ඉල් පුර අටවක 2012 නොවැම්බර් 20 වන දා
සුහදතාවයේ වර්ධනය
ගමයි පන්සලයි අතර සබැඳියාව ඓතිහාසිකය, අතීතයේදී පන්සලට ගම
ඒකරාශී වුයේද, දැනට ද එසේ ඒකරාශී වනුයේද ගමේ කේන්ද්‍රස්ථානය වන
පන්සල වෙතින් සමාජයට යහපත් සමාජ ආගමික සුවිශේෂී මෙහෙවරක්
සිදුවූ බැවිනි. එමෙන්ම දැනට ද සිදුවන හෙයිනි.
පන්සලේ වැඩ සිටින ධර්ම විනයධර ස්වාමීන් වහන්සේ ගමටම අවවාද
අනුශාසනා කරන අතර පන්සලේ ආගමික කටයුතු සඳහා වෙසෙසින්ම
ගම්වැසියන් මෙසේ ඒකරාශී වූ අවස්ථා බොහෝය.
පන්සලේ දී සිදු කැරෙන ආගමික කටයුතු පෝදාට පමණක් සීමා නොවූහ.
බොහෝ විහාරස්ථාන විවිධ අරමුණු මූලික කර ගනිමින් මාස් පතා හෝ
වාර්ෂිකව විවිධ පින්කම් පැවැත්වූහ.
පන්සල මඟින් එවන් මහ පින්කම් සිදු කිරීම නිසා මාස් පතා හෝ
වාර්ෂිකව අති උදාර පින්කම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් ගම්වැසියෝ
පසුවෙති.
වසරේ සෑම පසළොස්වක පෝදාකම ආගමික ශාසනික ඓතිහාසික කරුණු මුල් කර
ගනිමින් බොහෝ වෙහෙර විහාරස්ථානවල පින්කම් සිදු කරති. එවන් මහ
පින්කම් ඇතැම් විට දින, සති, මාස ගණන් සිදු කරති.
ඒ ඒ විහාරස්ථානයට අදාළ අනුස්මරණීය සිද්ධීන් මුල් කර ගෙනද විවිධ
පින්කම් සිදු කරති. මෙසේ බලන විට කවර හෝ යහපත් අරමුණු මුල්කර
ගනිමින් එසේ සිදු කරන පින්කම් සෑම දවසකම පාහේ අපේ රටේ දහස්
සංඛ්‍යාත විහාරස්ථාන අතරෙන් විහාරස්ථාන කීපයක හෝ මෙසේ විවිධ
පින්කම් සිදු කැරේ.
පින්කමක අරමුණ යුතුකමක් ඉටු කිරීමක් විය හැකිය. අනුස්මරණීය
පින්කමක් විය හැකිය. එසේත් නොමැතිනම් දිගාසිරි පැතීමේ පින්කමක්
විය හැකිය. එසේත් නැතිනම් පෙරහර, උත්සව ආදී විවිධ පින්කම් විය
හැකිය.
සැබැවින්ම ඒ සියලු පින්කම් අතර ඇතැම් විට බොහෝ දෙනා අපේක්‍ෂා
නොකරන මෙහෙවරක් නිරායාසයෙන් සිදුවන බව කිව යුතුය.
එනම් ගම්වැසියන් ගමේ විහාරස්ථානයට නිරන්තරයෙන් ඒකරාශී වී ගමත්
පන්සලත් අතර සුහදතාවය වර්ධනය වීම සුවිශේෂී වේ.
ගමයි පන්සලයි අතර සුහදතාවය වැඩෙන විට සැබවින්ම ගම්වැසියන් බොහෝ
විට පවින් වළක්වා ගැනීමට ද එය ප්‍රබල හේතුවක් වනු ඇත.
ගමේ විහාරස්ථානයේ සිදු කැරෙන ආගමික වතාවත්වලට සහභාගි වීමට දින
සති මාස ගනිමින් බොහෝ දෙනා පසුවෙති.
වසරකට වරක් පමණක් එක් විහාරස්ථානයකදී සිදු කරන කඨින මහ පින්කම්
පසුගිය වප් පුර පසළොස්වක පෝදා ආරම්භ කැරිණි. එම කඨින පින්කම්
ඉල්පුර පසළොස්වක පෝදායින් මෙරට සැම විහාරස්ථානයකම අවසන් වේ.
ඇතැම්විට මේ වසරේ කඨින පින්කම සිදු කරනවිට තවත් වසර කීපයකට
කඨින පින්කමේ දායකත්වය බාර ගැනීමට ද සැදැහැතියෝ පසුබට නොවෙති.
“අප්ප සන්නංවා පසාදාය, පසන්නං වා භීය්‍යො භාවාය” පැහැදුන අය ගේ
පැහැදීම වර්ධනය සඳහාත් නොපැහැදුන අයගේ ශ්‍රද්ධාව උපදවන
ආකාරයටත් පින්කම් උපයෝගී කරගත යුතුවේ.
පින්කමක අපේක්‍ෂාව ආධ්‍යාත්මික ගුණ දියුණු කිරීමයි. එහෙත් ඉහත
සඳහන් කළ අයුරු ශ්‍රද්ධාවක් නොමැති අය තුළ ශ්‍රද්ධාව ජනිත
කරවීමට ද පින්කම් යොදා ගැනීමෙන් එවැනි අය ගුණ දහමෙහි
පිහිටුවීමෙන් උදාර යහපතක් වේ.
කඨින පින්කම පරිවාර පින්කම් රැසක් සමග අත්‍යාලංකාරයෙන් සිදු
කැරෙන්නකි. කඨින පින්කම පෞරාණික ශාසනික සම්ප්‍රදාය ඉටු කරන මහ
පින්කමක් හෙයින් බොහෝ දෙනාට නෙතට සිතට සුව ගෙන දෙන අයුරෙන්
එවන් පින්කම් කිරීම ගමටත් පන්සලටත් සිදුවනුයේ යහපතක්මය. |