තමා කළ නොකළදේ සිහිකර
විමසා බැලිය යුතුයි
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුයේ තමන් සිහි කළ යුත්තේද, විමසා
බැලිය යුත්තේද තමා කළ නොකළ දේ පිළිබඳව වන බවය. අනුන් කළ නොකළදේ පිළිබඳව
සිත යොමු කිරීම තමන්ට අදාළ කාරණයක් නොවන බවය. නමුත් සාමාන්‍ය සමාජයේ
සිරිත වන්නේ අනුන් කළ, නොකළ දේ හොඳින් විමසා බැලීමවත් තමා කළ, නොකළ දේ
නිවැරදි ඒවා ලෙස සලකා නොසිතා හැරීමත්ය
සාමාන්‍යයෙන් මිනිස් සිත් සතන්වල ස්වභාවය වන්නේ තමන් නිවැරැදි කෙනෙකු
ලෙස පිළිගැනීම හා අන්‍යයා වැරැදි සහගත පුද්ගලයන් ලෙස පිළිගැනීමටය. තමන්
උසස් උත්තම වර්ගයේ කෙනෙකු ලෙස හඳුන්වා දෙමින් අන්‍යයා පහත් කෙනෙකු බව
හෙළිකිරීමට උත්සාහ කරයි. බුදුසමයෙහි මෙම ගති ලක්‍ෂණය හදුන්වන්නේ
“අත්තුක්කංසන පරවම්භන” වශයෙනි.අත්තුක්කංසන ලෙස පැහැදිළි කරනු ලබන්නේ
තමන් හිතන, කියන, කරන හැම කටයුත්තක්ම උදාරාර්ථයෙන්ම සළකා බැලීමයි. එසේ
සිතා සමාජයේද එලෙසින්ම ප්‍රකාශ කරයි. “පරවම්භන” යනු අන්‍යයා “පහත්
කෙනෙක්ය” යන නැගීමෙන් කල්පනා කිරීමයි. සමාජයේද එසේම ප්‍රකාශ කිරීමයි.
බුදුදහම තුළ සිදුකරනු ලබන බොහෝ ඉගැන්වීම් මගින් පුද්ගල වශයෙන්
ඇතිවන්නාවූ මෙම දුර්ගති ලක්‍ෂණය දුර්ගති ලක්‍ෂණයක් ලෙස හදුනාගෙන ඉන්
ඉවත්වීම කළ යුතු බව දන්වා තිබේ. මිනිසා තුළ පවතින මෙකී කවර ලක්‍ෂණය තමා
තුළ කොපමණ ප්‍රමාණයකට තිබෙන්නේද? යන්න නිතර නිතර සිහිනුවණින් යුතුව
විමසුම් නුවණින් බැලීම කළ යුතු වෙයි. එසේ කිරීම තුළින් අවංකව තමා තුළ
පවතින මෙම නරක ගති සිත පිළිබඳව හැඟීමක් සහ දැනීමක් ඇතිවේ. එය තමා
තුළින් අකාමකා දැමිය යුතුය යන සිතිවිල්ල තමා වෙතට එන්නේද එසේ සොයා බලන
පුද්ගලයකුට පමණයි. විමසා නොබලන කෙනෙකු හට වැටහෙන්නේ තමා තුළ
“අත්තුක්කංසන පරවම්භන” ගති ලක්‍ෂණය නොමැති බවය. සමාජයේ අනෙක් අය සමඟ
කතාබහ කිරීමේදීද ප්‍රකාශ කරනු ලබන්නේ එම අදහසමයි. එබඳු අවස්ථාවලින්
පෙනෙන්නේ තමා තුළ පවතින අකුසල ධර්ම පිළිබඳ හොඳ මානසික කියවීමක් නොමැති
පුද්ගලයා අකුසලයෙහි ගිළී සිටින්නේ එබඳු ගති ලක්‍ෂණ තමා තුළද පවතින බවද
නොදැනගෙනය.
බුද්ධකාලයේ සිදුවූ එක්තරා කතාවක් මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය.
බුද්ධකාලීන සමාජය තුළ පවතින ගති සිරිත් අනුගමනය කළ බුද්ධශ්‍රාවකයන්
නොවන බොහෝ පිරිස්ද සිටියහ. ‘ආජීවක’ යන නමින් හදුන්වා ගත් පිරිසක්ද ඒ
අතර විය. එක්තරා දායිකාවකට බොහෝ හිතවත්ව ලෙන්ගතුකම් පෑ “පාඨික” නම්
ආජීවකයෙක් විසීය. මෙම උපාසිකාව සිවුපසයෙන් උවටැන් කරමින් එම ආජීවකයාට
අපමණ සත්කාර සම්මාන කළාය. එක දවසක් ඇයට තෙල් මල්ගෙන විහාරයට යන සැදැහැ
සම්පන්න බෞද්ධ පිරිසක් මුණ ගැසුණහ. “ ඔබ සැම සුදුවතින් සැරසී සුදුමල්
අතින්ගෙන මේ යන්නේ කොහෝදැයි ඇය විමසනු ලැබුවාය “එවිට ඒ අය පිළිතුරු
දුන්නේ”අපි මේ තථාගත බුදුහිමියන් වදින්නට යන්නෙමු’යි යනුවෙනි. ඔවුන්ගේ
ඒ ප්‍රකාශය නිසා පාඨික ආජීවකයාට උවටැන් කළ උවැසියටද බුදුරජාණන් වහන්සේ
දැකීමේ ආසාවක් ඇතිවිය. බුදුරදුන්ට දානය පිදීමේ ඇල්මක් ඇති වූවාය. ඒ බව
ඇය විසින් පාඨික ආජීවක තුමාට ද දැනුම් දෙන ලදී. ඇයගේ අදහස ඇසූ පාඨික
ආජීවකයා බොහෝ සෙයින් කිපුණේය. කිපී උවැසියට බැණ වැදුණේය. මා වැනි උතුම්
ශාස්තෘවරයෙකු සිටියදී බුදුහාමුදුරුවන් ළගට යන්නේ කුමක් නිසාදැයි ඔහු
විමසා සිටියෝය. උවැසියගේ සිත පතුලේ කැකෑරෙන බුදුහිමියන් දැකීමේ අනවරත
ආශාව පාඨික ආජීවකයාගේ වචන නිසා නැතිවී ගියේ නැත. ඇය උපක්‍රමයක්
සිතුවාය. තමාට ජේතවනාරාමයට ගොස් බුදුබණ අසන්නට අවස්ථාව පාඨික නමැති
ශාස්තෘවරයා නිසා ඇහිරී ඇති බැවින් දහවල තමන්ගේ නිවසෙහි දානය සඳහා වැඩම
වන ලෙස බුදුහිමියන්ට ආරාධනා කිරීමට ඈ සිතුවාය. සිය පුතා කැඳවා සිය අදහස
දක්වා හෙට දින නිවසේ පැවැත්වෙන දානයට වඩින ලෙස පන්සලට ගොස්
බුදුහිමියන්ට ආරාධනා කොට එන ලෙස දැනුම් දුන්නාය. පුතණුවන් ද, මැණියන්ගේ
අදහස පිළිගෙන දවල් දානයට බුදුහිමියන්ට ආරාධනා කිරීමට යන අතරමග පන්සලට
යාමට කලින් තමන්ට හුරුපුරුදු ආජීවක ආශ්‍රමයට ද ගියේය.
මේ අවේලාවේ කොහේ යන්නේ දැයි ආජීවකයා විමසූ කල්හි සිය මෑණියන්ගේ අදහස
ඔහු විසින් ආජීවක තුමාටත් පවසන ලදී. එය ඇසූ ආජීවකතුමා අතිශයින්ම
කිපුණේය. තමාගේ විරෝධතාවයද මැද මෙසේ උපක්‍රම කිරීම පිළිබඳ තදින් කේන්ති
ගත්තේය.දෙදෙනාටම හොඳ වැඩක් කරන්නේමැයි සිතට ගත් ආජීවකයා පුතණුවන්ට මෙසේ
කීවේය. ඔබ ජේතවනාරාමයට ගොස් බුදුහිමියන්ට හෙට දවල් දානයට ආරාධනා කරන්න.
එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේට ගෙදරට එන පාර කීමට අමතක කරන්න.
එවිට හෙට දවල් දානය සඳහා දානය බාරගත්තත් බුදුහාමුදුරුවන් වඩින්නේ නැහැ.
මම ඒ වෙලාවට ගෙදරට එන්නම්. ඇවිත් බුදුහාමුදුරුවන්ගේ අගුණ ඔබේ මවටත්
කියාදෙන්නම්. ආරාධනාව බාරගෙන වේලාවට නොවැඩිය එක බරපතල වරදක් නිසා
අම්මාගේ හිතත් බුදුහාමුදුරුවන් පිළිබඳව කලකිරේවි. එතකොට දවල් දානයට
බුදුහාමුදුරුවන් වෙනුවෙන් පිසූ රසමසවුළු සහිත ආහාර අප දෙදෙනා සතුටින්
භුක්ති විදිමු යැයි ආජීවකයා කීය.
ළමයාද කුඩා කල සිට දන්නා හඳුනන ආජීවකතුමන්ගේ කතාව අසා ඒ විදිහටම
සිදුකළේය.දෙවැනි දවස දවල් දානය වේලාව උදාවිය. බුදුරජාණන් වහන්සේ සහ
පිරිස සහිතව එම උවැසියාගේ නිවසට වැඩම කළහ. හරි සතුටින් දානය පිළිගැන්වූ
ඇය දෙස කාමරයට වී සැඟවී පාඨික ආජීවකයා කේන්තියෙන් බලා සිටියේය. දන්
වළදා අවසානයේ බුදුරජාණන් වහන්සේ අනුමෙවැනි බණ දේශනා කරනු ලැබූහ. දන්
වළදා ඉක්මනින් පිටත් වී යා යුතු වෙනුවට ගෙදර නතර වී ධර්ම දේශනා කරන්නට
පටන්ගැනීම පිළිබඳව පාඨික ආජීවකයාට ඉහිලුම් නොදෙන තරම් කේන්තියක් ඇති
විය. සැඟවී සිටි කාමරයෙන් එළියට ඇවිත් බුදුරදුන්ට ඇහෙන සේ උපාසිකාවට
හොඳටම බැණ වැදුණේය. සිතේ හරි සතුටින් කළ පින්කම පිළිබඳවත් බුදුහිමියන්
දෙසූ බණ ගැනත් ප්‍රමුදිත මනසින් සිටි උවැසිය බොහෝ චිත්ත පීඩාවට පත්
වුවාය. එම අවස්ථාවේදී උවැසියගේ සිතිවිල්ල පිළිබඳව අවධානය යොමුකළ
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුයේ තමන් සිහි කළ යුත්තේද, විමසා
බැලිය යුත්තේද තමා කළ නොකළ දේ පිළිබඳව වන බවය. අනුන් කළ නොකළදේ පිළිබඳව
සිත යොමු කිරීම තමන්ට අදාළ කාරණයක් නොවන බවය. නමුත් සාමාන්‍ය සමාජයේ
සිරිත වන්නේ අනුන් කළ, නොකළ දේ හොඳින් විමසා බැලීමවත් තමා කළ, නොකළ දේ
නිවැරදි ඒවා ලෙස සලකා නොසිතා හැරීමත්ය. බුදුහිමියන් දේශනා කරනු ලැබූ
අලුත් බණ පදය ඇසු කාන්තාව ඇයගේ සිතෙහි තිබුණ කළ කිරීම මානසික පීඩනය
හිතෙහි හටගත් ලජ්ජාව තුනී කරගත්තාය.
සටහන:
හේමමාලා රන්දුනු |