UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉබ්බාගමුව පෙරියකඩුනැලව පුරාණ පොත්ගුල් විහාරය

ඉබ්බාගමුව පෙරියකඩුනැලව පුරාණ පොත්ගුල් විහාරය


ඉපැරැණි චෛත්‍ය

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පන්නල මංසන්ධියෙන් බතලගොඩ ඇළ හා සමාන්තරව වැටී ඇති මහමූකලන්යාය මාර්ගයෙහි සැතැපුම් හතර හමාරක් පමණ දුරට ගමන් කළ විට හමුවන්නේ දඟරකඹුල්ල නම් මංසන්ධියයි.


දර්ශනීය මකර තොරණ

එතැනින් දකුණට හැරී සැතැපුමක් පමණ ගිය තැන හමුවන දර්ශනීය මකර තොරණ යටින් මීටර් තුන්සියයක් පමණ ගිය විට ඇස ගැසෙන්නේ ඉබ්බාගමුව පෙරියකඩුනැලව පුරාණ පොත්ගුල් විහාරයයි. විහාරයට දකුණු දෙසින් දිස්වන්නේ හෙළයේ මහා ආයුර්වේද වෛද්‍යවරයාවූ බුද්ධදාස මහරජතුමාගේ ඔසු උයන වූ සුන්දර දොළුකන්දයි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත් කෝරලයට අයත් හිරියාල හත්පත්තුවේ ඉහළ විසිදෙකේ බස්නාහිර කෝරලයේ පෙරියකඩුනැලව නම් සුප්‍රසිද්ධ ග්‍රාමයෙහි පිහිටි මෙම විහාරස්ථානයට ඇත්තේ වසර එකසිය විසි දෙකක ඉතිහාසයකි. පොත්ගුල් විහාරස්ථානයෙහි ආදි කර්තෘවරයාණන් රන්ගිරිමඩේ විහාරාධිපති ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර අපවත්වී වදාළ හේරත්ගම ශ්‍රී සීලරතනාභිධාන මාහිමියන් වහන්සේයි. කිසිම භාෂා ශාස්ත්‍රාදියක උද්දීප්තියක් නොතිබූ යුගයක ග්‍රාමයට 1890 දී පමණ උන්වහන්සේ වැඩම කළහ. දරු දැරියන්ගේ නැණැස පෑදීම වෙනුවෙන් පාසල් පිහිටුවීමෙන් සහ පොත්ගුල් විහාරය සියලු සිද්ධස්ථාන අංගයන්ගෙන් අලංකෘත කිරීමෙන් නාහිමියෝ මහත් වූ සේවාවක් ඉටු කළහ. දිවා රෑ අනන්ත වෙහෙස දරා ධර්ම දේශනා පවත්වමින් ජනතාව දහමට නැඹුරු කර ඔවුන් සුචරිතයෙහි යෙදවූහ. 1926 දී නාහිමියෝ අපවත් වී වදාළහ.

පැතිරුණු කිත්ගොස් ඇති ධර්මරක්ෂිත පරිවේණාධිපති විනයාචාර්ය දොළුවේ ශ්‍රී ධම්මානන්දාභිධාන මාහිමියන් වහන්සේ එතුමන්ගේ අග්‍ර ශිෂ්‍ය රත්නය වේ. උන්වහන්සේ 1906 දී උපසම්පදාව ලබා ඇත. විවිධ ක්ෂේත්‍රයන්හි විශේෂඥයකු වූ ධම්මානන්ද හිමියෝ ධර්ම කථීකයකු, භාෂා ප්‍රවීණයකු හා කවියකු වශයෙන් සුප්‍රසිද්ධ ව සිටියහ. පොත්ගුල් විහාර වර්ණනාව සහ රංගිරිමඩේ විහාර වර්ණනාව යන කාව්‍ය ග්‍රන්ථ මෙතුමාගේ කෘතීන්ය. 1925 දී ආරම්භ කළ ‘බුදුසසුන’ සඟරාවේ අනුශාසක ධුරයද දරමින් සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරන්නට මහත් දායකත්වයක් ලබාදුන් ශ්‍රී ධම්මානන්ද හිමිපාණෝ 1942 දී අපවත් වූ සේක.


පුරාණ පොත්ගුල් විහාරය

එතුමන් වහන්සේ අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධුරයට පත්වූයේ හිරියාලහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක තලහේන්ගොඩ චන්දානන්ද නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ කළමනාකාර ධුරයද භාරගෙන කටයුතු කරගෙන යමින් ප්‍රදේශයේ දියුණුවට ද නොමැකෙන සේවයක් සිදු කර ඇත. උන්වහන්සේ 71 වසරක් ආයු වළදා 1986 දී අපවත්වූ සේක.


බුද්ධප්‍රතිමා වහන්සේට පිටුපසින් දර්ශනය වන්නේ ඓතිහාසික දොළුකන්ද ඔසු උයනයි

ඉන්පසු එතුමන්ගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය වූ පන්නල සීලානන්ද හිමිපාණන් විහාරාධිපති ධුරයට පත්වූ අතර උන්වහන්සේ 2001 වසරේදී අපවත් වූ සේක. අනතුරුව විහාරාධිපති ධුරයට පත්වූ කටුකෙන්දේ චන්ද්‍රසිරි හිමිපාණෝ පැරැණි විහාරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්හ. විහාරස්ථානයට පිවිසෙන මාර්ගයෙහි දර්ශනීය මකර තොරණක් ඉදිකිරීම ඇතුළු කටයුතු රැසක් විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් ඉටු කළහ.

උන්වහන්සේගෙන් පසුව විහාරාධිපති ධුරයට පත්වන්නේ හිරියාල හත්පත්තුවේ උපප්‍රධාන සංඝනායක උඩකැන්දවල චන්දවිමල මාහිමිපාණන් වහන්සේය.

නොදියුණූ ගම් සංවර්ධනය කිරීමේදී මෙන්ම ගොවි සංවිධාන, ග්‍රාම සංවර්ධන සමිති, ප්‍රජා මණ්ඩල, තරුණසේවා සමිති, මරණාධාර සමිති සහ කුලඟන සමිති ආදි සංවිධාන පිහිටුවීමේදී ද උන්වහන්සේගෙන් ලැබුණේ මහත් දිරියකි. ගම්මානවල අලුතෙන් විහාරස්ථාන ආරම්භ කිරීම, දහම් පාසල් ආරම්භ කිරීම, උඩකැන්දවල විද්‍යාලයට ජල නළ පද්ධතියක් ලබාදීම, රෝහලවලට උපකරණ පරිත්‍යාග කිරිම සහ දිළිදු ගම්වලට වියළි ආහාර, ඇඳුම් පැළැඳුම්, පාසල් උපකරණ පරිත්‍යාග කිරීමද උන්වහන්සේ සිදු කළ සේවාවන්ය. එපමණක් නොව දිළිඳු දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම ආදි පරිත්‍යාගශීලි ක්‍රියාවන්ගෙන් මුළු හිරියාල ප්‍රදේශයට ආලෝකයක් ලබාදීමට උන්වහන්සේ ක්‍රියා කර ඇත. පොත්ගුල් විහාරය මුළු හිරියාලය බබුළුවන විද්‍යාස්ථානයකි.

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]