දානය විමුක්ති මඟට
ආලෝකයකි
රත්මලානේ ආදර්ශ නගරයේ
ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ
හෑගොඩ විපස්සී හිමි
බෞද්ධ වචන මාලාවේ දානය යන වචනයට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. සන්තානගත
කෙලෙස් පහකොට නිර්වාණ සුවය සාක්‍ෂාත් කිරීමේ විමුක්ති මාර්ගයේ මූලික
පියවරක් වන්නේ දානයයි. සමාජගත දියුණුවේ පදනමක් වශයෙන් ද දාන සංකල්පය
ක්‍රියාත්මක කළ යුතු ආකාරය විවිධ සූත්‍ර දේශනාවල සඳහන් වේ.
ඒ අනුව පුද්ගලයාගේ සිට පාලකයා දක්වාත් පාලකයාගේ සිට පුද්ගලයා (ජනතාව)
දක්වාත් අන්‍යොන්‍ය වශයෙන් දානය හෙවත් පරිත්‍යාගය සිදුවිය යුතු බව
බෞද්ධ ඉගැන්වීමයි. රාජ්‍ය පාලකයා තම ජනතාව උදෙසා කළ යුතු යුතුකම් එනම්
සතර සංග්‍රහය වස්තු, දශරාජ ධර්ම ආදි ප්‍රස්තුතයන්හි මුලින් ම සඳහන්
වන්නේ දානයයි. මෙහි අදහස රාජ්‍ය පාලකයකු ජනතාවට දන්දීම නොවේ. ජනතාවගේ
දිළිඳුකම නැතිකිරීම පිණිස රාජ්‍ය ධනය ක්‍රමානුකූලව බෙදීයෑමට
සැලැස්වීමයි. රැකියා අවස්ථා සුලභ කිරීමයි. රාජ්‍ය පාලකයකුගේ යුතුකම
මෙන්ම වගකීම් ද වන්නේ දාන සංකල්පය ජනතාවගේ ආර්ථික තත්ත්වය උසස් කිරීම
පිණිස ක්‍රියාත්මක කිරීමයි. ඒ බව දීඝ නිකායේ කූටදන්ත සුත්‍රයෙන්
පැහැදිළි වේ. එනම්
රජතුමනි, ගම් නියම්ගම් නගර සොර බියෙන් පීඩා විඳීයි. මං පැහැරුම් දක්නා
ලැබේ.මෙසේ උවදුරු ඇති රටකින් අයබදු ගැනීම ආදිය සුදුසු නොවේ. විවිධ
දඬුවම්වලින් සොර උවදුරු වැළැක්විය නොහේ. එම නිසා මෙසේ පිළිපැදීම අගනේ
ය. කෘෂි කර්මාන්තයෙහි යෙදුනවුනට ධාන්‍ය බීජ ආදිය ලබා දිය යුත්තේ ය.
වෙළඳාමෙහි යෙදුනවුනට මුදල් ද රාජකාරියේ යෙදුන වුනට ආහාරපාන මාසික වැටුප
ආදිය ලබා දිය යුතු යි.මෙසේ කළ පසු ඒ ඒ ජනයෝ තම තමන් අයත් කාරියෙහි
නිසිසේ යෙදෙති. සොරබිය දුරුවෙයි.රජුගේ ආදායම ද වැඩි වෙයි. රටෙහි උවදුරු
ද නැති වෙයි. මිනිස්සු අඹුදරුවන් පෝෂණය කරමින් සැකයෙන් බියෙන් තොරව
සුඛිත මුදිතව වාසය කරන්නාහ. එම උපදෙස් අනුව පාලනය කරන්නේ රටෙහි
නිෂ්පාදනයන් වර්ධනය වී රාජ්‍යය සමෘද්ධ විය. මින් පැහැදිලි වන්නේ දාන
සංකල්පය රාජ්‍ය පාලකයෙකු ක්‍රියාත්මක කළ යුතු ආකාරයයි.
පාලකයාත් පාලිතයාත් පුද්ගලයෙක්මයි. ඒ නිසා ඔවුන්ගේ සන්තානගත සිතිවිලි
ක්‍රියාත්මක ස්වරූපය සමාන මූලයන්ගෙන් යුක්තයි. සමාජය ස්ථර අනුව ස්වකීය
භුමිකාවට සුදුසු පරිදි ක්‍රියා කිරීම ශීලාචාර පුරවැසියන්ගේ ස්වරූපයයි.
එහිලා පුද්ගලයාගේ චිත්ත සන්තානයේ කිඳා බැස ඇති ලෝභය නමැති අකුසල මූලය
පාලනය කිරීමට දානය අත්‍යවශ්‍ය සාධකයකි. ආශාව, තණ්හාව, කාමය, රාගය,
කෑදරගම ආදි වශයෙන් හඳුන්වන්නේ ලෝභයයි. නැතහොත් ලෝභය මුල්කොට ඇතිවන
චිත්ත ප්‍රවණතායි. මේ නිසා ධනය ලබා ගැනීමට සෑම පුද්ගලයෙක්ම උත්සාහ
කරයි.
මෙහි අප ධනය වශයෙන් අදහස් කරන්නේ මූල්‍ය සාධකය පමණක් නොවේ. කෙසේ වුවත්
ධනය හේතුකොට පුද්ගලයාට විපතක් ඇති වන්නේය. ධනය නිසා නොවේ. ධනය පරිහරණය
අනුවම යි. එම නිසා විමුක්තියට බාධා නොවන පරිදි ධනය පරිහරණය කරන අයුරු
බුදුදහමේ පෙන්වා දී තිබේ.අනික් කරුණ පි‍්‍රයජනක දේ භුක්ති විඳීමට බෞද්ධ
ඉගැන්වීම් බාධා නුවුවත් පි‍්‍රයජනක දේ කෙරෙහි ඇලී ගැලී සිටීම විපතට
හේතු වේ. විමුක්තියට බාධාවකි .
දානය විමුක්තිය හෙවත් සියල්ල නැතිකොට සසරින් එතෙරවීමේ මාර්ගයේ මුල්
පියවර වශයෙන් හැඳින්වූයේ එම නිසායි. ඇත්ත වශයෙන් ම ඉහත සංකල්පයෙන් දැක්
වූ දේ පුළුල්ව සාකච්ඡා කළ යුතු වුවත් ඊට මෙය ඉඩක් නොවේ. පුද්ගල
සන්තානගත ලෝභය නමැති බූවල්ලා ක්‍රම ක්‍රමයෙන් නැති කිරීම පිණිස බෞද්ධ
සමාජයේ දානය සංකල්පය පුළුල්ව විකාශයට පත්ව ඇත.විශේෂයෙන් ම විමුක්තිය
ලබා ගැනීම පිණිස දානය ද සාංසාරිකව පාරමිතාවක් වශයෙන් ප්‍රගුණ කළ යුතු
ආකාරය දස පාරමී ධර්මයන්ගෙන් ප්‍රකට වේ.දීම යන අර්ථ ඇති දාන ශබ්ද “දා”
ධාතුවෙන් සෑදුණු පදයකි. චාග යනු ද මීට පර්යාය පදයකි. පූජා වශයෙන් හෝ
අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් සුදුසු වස්තුවක් අනුන්ට පරිත්‍යාග කිරීම
දානයයි. දානය යනු දීම වුවත් පන්සලට දන් දෙනවා. වැඩිහිටි නිවාසයට දන්
දෙනවා, දුගී මගී යාචකාදීන්ට දන් දෙනවා, ආදි අවස්ථාවන්හිදී දානය වශයෙන්
අදහස් කරන්නේ දීම නොව දෙන වස්තුන් හෙවත් දෙන දෙයයි.මේ නිසා “දානය”
වචනයෙන් අත්හැරීම, දීම, පරිත්‍යාගය පූජා කිරීම මෙන්ම දීමට පොහොනා
(සුදුසු) සිවුරු පිරිකර, ආහාරපාන, ඉඩම් කඩම්, ඇඳුම්පැලඳුම් ආදී වස්තුන්
ද අදහස් කෙරේ. සිංහල ජන වහරේ පවත්නා මෙම දාන සංකල්පය අපූරු විවරණයකි.
ඇත්ත වශයෙන්ම “ පන්සලට දන් ගෙන යනවා” ආදි වශයෙන් ව්‍යවහාරයේ පවතිනුයේ
තමා සතු (ධාර්මික) වස්තුව පරිත්‍යාග කිරීමයි.
දන් දීමේ ආසන්නම හේතුව සිත් හි අලෝභ චෛතසිකය යෙදීමයි. අලෝභය ආසන්න
හේතුව වුවත් අදෝස, අමෝහ, චෛතසික ද නොයෙදේ යැයි මින් අදහස්ද නොවෙයි.
අභිධර්මානුකූල විවරණය අනුව හේතු සයකි. එනම් ලෝභ, දෝස, මෝහ අලෝභ, අදෝස,
අමෝහ යන සයයි. මෙයින් ලෝභ, දෝස, මෝහ අකුසල මුල් ය.අලෝභ, අදෝස, අමෝහ
කුසල මුල් ය. කුසල විපාක සිත් මේ තුනෙන් යුක්ත වූ විට කුසල සහේතු යැයි
කියනු ලැබේ. නිදසුනක් වශයෙන් දහනමකට දහවල් දනට වඩින්න යැයි යම් කෙනෙක්
ආරාධනා කරති. එහෙත් එක නමක් දෙනමක් අඩු වේ. එවිට දායකයාගේ සිත් හි
ද්වේශය හෙවත් තරහව ඇති වේ. දෙන දානයෙහි අලෝභ ස්වභාවයක් නැති වුවත්
ද්වේශ සහගත ස්වභාවය මෙහි දී බලපා ඇත. සාංඝිකව දන් දීම පිළිබඳ අනවබෝධය
නිසා මෙවැනි සිතුවිලි ඇති වීම ස්වාභාවිකයි. මේ පිළිබඳ ඉදිරි ලිපිවල දී
තවදුරටත් කරුණු පැහැදිලි කරනු ලැබේ. දන් දිය යුත්තේ කුමක් නිසා දැයි
මහානිදාන සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙසේය. එනම්,
වේදනාව නිසා තණ්හාව,තණ්හාව නිසා සෙවීම වෙයි. සෙවීම නිසා ලැබීම් වෙයි.
අරමුණු ලැබීම් නිසා නිගමනයන් ඇති වෙයි. දෘෂ්ටි වශයෙන් කරන නිගමන නිසා
ඡන්ද රාගය (දුර්වල රාගය) ඇති වෙයි. ඡන්ද රාගය නිසා මමය මාගේය යන බලවත්
ඇලීම වෙයි.
(ඉතිරි කොටස
අගෝස්තු 09 වනදා
පත්‍රයේ පලවේ) |