UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> බෞද්ධයා බැතිමතෙක්ද?

බෞද්ධයා බැතිමතෙක්ද?

බුදුදහම භක්තිය මුල්කොටගත් දේවවාදි ආගමක් නොව ශ්‍රද්ධාව මුල්කොට නිවන අරභයාම බුදුවරුන් ඇතත් නැතත් ලෝකය තුළ සැමදා පවතින ධර්මතාවයක් බව පෙන්වාදීමට ය. අකාලික දහම බුදුදහම බව ප්‍රකාශ කිරීමටය. විශ්වය තුළ පවතින මේ සදාතනික ධර්මය මතුකර විස්තර කර තේරුම් කර දිය හැක්කේ සම්මා සම්බුදුවරුන්ටම පමණි

බෞද්ධකම අර්ථවත් වන්නේ ඔපවත් වන්නේ ශ්‍රද්ධාව හා ප්‍රඥාව එක හා සමානව දියුණුකරගත් තරමට ය. ශ්‍රද්ධාව හා ප්‍රඥාව වැඩිදියුණු කිරීමෙන් කුසල සිතිවිලි සහ පින් සිතිවිලි ද පහළ වන්නේය.

බුදුදහම විමුක්ති මාර්ගයක් හා ජීවන දර්ශනයක් ලෙස සදහම් මැනැවින් දත්තෝ ප්‍රකාශ කරති. ආගමක් ලෙස දකිනවාට වඩා ඉහත අර්ථ දැක්වීම වඩාත් විදුහුරු වේ යැයි සිතමු.

බුදුසමය අදේවවාදී ජීවන දර්ශනයක් බව මුලින්ද සඳහන් කළෙමු. බෞද්ධයන් නිවන් පතන්නා සේ දේවවාදි ආගම් අදහන්මෝ ස්වර්ගමෝක්ෂය අපේක්‍ෂා කරති. නිවන යනු නිවීම (නිර්+වාන) තැවීමක් නැති සුවයෙන් යුතු යනුවෙන් අර්ථ ගැන්වේ. තැවීමක් දුකක් ඇතිවීමට නම් උපතක් සිදුවිය යුතුය. උපතක් සමගම දුක,වේදනාව, අනිත්‍යය දුක්ඛ අනාත්ම යන ලක්ෂණද පහළ වේ.

ඉහත විස්තරය අනුව බෞද්ධ දර්ශනය භක්තිය මුල්කරගත් ඇදහිලි මාර්ගයක්වත් යාච්ඤා කන්නලව් ඇතුලත් දේවවාදී ආගමක්වත් නොවන බව පැහැදිලිය. ශ්‍රද්ධා, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව යන නියාම ධර්ම පහකින් යුතු ජීවන දර්ශනයක් බව නැවතද පැහැදිලි වන්නේය.මෙම නියාම ධර්ම පහ ගිහි පැවිදි පින්වතුන් දෙපක්‍ෂයේම අරහත් මාර්ගයට එකසේ බලපාන්නේය. මෙසේ බලනවිට ශ්‍රද්ධාව ගිහියාගේ බෞද්ධකමත් සංඝරත්නයේ මහණකමත් ආරක්‍ෂා කරන ජීවත්කරන,පෝෂණය කරන ජීව රුධිරයක් ලෙස සැලකිය හැකිය.

මෙතෙක් සියලු විස්තරයක්ම කළේ බුදුදහම භක්තිය මුල්කොටගත් දේවවාදි ආගමක් නොව ශ්‍රද්ධාව මුල්කොට නිවන අරභයාම බුදුවරුන් ඇතත් නැතත් ලෝකය තුළ සැමදා පවතින ධර්මතාවයක් බව පෙන්වාදීමට ය. අකාලික දහම බුදුදහම බව ප්‍රකාශ කිරීමටය. විශ්වය තුළ පවතින මේ සදාතනික ධර්මය මතුකර විස්තර කර තේරුම් කර දිය හැක්කේ සම්මා සම්බුදුවරුන්ටම පමණි.

මෙවැනි උතුම් මාර්ගයකට අවතීර්ණ වන ශ්‍රද්ධාසම්පන්න බොදුනුවනට බැතිමතුන්, භක්තිවන්තයින් වශයෙන් ප්‍රසිද්ධියේ ඇමතීම ඒ උතුම් පිරිසට කරන අවමානයකි. සිරිපා සමයටත් වෙසක් පොසොන්, ඇසළ යන වැදගත් බෞද්ධාගමික මාස වලටත් ඇතැම් පන්සල් ආරාම තුළ යකඩ කට වලිනුත් එපමණක් නොව ඇතැම් ජනමාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය තුළිනුත් එකදිගට ඇසගැටෙන්නේ සිද්ධස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවය.

බෞද්ධ සිද්ධස්ථාන වලට පැමිණෙන වන්දනාකරුවන්ට කියන්නේ කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්නයක් නැගිය හැකිය. බෞද්ධ සංස්කෘතිය හා සිංහල භාෂාවට පින් සිදුවන්නට ආමන්ත්‍රණය කළ හැකි වදන් එමටය. සැදැහවතුන්, බොදුනුවන්, පින්වතුන් මේ කීපයකි. බැතිමතුන් කියනවාට වඩා උවැසි උවැසියන් වුවද බොදුනුවනට නොගැලපී නොයන්නේය. ඒ ඕනෑම සිද්ධස්ථානයක පොහෝ දිනට වැඩිපුරම ඉන්නේ සිල් සමාදන් වූවන් වන හෙයිනි.

මීටම යාව තවත් කිවයුත්තක් ඉතුරුව ඇත්තේය. එයද මේ සමගම කියා ලිපිය කෙටි කිරීමට අදහස් කරමු. සියලු ම ආගම්වලට ගරු කිරීම අපේ පිළිවෙතයි. අප විවේචනය කරන්නේ අපමය. අන්ධානුකරණය, බුදුදහමට පටහැණි නිසාම ඒ අරබයා ලියමු.

වෙසක්,පොසොන් පුන් පොහෝ දිනයන්හි වෙසක් බැතිගී පොසොන් බැති ගී පන්සල් ආරාම තුළින් පමණක් නොව විද්‍යුත් මාධ්‍යයෙන්ද සති, මාස ගණන් ඉදිරියට තබා පෙර දැන්වීම් කරති. ප්‍රචාරය කරති. මෙයද අනුන් කරන දෙයම අනුකරණය කිරීමකි.

ශ්‍රී‍්‍ර ලංකාව ලෝකයේ උතුම්ම පින් බිමක් බව කිවයුතු නැත. එය බුදුදහම නිසාම පමණක් නොව වෙනත් ස්වාභාවික හේතු සහ සම්පත් බහුල වන වාසනාවන්ත සරු බිමක් ද හෙයිනි. මෙවැනි පින් බිමක බුදුදහම පිළිබඳව හසල බුද්ධිමතුන් බහුලය. ත්‍රිපිටකයම වනපොත් කළ උතුමන් ඒ අතර විය හැකිය. ඒ උතුමන් ජීවමානව සිටියදීත් මෙවැනි අස්වාභාවික ඇමතීම බොදුනුවනට භාවිතා කිරීම නොගැළපෙන චර්යාධර්මයක් බව කිව යුතුය.

මෙවැනි නොගැළපෙන වදන් බෞද්ධයන් තුළ පැලපැදියම් වීමට ඉඩහැර ඇතමුන් මුනිවත රැකීම වරදක් නොවේද?

මූලධර්මවාදීන්ට හෝ අන්‍යආගම්කරණට හෝ ඇඟිල්ල දිගු කිරීමට පෙර අප අපටම දොස් තබාගත යුතුය. ක්‍රි.ව. 1505 න් පසු බෞද්ධකමට සිංහල සංස්කෘතියට සිංහල භාෂාවට තර්ජන ගර්ජන ඇතිවීමට පටන් ගත් බව කවුරුත් දන්නා කරුණකි. එහි ඵල විපාක අඩු වැඩි වශයෙන් මේ දක්වාම සිංහලයන් භුක්ති විඳින බව කිව යුතුය.

මේ හා සමගම තවත් ඉතා සුළු අදහසක් ප්‍රකාශ කිරීමට ඉතුරුව ඇත. පන්සල් ආරාම සඳහා ඇතැමුන් පුදබිම් යැයි කියනු ඇසේ. බෞද්ධයිනට පුදබිම් නොව ඇත්තේ පූජා භූමිය, පින් බිම්ය. එසේම බෞද්ධ සංස්කෘතිය තුළ පූජකයින්ද නැත. ඇත්තේ පූජ්‍ය උතුමන්ය.මේවා වරදවා තේරුම් ගැනීම ප්‍රකාශ කිරීම සුළුකොට තැකීම අනිටු ඵල නොලැබෙතැයි සිතිය නොහැකිය.

බුද්ධ ශාසනයට අල්ප වශයෙන් හෝ මදි පුංචිකමක් වීමට හෝ අපහාසයක් වීමට හෝ ඉඩ නොතැබීම බෞද්ධයකු සතු පරම යුතුකමක් කරගත යුතුය.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ඔක්තෝබර් මස 21 වැනිදා ඉරිදා අපරභාග 09.51 ට ලබයි. 22 වැනිදා සඳුදා අපරභාග 08.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ඔක්තෝබර් 29 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]