලි කිරීමයි.

උන්වහන්සේට දැණුන සත්‍යදේශනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම දේශනාව පිළිගත් පිරිසක්, කණ්ඩායමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වටා රොක්වුණා. මෙම රොක්වුණ පිරිස පාලනය කිරීම සඳහා විධිමත් නීතිරීති පද්ධතියන් ගොඩනැගුණා. එමගින් සංඝ සංස්ථාවක් බිහිවුණා. උන්වහන්සේට වුවමනා වුණේ, මේ ලෝකයේ මිනිසුන් බැදී සිටින දැවැන්ත බැම්ම “ආසාව” නිසා ඇති වන බව පැහැදිලි කිරීමටයි. සියලුම දේ අනිවාර්යෙන්ම අතහැර දමා යාමට මිනිසුන්ට සිදුවුවත්, එසේ යා නොහැකි වන්නේ එම බැඳීම නිසයි. කඩදාසි කොළ දෙකක් වතුරෙන් තෙත් කරල ඇළවිය හැකියි. ඒ වගේම කඩදාසි කොළදෙකක්, මුද්දර දෙකක්, ගම් ගාල ඇලවිය හැකියි. වීදුරු දෙකක් ගම් ගාල ඇලවිය හැකියි.මෙම නිදර්ශන අතුරින් කඩදාසි කොළ දෙක ඇල්වතුරෙන් අලවා තැබුවත් මඳ වේලාවකින් වියලී ගිය විට එය නැවත ගැලවෙනවා.

මුද්දරයක වතුර ගාල ඇලවූ විට මුද්දරය ලියුම් කවරයෙන් සීරුවෙන් ගලවා ගන්න හැකියාව තියෙනවා. මුද්දරය ගම් ගාල ඇලවූ විට ගැලවීමේදී මුද්දරයට හෝ ලියුම් කවරයට හෝ ටිකක් හානියක් වෙලා ගලවා ගත හැකියි. වීදුරු දෙකක් දැවැන්ත ගම් එකක් ගාලා ඇලවූ විට එය වෙන් කරන්න දරන වෑයමේදී බැම්ම නොබිඳී වීදුරුව බිඳෙනවා. දෙකක් සම්බන්ධ වූ විට එය වෙන් කරන්න යාමේදී හානිය වැඩිවෙන්නේ ගම් එකේ ශක්තියේ තරමටයි. වතුරෙන් ඇලවූ දෙය ඇලවී තිබුණත් එය ගම් එකක් නොවන නිසා පහසුවෙන් ගැලවිය හැකියි. එය බන්ධනයේ් ස්වභාවයයි. බැඳීම කෙතරම්ද වෙන්වීමේදී වන හානිය හෙවත් තුවාලය ඒ හා සමානයි.

පේමතො ජායතී සොකො, තණ්හාය ජායති සොකො යනුවෙන් හැම ප්‍රකාශනයකින්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න යෙදුණේ මෙම කාරණාවයි. 2004 දෙසැම්බර් 26 වෙනිදා උදේ විනාඩි 10 ක කාල සීමාවක් තුළ ශ්‍රී ලංකාවේ 60,000 ක් මළා. එයට අමතර වසර 30 ක කාලයක් තුළ පැවැති ත්‍රස්තවාදයෙන් විශාල පිරිසක් මළා යැයි කියනවා. යුද්ධයේදී ඇතිවන මරණවල කම්පනයයි, සුනාමියේ ඇතිවුණ කම්පනයයි දෙක සමානම නෑ. මේ සුනාමි ව්‍යවසනය පත් වුණ දිනයේදී මම කම්පාවට පත්වූයේ මාගෙ සහෝදරියක් හෝ සහෝදරයෙක් වෙරළාසන්නව ජීවත් වූ නිසයි. එම දරු පවුල කොහිදැයි සෙවීමට මම කොතරම් වෙහෙසවූවාද? ඉතිරි 59,999 ක් දෙනා ගැන කම්පාවක් මගේ හිතේ තිබුණත් මා වෙහෙස වූයේ ඇය හෝ ඔහු සෙවීමටයි.

මරණය හෝ වෙනත් විපතක් හෝ වේවා වේදනාව දැනෙන්නේ පෞද්ගලික සම්බන්ධයේ තරමටයි. අප කතා බහ කරමින් සිටින මේ මොහොතේදීත් කෙතරම් ප්‍රමාණයක් මිනිසුන් මැරුණත් , එය අපට දැනෙන්නේ නැහැ. අපේම ඥාතියා මිය ගිය දාට අපට එය දැනෙනවා. මරණය හෝ වෙන්වීම නොවෙයි, අපට දුක ගෙනෙන්නේ, ඒ වෙන්වූයේ කවුද? තමන් හා සබඳකම් පවත්වපු තරමටයි දුක දැනෙන්නේ. ඥාති සම්බන්ධතාවය මත දුක දැනෙනවාය යන්න මෙයින් ප්‍රකාශ වන්නේ නැහැ.

සබඳකමේ සාපේක්‍ෂ ඝනත්වය මත දුක්ඛදායක භාවය හිතට දැනෙනවා. මිනිසුන් තේරුම් ගත යුතු කාරණය වන්නේ, තමන්ට දුකක් දැනෙන්නේ තමන් හා සබඳකම් පැවැත්වූ තරමට බව එය එහි ස්වභාවයයි. මා සතුව ඇත්තේ බැඳුණූ පේ‍්‍රමයකි. එහි ඝනත්වය විනිවිද දකින්න හා තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි.

දෙරණ මත තුඹසයා
තුඹස තුළ නාගයා
විෂ ඝෝර සර්පයා
දැක නාරු මෝඩයා

මෙම කවියෙහි සැබෑ අර්ථය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරත්න හිමියන්ට පහදා දුන්නේ උන්වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය මිනිවන්ගොඩ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පඤ්ඤාජෝති වංශාලංකාර කීර්ති ශ්‍රී සාමවිනිසුරු පණ්ඩිතාචාර්ය මඩම්පැල්ලේ සිරි සුධම්ම නා හිමියන්ය

මෙය දහම් ගැටයකි, දෙරණ යනු මහපොළවයි. “තුඹස” යනු මහපොළව මත ජීවත් වන මිනිසුන් හෙවත් සත්වයන්ය” තුඹස තුළ නාගයා” යනු මිනිස් ශරීරය ඇතුළත තෘෂ්ණාව නමැති නාගයෙක් ඉන්නවා. එම තෘෂ්ණාව නමැති නාගයා විෂ ඝෝර සර්පයෙකි. එම මිනිස් ශරීරය ඇතුළත තිබෙන මෙම තෘෂ්ණාව නමැති සර්පයා දැක දැකත් යන්න උත්සාහ කරන තැන් තැන්වල යන්න දෙන්න එපා.

මෙම මහපොළොව මතජීවත්වන සෑම සත්ත්වයකුටම ආසාවන් තිබෙනවා. නඩු හබ , අර්බුද, ගැටලු, ප්‍රශ්න, යන සියල්ලම පැමිණෙන්නේ මෙම තණ්හාව, ආසාව, බලාපොරොත්තුව ,අපේක්‍ෂාව හා බැඳෙන නිසයි. මිනිසුන් හෝ සත්ත්වයන් තුළ තිබෙන ආසාවන් ඔවුන්ගේ ස්වභාවයක් මිසක්, වරදක් නොවෙයි. තෘෂ්ණාව ආසාව, බලාපොරොත්තු, අපේක්‍ෂාවන් නැති සජීවි සත්ත්වයෙක් සිටිය නොහැකියි. තෘෂ්ණාව සජීවි සත්ත්වයකුගේ ස්වභාවය වුවත් එය ගැටලුවක් ප්‍රශ්නයක් නොවන්න වර්ධනය නොවී මැඩ පවත්වා ගත යුතු වෙනවා. තෘෂ්ණාව “තෘෂ්ණාව” සේ අවබෝධයකින් යුක්ත පිළිගැනීම පලමුවෙන් කළ යුතුය. පෙරහරක් ගමන් කරන විට අප එම පෙරහරේම අංගයක් වුවහොත්, පෙරහර හැඩ වැඩ අපට දකින්න ලැබෙන්නේ නැහැ. පෙරහරෙන් බැහැරව සිටින පුද්ගලයාට එම පෙරහරේ හැඩ වැඩ, අඩුපාඩු දකින්න පුළුවන්. එවැනි ආකාරයට පෙරහරේ අංගයක් වුවහොත් අපිට එයට හරියට දකින්න නොලැබෙනවා වගේ ජීවිතයේ තෘෂ්ණාවෙහි අංගයක් වුවහොත් ඔහුට එහි හොඳ නරක පේන්නේ නැහැ. එයින් පරිබාහිරව සිටිමින් ඒ දෙස බලා අධ්‍යයනයක යෙදෙන කෙනෙකුට කාගෙ කාගෙත් හරි වැරැදි දකින්න පුළුවන්. තාෂ්ණාව “තෘෂ්ණාව” සේ දකිමින් එය සීමිතව පාලනය කර ගත යුතුයි. තෘෂ්ණාව නිසා බන්ධනයක් ඇතිවෙනවා. එම බන්ධනය නිසා අපට දාල යන්න බැරි වෙනවා. දාල යන්න අප පුරුදු පුහුණු විය යුතුවෙනවා. දාල යන්නම අපට සිදුවෙන නිසා . කිසිම පුද්ගලයෙකුට කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක් අවුරුදු 100 ක් අයිතිවෙලා ඉන්නේ නැහැ.

ගස්-කොළන්, යාන -වාහන, ගේ-දොර, වතු-පිටි යන සියලුම උපභෝග, පරිභෝග වස්තු අවුරුදු 100 කට වඩා කාලයක් තිබුණත් ඒ එකක් වත් මිනිසුන්ට අයිතිවෙන්නේ නැහැ. මා සතුව ඇත්තාවු සියලුම දේ මා හට ලැබුණේ වෙනත් අයකුගෙන් නම් මා එය එවැනිම වෙනත් කෙනකුට දිය යුතුමය. මේ ලෝකය රිලේ තරගයක් මෙනි. බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළ මෙම සංස්කෘතිය චාරිත්‍ර වාරිත්‍ර සමග දාර්ශනිකව ලෝකය ග්‍රහණය කරගන්නත්, දාර්ශනික භාවයෙන් ලෝක සත්‍යය මැනවින් තේරුම් ගන්නත් මෙම කාරණාව උදව් උපකාරිවේවි.

සටහන: හේමමාලා රන්දුනු

 

උඳුවප් මස පුර පසළොස්වක පෝය

උඳුවප් මස පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 27 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 01.27 ට ලබයි. 28 වැනි දා සිකුරාදා අපර භාග 03.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 27 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]