දරුවන් පළමුව නැණයෙන් නොව
ගුණයෙන් පෝෂණය කළ යුතුයි
කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ
මහා ලේඛකාධිකාරී
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි
ආගමික වැඩසටහන් නිසි අයුරින් අධ්‍යයනය කරන ඊට හැඟීම්බරව අවධානය යොමු
කරන අපේ දරු පිරිස ඉතාම අඩුයි. තරමක් දුරට හෝ ගුණ දහම් රැඳී තිබෙන්නේ
දහම් පාසල් නිසයි. එහෙත් සතියකට පැය 3ක් 4ක් දහම් පාසල් අධ්‍යාපනය ලබා
දී ගුණදහම් වැඩීමට සිරිත් විරිත් උගැන්වීමට බැහැ
මෙරට බුදු දහම චිරාත් කාලයක් අඛණ්ඩව පැවැතීමට ප්‍රධානම හේතුවක් වූයේ
ගිහි – පැවිදි දෙපිරිස අතර පැවැති අන්‍යෝන්‍ය සබඳතාවයයි. ඒ සබඳතාවය
නිසා ආගමික දියුණුව මෙන්ම මෙරට සංස්කෘතික දියුණුව ද ඇති වුණා. එමෙන්ම
ගිහියන් ද පංචශීලය අගයමින් මෙලොව මෙන්ම පරලොව දියුණුව ද සලසා ගත්තා.
ශ්‍රද්ධාව, විශ්වාසය, සිරිත් විරිත්, චාරිත්‍ර, වාරිත්‍ර මුල් කරගෙන මේ
සබඳතාව ගොඩනැඟුණා. මේ සබඳතාවේ වැදගත්ම සංසිද්ධිය වූයේ ගිහියා විසින්
පැවිදි භික්‍ෂූන් වහන්සේට සිවුපසය සලසා උන්වහන්සේගේ අවවාද උපදෙස් අනුව
දිවි ගෙවීමයි.
එහිදී පැවිදි උතුමන්ට ගරු කළ යුතු ආකාරය උන්වහන්සේ ඉදිරියේ කතා කළ යුතු
ආකාරය මෙන්ම කටයුතු කළ යුතු ආකාරය ද එදා ජනතාව දැන සිටියා. මහරජතුමා
වුව ද විහාරස්ථානයට යාමේදී භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ ගෞරව පූර්වකව
සිටීමට වගබලා ගත්තා. රජතුමා රාජකීය ස්වරූපය සහමුලින්ම අමතක නොකළ ද
විහාරස්ථානයට ඇතුළු වූ පසු සැදැහැවත් බෞද්ධයකු ලෙස ක්‍රියා කළා.
අතීතයේ සිට පවත්වාගෙන ආ ධර්ම දේශනා පිරිත් පින්කම්වලදී ජනතාව ඉමහත්
භක්තියෙන් යුක්තව ගෞරවය පෙරදැරි කරගෙන කටයුතු කළා. එහෙත් මේ තත්ත්වය අද
වන විට වෙනස් වී ගොස් ඇති බව පෙනෙනවා.
වර්තමානයේ ධර්ම දේශනාවකදී, පිරිත් පින්කමකදී කටයුතු කළ යුත්තේ කෙසේද
යන්න බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඊට හේතුව වූයේ නිසි පිළිවෙත් පුරන සැබෑ
බෞද්ධයන් ක්‍රමයෙන් අප අතරින් වියෝ වී යාමයි.
අතීතයේ සිට පැරැණි ජනයා කටයුතු කළේ ආදර්ශ සම්පන්නවයි. ඔවුන්ගේ කටයුතු
දෙස බලා සිටින බාල පරපුර ඒ අනුව යමින් කටයුතු කළා. භික්‍ෂූන් වහන්සේ
ඉදිරියේ හැසිරෙන්නේ කෙසේ ද? කටයුතු කරන්නේ කෙසේ ද? කතාබහ කරන්නේ කෙසේ
ද? යන්න ගැන අතීතයේ සිට අපේ ජනතාව හොඳින් දැන සිටියා. ඔවුන්ගේ ඒ
හැසිරීම් ක්‍රමවේද අනුව යමින් බාල පරපුර ඒ කටයුතු නිවැරැදිව කළා. ඔවුන්
ද තම බාල පරපුරට ඒ ආදර්ශ ලබා දුන්නා. බෞද්ධ ජනතාවගේ මේ වත් පිළිවෙත්
ක්‍රමයෙන් ඈත් වුණා. චාරිත්‍ර දන්න, ආගමික වත් පිළිවෙත් නිසි අයුරින්
දන්නා ජනතාව සමාජයෙන් ඈත් වුණේ බාල පරපුරට ඒ ආදර්ශය ලබාදීමට නොහැකිවයි.
අතීතයේ අපේ පවුල පරිපූර්ණ, අංග සම්පූර්ණ පවුලක් බවට පත්වෙලා තිබුණා. ඒ
මව, පියා, දරුවන්, ආච්චි, සීයා ඇතුළු සියලුදෙනා එකම නිවසේ වාසය කළ
නිසයි. අසල් වැසි නිවෙස්වල නැන්දා, මාමා ඇතුළු ඥාති පිරිස් වාසය කළා.
මේ නිසා තම වැඩිහිටියන්ගේ වත් පිළිවෙත් පින්කම්වලට සියලු දෙනා එක්ව
සහභාගි වූණා. කුඩා දරුවාගේ සිට සියලු දෙනාටම වත් පිළිවෙත් පින්කම් ගැන
මනා අවබෝධයක් මෙන්ම හැඟීමක් තිබුණා. ශ්‍රද්ධාව ඇතිවන අයුරින්
වැඩිහිටියන් කටයුතු කළා. එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළ ද පින්කම් බෞද්ධ
වත් පිළිවෙත් ගැන දූ දරුවන්ට මනා අධ්‍යාපනයක් ලබා දුන්නා. මේ නිසා
බෞද්ධ සමාජය මෑතක් වනතුරුම ඉතා හොඳින් පැවතුණා.
වර්තමානයේ දී දූ දරුවන්ට පාසලින් මේ අධ්‍යාපනය නිවැරැදිව ලැබෙන්නේ
නැහැ. ඔවුන්ට විෂය මූලික අධ්‍යාපනය ලබාදීමට පමණයි වත්මන් සමාජය ක්‍රමය
හැඩ ගැසී ඇත්තේ. පාසල් අධ්‍යාපනයේත් බුද්ධාගම වෙනම විෂයක් ලෙසයි
උගන්වන්නේ. ඇතැම්විට කාල පරිච්ඡේද දෙකකදී පමණක් දරුවන්ට එම විෂය
උගන්වන්නේ දරුවන්ට හොඳ නරක සිරිත් විරිත් ලබාදීමට නොවේ. විභාගයේ
ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබා ගැනීමට පමණයි. වැඩිහිටියන්ට සලකන්නේ කෙසේ ද?
භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ හැසිරෙන්නේ කුමන අයුරින් ද? අන්‍යයන්ට
කරදරයක් නොවන ලෙස ජීවත් වන්නේ කෙසේ ද? මේ ආදී කිසි ගුණදහමක් දරුවන්ට
ලබා දෙන්නේ නැහැ. නිවසින්වත් දරුවන්ට මේ ආදර්ශ ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා
වැඩිහිටියන්ට අද වේලාවක් නැහැ. ඇතැම්විට මවත්, පියාත් දෙදෙනාම රැකියාවේ
නිරත වෙලා. දිවා කාලයේ පාසල් ඇරී නිවසට එන දූ දරුවන් ඔවුන්ගේ ලෝකවල
හුදෙකලා වෙලා. ඔවුන්ට කිසිදු ගුණ දහමක් උගැන්වීමට කිසිවකු නිවස තුළ
නැහැ. රැකියා අවසන් වී නිවසට පැමිණ වැඩිහිටියන් කඩිනමින් රාත්‍රී ආහාර
සකස් කර පසුදිනට අවශ්‍ය කටයුතු සකස් කරනවා. අඩුම වශයෙන් රාත්‍රී ආහාර
වේල හෝ එකට ලබාගන්නේ ඉතා සීමිත පවුල් ප්‍රමාණයක්. මේ නිසා ගෘහ ජීවිතය
තුළ පවා විශාල කඩා වැටීමක් තිබෙනවා.
භික්‍ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කිරීමේ දී මෙන්ම විහාරස්ථානයේ දී කතා බහ
කළයුත්තේ කෙසේ ද? යන්න ගැන අද බොහෝ දෙනා දන්නේ නැහැ. මේ නිසා වර්තමාන
දූ දරුවන්ට සමාජයෙන්, නිවසින් එසේත් නැත්නම් වෙනත් මාර්ගයකින් ඒ පිළිබඳ
දැනුම ලබාගැනීමට හැකියාවක් නැහැ.
මාධ්‍ය මඟින් හෝ මේ පිළිබඳව නිසි අයුරින් දැනුම්වත් කරන්නේ නැහැ. මේ
නිසා බොහෝ දූ දරුවන් වැඩි වශයෙන් රූපවාහිනී මාධ්‍යයට නැඹුරු වෙලා. ඒ
නිසා දූ දරුවන්ට අවශ්‍ය මෙන්ම අනවශ්‍ය වැඩසටහනක් ද නැරඹීමට ඔවුන්
පෙලඹිලා. එමඟින් සමාජ විරෝධී සදාචාර විරෝධී ක්‍රියාවන්ට අපේ දරුවන්
යොමුවෙලා. ආගමික වැඩසටහන් නිසි අයුරින් අධ්‍යයනය කරන ඊට හැඟීම්බරව
අවධානය යොමු කරන අපේ දරු පිරිස ඉතාම අඩුයි. තරමක් දුරට හෝ ගුණ දහම්
රැඳී තිබෙන්නේ දහම් පාසල් නිසයි. එහෙත් සතියකට පැය 3 ක් 4 ක් දහම්
පාසල් අධ්‍යාපනය ලබා දී ගුණදහම් වැඩීමට සිරිත් විරිත් උගැන්වීමට බැහැ.
බෞද්ධ සමාජයේ මේ කඩා වැටීමට හේතුව එයයි. ආගමික වැඩ කටයුතු නිසි අයුරින්
සිදු නොකිරීම නිසා ක්‍රමයෙන් ගිහි – පැවිදි සබඳතා පවා දුරස් වී
තිබෙනවා.
නමස්කාරය පවා නිසි අයුරින් හඬ නඟා කියවන්න දන්න අය අද නැහැ. පන්සිල්
සමාදන්වීමේ දී හඬ නඟා කියන්න දන්නෙ නැහැ.
ආගමික කටයුතුවලට පෙර පිරිසුදුවීමට අවශ්‍ය බව අද බොහෝ දෙනෙක් දන්නේ
නැහැ. වන්දනා කිරීමට පවා නොදන්නා බෞද්ධ සමාජයක් අද බිහිවෙලා තියෙන්නේ.
චීන ජාතිකයන් ගෙන බලන්න. ඔවුන් තුන් වරක් වන්දනා කිරීමෙන් ගෞරව
දක්වනවා. ඔවුන් අඩ වශයෙන් වන්දනා කරන්නේ නැහැ. එහෙත් අපේ බෞද්ධයන් වැඩි
පිරිස අඩ වශයෙන් වන්දනා මාන කරන අයයි. ඒ මඟින් අපේ දරුවන්ට වන්දනා මාන
පිළිවෙත් ගැන නිසි අවබෝධයක් ලබා දීමට බැහැ.
මේ නිසා විදේශ රටවල බෞද්ධයන්ගෙන් අප ආදර්ශ ලබා ගත යුතු තත්ත්වයට අද
පත්වෙලා. මේ තත්ත්වයෙන් අපේ රට මුදාගන්න නම් දහම් පාසල් අධ්‍යාපනය
නැංවිය යුතුයි. එමෙන්ම පාසල් අධ්‍යාපනයත් ගුණාත්මක අධ්‍යාපනයට මුල්
තැනක් දිය යුතු වනවා. ගුණ ධර්මයන්ට මුල් තැනක් දිය යුතුවනවා.
දරුවන් නැණයෙන් නොව පළමුව ගුණයෙන් පෝෂණ කළ යුතුවනවා. එසේ නොමැතිවුවහොත්
අපට බෞද්ධ සමාජය කඩා වැටීම වළක්වන්න බැහැ.
සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර |