අනුරාධපුර රුවන්වැලි සෑය මහා විහාර (විශ්‍රාමික)
පරිවේණාධිපති කොළඹ නව කොරළයේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංශ නා හිමි
අනුරාධපුර
අටමස්ථානය විශේෂ වැදගත්කමක් ඉසිලීම සඳහා ප්‍රධාන හේතු ගණනාවක් දක්නට
ලැබේ. පැරණි රජ දරුවන් විසින් ඉදිකරන ලද බෞද්ධ සිද්ධස්ථාන වූ ජයසිරි
මහා බෝධීන් වහන්සේ,
ථූපාරාමය, රුවන්වැලි සෑ මහාථූපය, අභයගිරිය, ජේතවනය, මිරිස වැටිය,
ලංකාරාමය, ලෝවා මහාපාය ඇතුළු ඓතිහාසික ස්ථාන දක්නට ලැබේ. දක්‍ෂිණ
විහාරය, පැරැණි දළදා මාලිගාව,
නකා වෙහෙර, පබ්බත විහාරය,
ඉසුරුමුණිය, විජයාරාමය,
වෙස්සගිරිය, සංඝමිත්තා චේතිය, ආදී සිද්ධස්ථාන වලින් මෙම
අනුරාධපුර ඓතිහාසික
වැදගත්කම වඩාත්
වැදගත් වී
තිබේ
උතුරු දිග මායිම්ව මල්වතු ඔය අසළ පිහිටි අනුරාධපුර නගරය විජයරජුගේ
අනුරාධ නම් ඇමැතිවරයා විසින් ප්‍රථම වරට මෙහි ජනාවාසයක් පිහිටුවන ලද
බවත්, අනතුරුව පණ්ඩුවාස දේව රජුගේ බිසව වූ භද්දකච්ඡායනාගේ සොහොයුරු
අනුරාධ නම් කුමරු මෙහි වැවක් තනවා ඊට දකුණින් මාලිගයක් සාදවා වාසය කළ
බවත් මහා වංශයේ සඳහන් වෙයි. අනුරාධ නම් කුමරුන් දෙදෙනකුට වාසය වූ
නිසාත්, අනුර නම් නැකතින් පිහිටුවන ලද නිසාත් මෙම ස්ථානය අනුරාධපුර නම්
විය. අනුරාධපුරය පළමුවෙන්ම නගරාංගයන්ගෙන් සම්පූර්ණ කරවූයේ පණ්ඩුකාභය
රජු විසින් බව මහා වංශයේ අන්තර්ගත ය.
ඊට අනුව එකළ නගර නිර්මාණය හා නගර සංවිධානය පිළිබඳ නාගරිකයා දැන සිටි බව
කිසිදු සැකයක් නැත. මුටසීව රජු විසින් අනුරාධපුරයේ මහා මේඝ නම් උයනක්
කරවූ බවත්, ඒ නම ලැබුණේ ඒ සඳහා නොකල් මහා වැස්සක් ඇදහැලුණු නිසා බවත්,
මහා වංශයේ සඳහන් වී ඇත. මුල්ම බෞද්ධාගමික මධ්‍යස්ථානය බවට පරිවර්තනය
වුණේ ලාංකික බෞද්ධ සමාජයේ ප්‍රමුඛස්ථානය වූයේත්, මේ මුටසීව රජු විසින්
කරවන ලද මහමෙව්නා උයනයි. පණ්ඩුකාභය රජු ක්‍රි.පූ. 4 වන සියවසේ දී
අනුරාධපුරය තම අගනුවර කරගෙන නගරය හා උපනගරය නිම කළ බව සඳහන් වෙයි.
ක්‍රි.පු. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස කාලය දක්වා අනුරාධපුරය
ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානිය වූහ.
පළමුවන ඓතිහාසික නගරය වූ අනුරාධපුරය බුද්ධ ශාසනය පිහිටුවන ලද නිසාත්,එය
පූජනීය හා රාජකීය ඓතිහාසික නගරයක් වශයෙන් විශේෂ වැදගත්කමක් නිරූපණය වන
නිසාත්, අදත් සම්භාවනීය ආකාරයෙන් මහජනයා අතර ගෞරවනීය බවත් උසුලනු ලැබේ.
අක්කර 10000 ක් පමණ එකල මේ ප්‍රදේශයේ පුරා නටබුන් පැතුරුණි. එහි
අභිමානවත් අතීතය අද ද සිහිපත් කැරේ.
අනුරාධපුර අටමස්ථානය විශේෂ වැදගත්කමක් ඉසිලීම සඳහා ප්‍රධාන හේතු
ගණනාවක් දක්නට ලැබේ. පැරණි රජ දරුවන් විසින් ඉදිකරන ලද ලද බෞද්ධ
සිද්ධස්ථාන වූ ජයසිරි මහා බෝධීන් වහන්සේ, ථූපාරාමය, රුවන්වැලි සෑ
මහාථූපය, අභයගිරිය, ජේතවනය, මිරිස වැටිය, ලංකාරාමය, ලෝවා මහාපාය ඇතුළු
ඓතිහාසික ස්ථාන දක්නට ලැබේ. දක්‍ෂිණ විහාරය, පැරැණි දළදා මාලිගාව, නකා
වෙහෙර, පබ්බත විහාරය, ඉසුරුමුණිය, විජයාරාමය, වෙස්සගිරිය, සංඝමිත්තා
චේතිය, ආදී සිද්ධස්ථාන වලින් මෙම අනුරාධපුර ඓතිහාසික වැදගත්කම වඩාත්
වැදගත් වී තිබේ. ජගත් කීර්තියට පත් ශ්‍රේෂ්ඨ කලා කෘතීන් ලෙස විද්වතුන්
අතර ප්‍රසිද්ධියට පත් වී තිබෙන අභයගිරි විහාරයත්, අභය විහාර සංකීර්ණයට
අයත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේත්, විශිෂ්ට කලා කෘතියක් ලෙස ජගත්
කීර්තියට පත්ව ඇති අභයගිරි විහාරයේ සඳකඩ පහනත් අනුරාධපුරයේ ඓතිහාසික
වැදගත්කම දෙගුණ තෙගුණ වී ඇත. අනුරාධපුරයේ අටමස්ථාන තුළ පිහිටා තිබෙන
මහා විහාර සීමාව ලෙස උතුරින් ථූපාරාමයත්, දකුණින් මයුර පිරිවෙනත්,
ගිනිකොනින් ශ්‍රී මහා බෝධියත්, නැගෙනහිරින් ලෝවා මහා ප්‍රාසාදයත්, ඊසාන
දිගින් රුවන්වැලි සෑයත්, වයඹ දෙසින් බසවක්කුලමත්, බස්නාහිරින්
මිරිසවැටි දාගැබත්, දකුණින් දක්‍ෂිණ විහාරයත්, නැගෙනහිරින් හාල්පානු
ඇළත් මායිම් කොට ඇති ප්‍රදේශය එම සීමාවටම අයත් වෙයි.
අටමස්ථානය පිළිබඳ සැලකීමේ දී ඓතිහාසික වශයෙන් ඉතාම වටිනාකමක් ඇති
ථූපාරාමය මහා විහාර සීමාව තුළ වුවත් එම විහාර සීමාවෙන් ඔබ්බට පිහිටා
තිබේ.
බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට ස්ථූපයක්
කිරීමට මිහිඳු මා හිමියන් තුළ පැවැති අදහස දෙවනපෑතිස් රජු විසින්
මිහිඳු මා හිමියන් වෙත දැන්වීමෙන් අනතුරුව ප්‍රථම ස්ථූපය ථූපාරමය
වීමත්, රුවන්වැලි සෑය ආරම්භ වනතුරු මහා විහාර භික්‍ෂූන්ට පමණක් නොව
බෞද්ධ ජනතාවටත් පූජනීය ස්ථානයක් වීමත් ඉතාම වැදගත් වේ. අනුරාධපුර ශ්‍රී
මහා බෝධීන් වහන්සේ වැඳීමට ගිය සැදැහවතුන් ථූපාරාමයට ගොස් වැඳ පුදා ගත්
බවත්, ථූපාරාමය මිහිඳු මා හිමියන් දවස මහා විහාරයේ වැදගත්ම
සිද්ධස්ථානයක් වූ බවත් තොරතුරු දක්නට ලැබේ. ථූපාරාමය මේඝ වර්ණාභය
ඇමැතිවරයා කරවූ පිරිවර තිබූ ස්ථානයේ මණ්ඩපයක් තනා එම ස්ථානයේ ප්‍රථම
ධර්මසංඝායනාවක් පැවැත් වූ බවත් එනිසාම ථූපාරාමයේ ඓතිහාසික වටිනාකම
වඩාත් වැදගත්කමක් උසුලනු ලබයි. අනුරාධපුර පැරැණි නගරයට දකුණින් හා
ස්වර්ණමාලි මහා චෛත්‍යයට යාර 400 ක් පමණ උතුරු දෙසින් බසවක්කුළම, වැවට
ආසන්නව මෙම ථූපාරාමය පිහිටා ඇත. පණ්ඩුකාභය රජු විසින් මෙම ස්ථානය
‘මහේජ’ යන යක්‍ෂයා සඳහා කරවූ දේවාලයක් තිබූ බවටත් ඓතිහාසික වාර්තාවල
සඳහන් වී ඇත. ක්‍රි.පූ. 2 වන සියවසේ දී දේවානම්පියතිස්ස රජතුමා අනුබුදු
මිහිඳු මා හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් කරවන ලද ලංකාවේ පළමුවන ස්ථූපය
බවත්, එය ධාන්‍යාගාර හැඩයක් ගන්නා බවත් මහාවංශයේ සඳහන් වෙයි. උතුරුමැද
පළාතේ බොහෝ ස්ථුපවල මේ යුගයේ ලක්‍ෂණ දක්නට ලැබේ. භූමි මට්ටමේ සිට අඩි
11 අඟල් 4 ක් උස වෘත්තාකාර මළුවක මෙම ස්ථූපය තනා ඇත. නැගෙනහිර පියගැට
පෙළ පාමුල අඩි 3 ක පමණ විශ්කම්භයක් ඇති සඳකඩ පහනක් ඇත. පියගැට 12 ක්
නැගුණු තැන එක් පුළුල් පඩියක් හමුවන අතර මෙය අඩි 3 ක විශ්කම්භයකින්
යුක්ත කැටයම් රහිත සඳකඩ පහනක් ඇත. ථූපාරාමයේ විශ්කම්භය අඩි 59 ක් වන
අතර උස අඩි 63 ගර්භයයේ පාදය අඩි 40 ක් අඟල් 6 ක විශ්කම්භයකින් යුත් අඩි
8 අඟල් 3 ක් උසැති වෘත්තාකාර අඩිතාලමක් මත පිහිටා ඇත.
ස්ථූපය වටා ගල්කුලුනු පේළි 4ක් දක්නට ලැබේ. මෙහි අඩි 5 යි අඟල් 2 ක්
පළලට විහිදී යන බිම්තීරුවේ අඩි 22 අඟල් 10 ක් උසැති ගල්කණු 52 දක්නට
ලැබේ. සඳළුතල මළුවේ පරිදියේ සිට අඩි 5 ක් ඇතුළත සිව්වන තුන්වන ගල්කණු
පේළි අතර චෛත්‍යය වටා ඉදිකරන ලද ගඩොල් බිත්තිවල සලකුණු දක්නට ලැබේ. මෙම
ආරම්භක ස්ථූපය කර්මාන්තයේ ස්වභාවය මෙම ගොඩනැගිල්ලේ සැලසුම් සහගත
නිර්මාණයෙන් ප්‍රකට වෙයි. ස්ථූපය වටා ශේෂව ඇති මේ ගල්කණු අතීතයේ මේ වටා
ගෘහයක් තිබී ඇතැයි සිතිය හැකි ය. ප්‍රථම වරට මෙය තනවන ලද්දේ වසභ රජු ය.
ගෝඨාභය රාජ්‍ය සමය වන විට එම ගෘහය දිරාපත් වෙමින් නැවතත් කරවූ බවත්,
දෙවන අග්බෝ රජු විසින් ද මෙය ප්‍රතිසංස්කරණය කළ බවත් දක්නට ලැබෙයි. මෙම
ථූප ඝර, ධාතු ඝර, වටදාගෙය යන නම්වලින් වංශ කතාවල සඳහන්ව ඇත්තේ මෙම
ස්ථූප වටා ඉදිකර ඇති ගෘහය පිළිබඳවයි. අනුරාධපුර යුගයේ දක්නට ලැබෙන
ප්‍රථම ගෘහය වූයේ මෙම ථූපාරාම ගෘහයයි. මිහිඳු මහරහතන් වහන්සේගේ සමීප
සම්බන්ධතාවයන් සියල්ලම මෙම භූමිය තුළ සිදුවීමක්, පසුකාලීනව ථූපාරාම
විහාරය මුල්කරගෙන මහා විහාර පිරිවෙන ආරම්භ වීමත්, බුදුරජාණන් වහන්සේගේ
දකුණු අකු ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබීමත් බෞද්ධයන්ට ඓතිහාසික
වශයෙන් විශාල වටිනාකමකින් යුක්ත වේ.
(මතු සම්බන්ධයි)
සටහන: හේමමාලා රන්දුනු |