කාර්ය බහුල ජීවිතයකට
අමා ශාන්තිය
පිළියන්දල සද්ධර්මාලෝක
ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල ගුණරතන හිමි
භාවනාමය පින්කම සසර ගමනට දැන
උගත්කම නැණ නුවණ ලබාදෙන ඒ සඳහා හේතු උපකාර වෙන මහා පුන්‍යමය
වැඩපිළිවෙලක් වේවි. බුදුගුණ, මෛත්‍රී, කරුණා, මුදිතා,
ධම්මානුස්සති, සංඝානුස්සති, දේවානුස්සති, චාගානුස්සති, සීලානුස්සති,
අනාපානසති,
මරණසති දස කසින මේ කුමන හෝ භාවනාවක් කළත් ඒ භාවනාවට පෙර ඉදිරියෙන්
අරමුණක් තිබිය යුතුයි මේ භාවනාව අප පුරුදු වන්නේ නිවන උදෙසා පමණයි
කියලා
කාර්ය බහුල ජීවිත ගත කරන අප හැම කෙනෙකුටම ජීවිතයේ මොහොතක් හෝ නමුත්
සද්ධර්මය වෙනුවෙන් වැය කරන්නට කැප කරන්නට පුළුවන්නම් එය ඉතා වටිනවා.
කවදා හෝ දිනක මේ සියලු දුක් නිමා කරන ඒ අමා ශාන්තිය ලබන්න පුළුවන්
වෙන්නේ තථාගත සද්ධර්මය තුළිනුයි. ඒ ධර්මය ඇසීමෙන් ඔබට ඒ අමා නිවන් දොර
විවර කර ගන්නට පුළුවන්.
පංච උපාධානස්කන්ධය දන්නේ, හඳුනන්නේ නැත්නම් දහමකුත් නැහැ. දහමක්
නැත්නම් නිවනකුත් නැහැ. පංච උපාධානස්කන්ධය කියන්නේ දුකට කියන තව නමක්.
ඒ දුකටමයි සක්කාය කියන්නෙක්. මේ දහම විවිධ වචනවලින් ධර්මය තුළ දැක
ගන්නට, දැන ගන්නට ලැබෙනවා.
තථාගයන් වහන්සේ මේ පිළිබඳව අවධාරණය කළ දේශනාවක් සංයුක්ත නිකායේ සඳහන්
වෙනවා. එහිදිී උන්වහන්සේ වදාළා ‘මහණෙනි, උපාධානස්කන්ධයෝ පහක් වෙනවා. ඒ
පහ තමයි රූප උපාධානස්කන්ධය, වේදනා උපාධානස්කන්ධය, සංඥා උපාධානස්කන්ධය,
සංඛාර උපාධානස්කන්ධය, විඤ්ඤාණ උපාධානස්කන්ධය, යි. මෙසේ පංච
උපාධානස්කන්ධය නම් කරමින් තමන් වහන්සේ අවබෝධ කළ සම්මා සම්බුද්ධත්වය
පිළිබඳව සර්වඥතා ඤාණය පිළිබඳව මෙසේ දේශනා කළා. ‘මම යම්තාක් කල් මේ පංච
උපාධානස්කන්ධය සතර ආකාරයකින් යථාභූ®තව මනා නුවණින් අවබෝධ නො කළේ් ද, ඒ
තාක් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත
මේ ලෝකයේ මම සම්මා සම්බුද්ධයි, මම සර්වඥයි කියා ලොව හමුවේ ප්‍රකාශ නො
කළෙමි. එහෙත් යම් කලෙක මේ පංච උපාධානස්කන්ධය සතර ආකාරයෙන් මනා නුවණින්
අවබෝධ කළේ ද එ කලෙහි දෙවියන් මරුන් සහිත ශ්‍රමණ, බ්‍රාහ්මණ සහිත මේ
ලෝකයෙහි සම්මා සම්බුදු පදවියට සර්වඥතාවයට පත්වූයේ යැයි ලොව හමුවේ
ප්‍රකාශ කරමි.
එහිදී තථාගතයන් වහන්සේ වදාළා සම්මා සම්බුද්ධයි කියන්නේ කුමක්ද? සම්මා
සම්බුදු පදවිය ලැබුවා කියන්නේ මේ පංච උපාධානස්කන්ධය සතර ආකාරයකින්
අවබෝධ කර ගැනීමයි. එහි දක්වන සතර ආකාරය නම්, රූපය අවබෝධ කර ගත්තා. රූපය
දැන ගත්තා. රූපය ඇති කරන හේතුව දැන ගත්තා. රූපය නැතිකිරීම ගැන දැන
ගත්තා. රූපය නැතිකරන මඟ පිළිවෙත දැන ගත්තා.
ඒ වගේම වේදනාවත්, සංඥාවත්, සංස්කාරයත්, විඤ්ඤාණයත් අවබෝධ කළා. හට
ගැනීමේ හේතුව අවබෝධ කළා. එහි නැතිවීම එය නැති කරන පිළිවෙතත් අවබෝධ කළා.
උන්වහන්සේ අපට දේශනා කරනවා යමෙක්, මේ ශාසනය තුළ මනාකොට පිළි පැදීමකට
පත්වන්නේ නම් ඔහු විසින් කුමක් කළ යුත්තේ ද? කියන අදහසක් මෙසේ් විවරණය
කරනවා. යම් කෙනෙක් මේ ලෝකයේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් රූපය මෙයයි
කියා දැනගෙන රූපය හට ගැනීමට හේතුව දැන රූපය නැති කිරීම දැන නැතිකරන
පිළිවෙත දැන, රූපයෙන් වේදනාවෙන් සංඥාවෙහි සංස්කාරයෙහි විඤ්ඤාණයෙහි
කලකිරීම පිණිස, නො ඇලීම නැවැත්ම පිණිස පිළි පදින්නේ ද ඔහු සුපටිපන්න
නම් වේ. යමෙක් සුපටිපන්න ද ඔහු මේ ශාසනයේ පිහිටා සිටින්නෙක් උරුමය
ලබන්නෙක් වේ යැයි අවධාරණය කොට දේශනා කරනවා.
ඔබට මතකයි සුපටිපන්න කියන වචනය. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - යමෙක්
සුපටිපන්න ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සමූහයටයි අයිති වන්නේ.
මෙහිදී ශ්‍රාවක සංඝ සමූහය ලෙස හඳුන්වන්නේ භික්ෂු පිරිස පමණක් නොවේ. සංඝ
කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ අර්ථවත් කොට ඇත්තේ සමූහයක් කියන අදහස
යි. ඒ කවර නම් සමූහය ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක්. ශ්‍රාවක
පිරිස නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස යි. ඒ
අනුව ගිහි වේවා, පැවිදි වේවා යමෙකු සුපටිපන්නද ඔහු මේ ශාසනයේ උරුමය ලද
තථාගත ශාසනයේ නිත්‍ය ආර්ය ශ්‍රාවක භාවයට උරුමය ලද නිත්‍ය ආර්ය ශ්‍රාවක
භාවයට පත් වූ උතුම් පිරිසට අයිති බවයි මහා කාරුණිකයන් වහන්සේගේ
ඉගෙන්වීම දේශනාව බවට පත්වී තිබෙන්නේ. එනිසා ගිහිවේවා, පැවිදි වේවා
යමෙකු සුපටිපන්න ආදී පිළිවෙතට පැමිණීම බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවක
පිරිසට පත්වීමක් වෙනවා.
එනිසා අපිත් අවශ්‍යතා අරමුණු ඉලක්කය ඒ ආර්ය ශ්‍රාවක භාවය නම් අපද මේ
රූපාධිස්කන්ධය කලකිරීමට, නො ඇලීමට, නැවැත්ම පිණිස පිළිපැදිය යුතු බව
මෙහි සඳහන් වෙනවා. යමෙකු මේ රූපාධිස්කන්ධයන්හි කලකිරීම පිණිස, නො ඇලීම
නැවත්ම පිණිස, පිළි පදිනවානම් ඔහු සුපටිපන්න බව අවධාරණය කොට දක්වනවා.
රූපය දකින මෙනෙහි කරන සිතන විමසන ප්‍රතිපදාවට එන්නට ප්‍රථම රූපය යනු
කුමක්ද එය හට ගැනීමට හේතුව කුමක් ද? නැති කිරීම නම් කුමක් ද? නැති කරන
පිළිවෙත කුමක්දැයි දැන මේ ප්‍රතිපදාවට පැමිණීමේ රූපාධිස්කන්ධයෙහි
කලකිරීමට නො ඇලීමට නැවත්මට කටයුතු කළොත් සුපටිපන්න භාවය හිමිවෙනවා. එයට
නිදසුනක් ලෙස මජ්ක්‍ධිම නිකායේ මහාදුක්ඛකන්ධ සූත්‍රය. කාමයෙහි
වේදනාවෙහි කලකිරීමෙහි, නො ඇලීම පිළිබඳව අනුශාසනා කළ තවත් ශාස්තෘවරු
සිටියා.
ඒ වගේම අද අප භාවිතා කරන සෑම භාවනා ක්‍රමයක්ම අප භාවිතා කරන්නට ප්‍රථම
ඇයි මෙසේ මෙය කරන්නේ කියලා නුවණ අවබෝධය යම් තරමකට හෝ පිහිටා තිබෙන්නට
ඕන. මෛත්‍රී භාවනාව පිළිබඳව වුවත් එසේම විය යුතුයි. ඒ ගැන සඳහන් වන
සංවාදය ඇතුළත් සූත්‍ර දේශනා ත්‍රිපිකටයේ සඳහන් වෙනවා.
එක් දිනක් භික්ෂූන් වහන්සේ කීප නමක් අන්‍ය තීර්ථක ආරාමයකට වැඩම කළ
අවස්ථාවේදී ඒ තීර්ථක ශාස්තෘන් වහන්සේ කියනවා අපත් සියලු දිසාවටම
අප්‍රමාණව මෛත්‍රී විහරණයෙන් වාසය කරනවා. අප අපේ ශ්‍රාවකයන්ට එසේ
කිරීමට අනුශාසනා කරනවා. අප්‍රමාණ සියලු දිසාවන්ට කරුණා විහරණයෙහි වාසය
කරනවා. අප අපේ ශ්‍රාවකයන්ට එසේ කිරීමට අනුශාසනා ද කරනවා.
ඒ වගේම මුදිතා උපේක්ෂාවෙන් සියලු දිසාවට ඇසුරු කොට අපද වාසය කරනවා. අපේ
ශ්‍රාවයකයන්ට මුදිතාවෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරන්න අනුශාසනා කරනවා.
ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේත් සිව්වන විහරණයෙන් මෙත් සිත පතුරුවමින්
වාසය කරන්න අනුශාසනා කරනවා. එහෙමනම් මේ අනුශාසනාවෙහි අපේ අනුශාසනාවෙහි
නානාත්වය වෙනස මොකක්ද කියලා භික්ෂූන් වහන්සේලාගෙන් අසනවා. එහිදී
උන්වහන්සේලා එය පිළිගන්නේ ද, ප්‍රතික්ෂේප කරන්නේද නැතුව සවස් කල
තථාගතයන් වහන්සේ හමුවී මෙහි වෙනස විමසනවා. උන්වහන්සේ වදාළා “යමෙකු
විවේකය, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමුණත් කොට මෙත්
වඩයි ද ඒ මේ ශාසනයෙහි දැක්වෙන ඉගැන් වීමයි. එසේනම් අපි භාවනා කරන විටත්
එය සර්වඥතා දේශනාවට අනුකූ®ලද යන්න නොදන්නේ නම් විවේකය, විරාගය, නිරෝධය,
ඇසුරුකොට නිවනට නැමුණත් කොට වඩන්නේ නො දන්නේනම් එය සර්වඥ දේශනා
ඉගැන්වීමක් නොවේ. එය කෙසේ හෝ වැඩීම නිරර්ථක නොවේ. එය භාවනාවමය පින්කම
පමණක් වේ.
භාවනාමය පින්කම සසර ගමනට දැන උගත්කම නැණ නුවණ ලබාදෙන ඒ සඳහා හේතු උපකාර
වෙන මහා පුන්‍යමය වැඩපිළිවෙලක් වේවි. බුදුගුණ, මෛත්‍රී, කරුණා, මුදිතා,
ධම්මානුස්සති, සංඝානුස්සති, දේවානුස්සති, චාගානුස්සති, සීලානුස්සති,
අනාපානසති, මරණසති දස කසින මේ කුමන හෝ භාවනාවක් කළත් ඒ භාවනාවට පෙර
ඉදිරියෙන් අරමුණක් තිබිය යුතුයි මේ භාවනාව අප පුරුදු වන්නේ නිවන උදෙසා
පමණයි කියලා.
සාකච්ඡා කළේ
නයනා නිල්මිණි |