උඳුවප් පුර පසළොස්වක 2012
දෙසැම්බර් 27 වන දා
බෞද්ධයාගේ යුතුකම
බෞද්ධ ගෘහස්ථයා නිරතුරුවම බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන සරණ ගිය
අයෙකි. ඔහුට මේ උතුම් තෙරුවනට වඩා අගනා වෙනත් දැයෙක් නැත.
“නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං” අවබෝධයෙන් සහ
ශ්‍රද්ධාවෙන් ම තෙරුවනෙහි අපමණ මහ ගුණ ගැන පැහැදී කටයුතු කෙරේ.
ඒ සැබෑ බොදුනුවාගේ ලක්‍ෂණයයි.
හදවතට බියක් තැති ගැනීමක් පැමිණි විට ද නිරන්තරයෙන් සිහිකරනුයේ
මෙන්ම සිහියට නැගෙනුයේ ද තුනුරුවනෙහි ගුණ පිළිබඳව ය.
තම තමන්ගේ ලෞකික දියුණුවට උපකාරී වන වටිනා දෑ ලොව කොතෙත් ඇතත්,
ඒ සියල්ලටම වඩා බෙහෙවින් ම දෙලොව දියුණුවට ම පිහිට වනුයේ,
පිළිසරණ වනුයේ මේ උතුම් තෙරුවන බව ම කල්පනා කළ යුතු වේ.
උතුම් තෙරුවන ලොව පහළ වූයේ මා කෙරෙහි ම වූ කරුණාවෙනි, යි යන
හැඟීමෙන්, සිතීමෙන් කටයුතු කරන විට කවර තරමේ කරදර, බාධක
දුක්කම්කටොලු පැමිණිය ද , ඒ සියල්ල විඳ දරා ගනු ලබන්නේ
බුදුරජාණන් වහන්සේ හැර වෙනත් ශාස්තෘවරයෙකු ඔස්සේ නොයමිනි. අන්
සියලු දහම්වලට වඩා උතුම් දහම මේ සම්බුදු දහමයි. එමෙන් ම සියලු
පිරිස් අතුරෙන් උතුම්ම පිරිස ශ්‍රාවක මහ සඟ රුවනයි.
තෙරුවන කෙරෙහි සිතෙහි හට ගන්නා ගෞරවය නිසා ම ඒ තුනුරුවන් වෙත
පුද පෙරහර පැවැත්වීමට සැදැහැතියා ගත සිත මෙහෙයවයි.
බුදුරජාණන් වහන්සේගේ නමින් වෙන් කොට තබා තිබෙන ඉතා සුළු දෙයක්
කෙරෙහි වුවද. තෙරුවනට සැබෑ ගරු බුහුමන් දක්වන තැනැත්තා විසින්
එය පූජ්‍ය වස්තුවක් සේ සලකා කටයුතු කරනු ලැබේ.
සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ, තැන්පත් කර තිබෙන සම්බුදු
මැදුරේදීත් සෑ මළුව මෙන්ම බෝමළුවේදීත් බුදුරජාණන් වහන්සේ
ජීවමානව වැඩ ඉන්නා සේ සලකා සන්සුන් වේ. තැන්පත් වේ. ගෞරවයෙන්
හැසිරෙනු ලැබේ. මේ අයුරෙන් බෞද්ධ ගෘහස්ථයා ස්වකීය දහම කෙරෙහි
ආගමික යුතුකම් නොපිරිහෙලා ඉටු කළ යුතුවේ.
අධර්ම ජීවිකාවෙන් වැළකී, හැම විට පන්සිල් රකිමින්, පොහෝදා
අටසිල් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු වේ.
සිරි සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේගේ ඓතිහාසික ලංකාගමනය
මෙනෙහි කෙරෙන මෙම උඳුවප් පොහෝ දින ද බොදුනුවා සැදී පැහැදී
සඟමිත් පෙරහර ආදිය පවත්වමින් සිදු කරන්නේ ද මහත් යුතුකම්
සමුදායක් ඉටු කිරීමකි. එමෙන් ම කළ ගුණ සැලකීමකි.
ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ පෙරටු කොට සිරිලකට වැඩම කළ සිරි
සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස නිසාම හෙළ වනිතා
පරපුරට ආධ්‍යාත්මික ශක්තියේ අග්‍ර ඵල නෙළා ගැනීමට හැකි වූවාය.
මෙසේ බලන විට සිරි සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේගේ ශ්‍රී
නාමයට බැති කුසුම් පුදා මහත් හරසරින් ශ්‍රී ලාංකේය බොදුනුවන්
පුදනු ලබන්නේද ආගමික වශයෙන් බොදුනුවා විසින් ඉටු කළ යුතු
යුතුකමක් ද සපුරමිනි. ආගමික වශයෙන් යුතු ඉටු කිරීමේදි බොදුනුවා
ඊට හැම විට ඇප කැපවී කටයුතු කරන අයුරු සැබැවින්ම පැසසිය යුතු
වේ.
ආගමික වශයෙන් පමණක් නොව සාමාජික වශයෙන් ද බෞද්ධ ගෘහස්ථයා
යුතුකම් ඉටුකිරීමට පෙළඹීම ද අගය කළ යුතු වේ.
වෙසෙසින් ම තම දෙමාපියන්ට, ගුරුවරයින්ට, වැඩිහිටියන්ට නෑ
හිතවතුනට ආදි වශයෙන් යුතුකම් ඉටුකිිරීමේ භාග්‍යය උදාවූයේ ද
මූලිකවම ආගමික යුතුකම් ඉටුකිරීම මගිනි.
එබැවින් යුතුකම් ඉටුකිරීමට, කළ ගුණ සැලකීමට ආදර්ශයෙන්ම මග
හෙළිකරන ලද්දේ සම්බුදු සිරිතත් එමෙන් ම සම්බුදු දහමත් බව
බොදුනුවා අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයකි.
මේ අනුව බුද්ධිමත්ව බලන විට ජීවිතයේ ගෙවී යන සැම දිනයක් පාසාම
බොදුනුවා යුතුකම් ඉටුකිරීමට උනන්දුවෙන් ක්‍රියාකරන ආකාරය දක්නට
ලැබේ.
ඒ උදාර යුතුකම් ඉටුකිරීමේ මහඟු ගුණය අප තුළින් කෙසේවත් ගිලිහී
යාමට හෝ ඈත්වීමට ඉඩ නොතබා බුද්ධිමත්ව ක්‍රියාකිරීමද බෞද්ධයා
සතු මහඟු යුතුකමක් සේ මෙවන් ඓතිහාසික දිනයක සිහියට ගත යුත්තකි. |