අපි
භාවනා
කරමු
දියුණුවේ රහස
නාවලපිටියේ
අරියවංශ හිමි
ගුණ කල්පනා කරනවා කියන එක ලොකු අභියෝගයක්. මොකද ගුණ කල්පනා
කරනවා කියන එක ලේසි නැහැ. අතිශය අමාරු දෙයක්. කර්කෂයි.
ඒක වෙහෙසකර දෙයක්.
එතකොට එයාට පහසුවෙන් ඉන්ට පුළුවන් ඇයි?
පීඩා නැතිවෙලා යනවනෙ
මේ ලෝකයේ යම් කෙනෙකුට දියුණුවෙන්ට වුවමනා නම් එයා අනිවාර්යෙන්ම බහුල
වශයෙන්ම කළ යුතු වැදගත්ම දෙයක් තමයි මේ ගුණ කල්පනා කිරීම. ජීවිතය
දියුණුවීම පිණිස උපකාරී වන මූලික දෙයක් තමයි මේ ගුණ කල්පනා කිරීම.
ජීවිතයක් පිරිහෙන්නේ ගුණ කල්පනා නොකිරීමෙන්මයි. විශේෂයෙන්ම ධර්මාවබෝධයට
කැමැති කෙනෙකු විසින් අනිවාර්යෙන්ම බහුලව කළ යුතු ප්‍රමුඛ වැදගත්ම
දෙයක් තමයි ධර්මාවබෝධයට උපකාර කරන කල්‍යාණ මිත්‍රයාගේ ගුණ කල්පනා
කිරීම. එසේ ගුණ කල්පනා කරන්ට යම් කෙනෙකුගේ සිත පිහිටනවා නම් එයා
දියුණුව පැත්තට පා ඔසවලා. අන්න ඒ හැකියාව ගොඩ නඟා ගැනීම පිණිස අප සිත්
පිහිටුවා ගන්ට ඕනෑ නම් ලෝකයේ තිබෙන අමාරුම දේ තමයි ඒක. එතනින් තමයි
කෙනෙක්ගෙ ජීවිතය පරිවර්තනය වෙන්ට පටන් ගන්නෙ. එතන තමයි සත්පුරුෂ භූමිය
පවතින්නෙ. එතන තමයි සත්පුරුෂ භූමියට පැමිණෙන්ට පුළුවන් තැන තියෙන්නෙ.
ඒ නිසා අප හොඳට මතක තියාගෙන මේ කාරණය පුරුදු කරගන්ට ඕනෑ. ඒ ගුණ කල්පනා
කරනවා කියන දේ බහුලව කරන්නට ඕනෑ. ඒක අත් නොහැර කරන්ටත් ඕනෑ. ඒකෙන් තමයි
අපට ආරක්‍ෂාව තියෙන්නෙ. ගුණ කල්පනා කිරීම අපෙන් අත්හැරුන දවසට අප
අනාරක්‍ෂිතයි. ගුණ කල්පනා කිරීම යම් දවසක අපේ ජීවිතයට බද්ධ වුණා නම් අප
ආරක්‍ෂිතයි. ගුණ කල්පනා කිරීම යම් දවසක අපට පුරුදු වුණොත් එවිට අප
දියුණු වෙනව. ගුණ කල්පනා කිරීම යම් දවසක අපෙන් අත් හැරුණොත් අපේ
දියුණුව අත්හිටිනවා. ඉතින් ගුණ කල්පනා කිරීම අපට පුරුදු නැත්නම් අප
පිරිහෙන පැත්තෙම තමයි ඉන්නෙ. ඒ නිසා අපේ ජීවිත දියුණුවට පිරිහීමට
බලපාන්නා වූ මේ මූලික කාරණය තේරුම් ගන්න. මොකද? අපේ ජීවිත දියුණුකර
ගන්ට ආයිමත් අවස්ථාවක් ලැබෙයි කියල සිතන්ට අමාරුයි.
ලෝකයේ මැරෙන මිනිස්සු අතරින් ආපසු මනුෂ්‍යය ලෝකෙට එන්නෙ කීයෙන්
කීදෙනාද? මහ පොළොවෙන් නියපොත්තට පස් ටිකක් ගත්තාම එන පස් ටික වගේ ඉතාම
සුළු පිරිසක් නේද මනුෂ්‍යය ලෝකයේ නැවත උපදින්නේ? ඒ නිසා ඒ දුර්ලභ භාවය
කල්පනා කරන්න. අප දියුණුව කියල කියන්නෙ මනුෂ්‍යය ලෝකයේ ඉඳල ආපහු පහතට
වැටීම නෙවෙයි. මනුෂ්‍ය ලෝකයෙ ඉඳල මළාට පස්සෙ අර මහපොළොවෙ පස් ගොන්නට අප
අයිති වෙනව නම් එතන දියුණුවක් නෑ. එහෙනම් අප නිය අග රැඳි පස්ටික බවට
පත්වෙන්නට ඕනෑ. එහෙම අපට පත්වෙන්ට පුළුවන් වෙන්නෙ ගුණ කල්පනා කිරීමෙන්.
ඉතින් මේක අමාරු දෙයක්. නමුත් අන්න ඒ අමාරු කටයුත්ත කරන්ට ටික ටික
පටන්ගන්න, ඒක කරන කෙනාට අනිත් භාවනා ඔක්කොම කරගන්ට පුළුවන් මොකද? ඒ ගුණ
කල්පනා කරන්ට පුරුදු වීම මත තමයි ජීවිතයට සාරය කාන්දු වෙන්නේ. ධර්මය
බාහිරින් ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ බාහිරින් එන දේපල කල්‍යාණ මිත්‍ර
ඇසුරින් ලැබෙන දේ අපේ ජීවිතයට බද්ධ වෙන්නෙ ගුණ කල්පනා කිරීමෙන්මයි.
දැන් බලන්න වෙළෙඳ දැන්වීම්වල අපට කියනව මේ මේ දේවල්වල මේ මේ ගුණ තියනවා
මෙහෙමයි මෙහෙමයි කියල වර්ණනා කරනවා. ඒ ගුණ සිතල අප ගිහිල්ල ඒ දේ
ගන්නවා. දැක්කද ඒක ජීවිතයට සම්බන්ධ වෙච්ච හැටි. ඉතින් අගුණයක් කල්පනා
කළොත් අප ඒක ගන්නවද? නෑ ඒ නිසා ගුණ කල්පනා කිරීම කියන එක තමයි අපේ
ජීවිතය දියුණුවෙන්ට බලපාන පළවන ප්‍රධානම අංගය. එයින් බැහැර ජීවිතයක්
දියුණුකරන්ට පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ ගුණ කල්පනා කිරීම කියන එක හොඳට
කරන්ට පුරුදුවෙන්න එවිට එයා දිනනවාමයි. එයා පිරිහෙන්නෙ නෑ.
ගුණ කල්පනා කරනවා කියන එක ලොකු අභියෝගයක්. මොකද ගුණ කල්පනා කරනවා කියන
එක ලේසි නැහැ. අතිශය අමාරු දෙයක්. කර්කෂයි. ඒක වෙහෙසකර දෙයක්. එතකොට
එයාට පහසුවෙන් ඉන්ට පුළුවන් ඇයි? පීඩා නැතිවෙලා යනවනෙ. ඒ නිසා ඒ ගුණ
කල්පනා කිරීම කියන එක හොඳට කරන්නට පුරුදුවෙන්න. අපට අනිත් කරන හැම
භාවනාවක්ම අපට පුරුදු කරගන්ට, දියුණු කරන්ට පුළුවන් වෙන්නේ ගුණ කල්පනා
කිරීම හොඳින් කළොත් තමයි. අප ගුණ කල්පනා නොකළොත් එහෙම වෙන්නේ අපට අනිත්
භාවනා ආදී දේ දියුණුවෙලා යයි, නමුත් ටික දුරක් ගියායින් පස්සේ එතනින්
එහාට යන්ට බැරිව යනව. ආපහු කඩා වැටෙනවා, පිරිහිම් කරා යනව. එහෙම
නැත්නම් අප මුළා වීම් වලට ගොදුරු වෙලා යනව. මොකද? අපේ ජීවිතයට ආලෝකය
ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයාගේ ගුණ කල්පනා කිරීමෙනුයි.
මේ පින්වතුන් දැකල තියෙනවද ගොඩක් හයිය ලී විදින ඩ්‍රිල් එක. ඒ හයිය
කොටස විදගෙන යන්නෙ මොකෙන්ද? ඩ්‍රිල් එකේ තුඩක් නේද? තුඩ මොට්ට වුණොත්
කොමපණ විදුලිබලය ලැබුණත් මෝටරය කැරකුවත් විදගෙන යයිද ලීය? යන්නෙ නෑ.
අන්න ඒ තුඩ වගේ තමයි ධර්මාවබෝධයට උපකාර කරන කල්‍යාණ මිත්‍රයාගේ ගුණ
කල්පනා කිරීම. එවන් පුද්ගලයාටයි අකුසල් විදගෙන යන්ට පුළුවන්කම
ලැබෙන්නේ. අකුසලය කියන්නෙ ඝන කට්ටක් නම් ඒ ඝන කට්ට කඩාගෙන යන්න පුළුවන්
වෙන්නේ ගුණ කල්පනා කරන කෙනාට යි. කල්‍යාණ මිත්‍රයාගේ ගුණ කල්පනා කරන
කෙනාට ඒ අකුසල් කඩාගෙන යන්න මඟ පෑදෙනවා. නමුත් කල්‍යාණ මිත්‍රයාගේ ගුණ
කල්පනා නොකරන කෙනාට අනිත් භාවනා ඔක්කෝම කළත් ඒකෙන් කිසි ප්‍රතිඵලයක්
ගන්න බැරි වෙලා යනවා. එනිසාම එයාගෙ ජීවිතය මහත් වූ ව්‍යසන කරා ගොදුරු
වෙලා යන්ට පුළුවන්. සමහරවිට එයාගෙ ජීවිතයට විතරක් නෙවෙයි මුළු සමාජයටම
ඒක බලපාන්ට පුළුවන්. ඒ නිසා ගුණ කල්පනා කරන්ට පුරුදුවෙන්න.
අනිවාර්යෙන්ම ධර්මාවබෝධයට උපකාර කරන කල්‍යාණ මිත්‍රයාගේ ගුණ කල්පනා
කරන්ට පුරුදුවෙන්න. ඒක බහුල වශයෙන් කරන්න. එවිට ලාමක අපේක්‍ෂා දුරුවෙලා
යනවා. අපට ලොකු යහපතක් ඇතිකරගන්ට ඒක උපකාර වෙනව. එතැන තමයි සත්පුරුෂ
භූමියට පැමිණෙන්ට පුළුවන් තැන තියෙන්නෙ. |