අවබෝධය හා ශ්‍රද්ධාව
මාවරලේ භද්දිය හිමි
අප දැනගත් කරුණු පවා ප්‍රායෝගික ජීවිතයේ දී ඒ ආකාරයෙන්ම ක්‍රියාවට
නැංවීමට නොහැකි වී තිබෙන්නේ, ඒ දැනගත් දහම් කරුණු අපි හොඳින් තේරුම්
ගෙන නැත්නම් හොඳින් අවබෝධ
කරගෙන නැත්නම්, එය අපේ මිථ්‍යාව තුළට ඇතුළු වී එය අප වටා වෙළාගෙන
ඇත්නම්
අප මොන තරම් දේ කතා කළත් අපට
ඒ දේවල් ක්‍රියාවට නැංවීම අතිශයින් දුෂ්කර කටයුත්තක් වෙනවා
සත්‍යාවබෝධය කරගැනීමට වීර්යය වඩන තැනැත්තකු විසින් පියවරෙන් පියවර ඒ
සඳහා ගමන් කළ යුතු ආකාරය පිළිබඳව ගෞතම බුදුරජාණන් වහන්සේ සිදු කරනු
ලැබූ පැහැදිලි කිරීම කුමක්ද යන්න වටහා ගත යුතු ය. විශේෂයෙන්ම නිරතුරුව
ධර්ම ශ්‍රවණය කරනු ලැබූවත්, නිරතුරුව දහම් සාකච්ඡාවලට සම්බන්ධ වී
තිබුණත් ඉතාම හොඳින් දැනගෙන සිටින ඇතැම් දහම් කරුණු පවා ඊට අදාළව
ජීවත්වීමේ දී ක්‍රියාවට නැංවීම ට නොහැකි වී තිබෙන ආකාරය පිළිබඳව සමාජය
දෙස උපේක්‍ෂා සහගතව බැලීමේ දී පෙනී යන කාරණයක්.
අප දැනගත් කරුණු පවා ප්‍රායෝගික ජීවිතයේ දී ඒ ආකාරයෙන්ම ක්‍රියාවට
නැංවීමට නොහැකි වී තිබෙන්නේ, ඒ දැනගත් දහම් කරුණු අපි හොඳින් තේරුම්
ගෙන නැත්නම් හොඳින් අවබෝධ කරගෙන නැත්නම්, එය අපේ මිථ්‍යාව තුළට ඇතුළු
වී එය අප වටා වෙළාගෙන ඇත්නම් අප මොන තරම් දේ කතා කළත් අපට ඒ දේවල්
ක්‍රියාවට නැංවීම අතිශයින් දුෂ්කර කටයුත්තක් වෙනවා. බුදුරජාණන් වහන්සේ
මජ්ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ දී ‘චන්කී’ කියල
සූත්‍රයක් දේශනා කරනවා. චන්කී බ්‍රාහ්මණයට සත්‍යාවබෝධය සඳහා පියවරෙන්
පියවර ගමන් කරනා ආකාරය සහ පිළිවෙළ ධර්ම ශ්‍රවණයේ දී අප අනුගමනය කළහොත්
අපට මේ මොහොතේ පවතිනවාට වඩා අවබෝධයක් ධර්මය පිළිබඳව ලබාගෙන ඒ තුළින්
ජීවිතය සකසාගන්නට හැකි වේවි. එය පළමු කාරණය ලෙස බුදුරජාණන් වහන්සේ
දන්වා තිබෙන්නේ සමන්නේශනය කියන එක. සමන්නේශනය කියල කියන්නේ සොයාබැලීම
කියන එක. ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කරන පුද්ගලයකු විසින් පොත පත
තුළින් හෝ වෙන ක්‍රමයකින් එම කාරණය පිළිබඳ තොරතුරු සොයා බැලීම
අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. තොරතුරු සොයා බැලීම පමණක් පූර්ණ අවබෝධයකට
ප්‍රමාණවත් වෙනවා යැයි සිතන්න අපහසුයි. එම තොරතුරු සොයා බැලීම
අභ්‍යන්තරික සොයා බැලීමක්ද විය යුතු යි.තමන්ගේ අධ්‍යාත්මය වෙතට
ගැඹුරින් හැරී බැලීම තුළ බොහෝ කාරණා ඔබගේ සන්තානය තුළ තිබෙන ආකාරය ඔබට
දැකගන්නට පුළුවන්කම ලැබෙයි. ධර්මයේ උගන්වපු කාරණා තමන් තුළ තිබෙනවද?
තමන් ඉගෙන ගෙන තිබෙන ඒ දහම් කාරණා පිළිබඳ සත්‍යය තමන් තුළින් දැකගන්නට
ලැබෙනවද කියන කරුණු පිළිබඳ අවධානය යොමු කරන පිරිස ස්වල්පයයි. ඔබ
නිරන්තරයෙන් ඔබ තුළින් දහම සොයා ගන්නට වීර්යය වඩන්න. එම සොයා බැලීම තුළ
තමයි ඔබට පූර්ණ අවබෝධය කරා මෙම භවය තුළදීම ඔබට ගමන් කරන්නට පුළුවන්කම
ලැබෙන්නේ. ඒ සොයා බැලීම කරන්නට නම් ඔබ සෑම මොහොතකම යෝනිසෝ මනසිකාරයෙන්
යුක්තව දවස ගෙවන්නට වෙනවා. ඔබ මේ මොහොත තුළ සියල්ල දෙස විවෘත මනසකින්
බලනවා නම් ඔබට ඒ දේවල් තුළ මෙතෙක් කාලයක් නොපෙණුනු බොහෝ දේ පෙනෙන්නට
පටන් ගනීවි. ඒ විවෘත මනස දෘෂ්ටිවලින් නිදහස් වූ, මතවාද වලින් නිදහස්
වූ, ඉගෙන ගත්තු කාරණාවලින් නිදහස් වූ, මම දන්නවා කියන හැඟීමෙන් නිදහස්
වූ, මනසකින් ඔබට දේවල් දෙස බලන්නට පුළුවන්කම ලැබුණොත්, ඒ දේ අධ්‍යයනය
කරන්නට පුළුවන්කම ලැබුණොත්, ඒ සොයා බැලීම තුළ ඔබට සත්‍යය වැටහීමට පටන්
ගනීවි. ඒ සත්‍යය අවබෝධයටයි ඔබ උත්සාහ කළ යුත්තේ.
බුදුරජාණන් වහන්සේ චන්කී බ්‍රාහ්මණයට සත්‍යාවබෝධය සඳහා ගමන් කරන
මාර්ගයේ දෙවන පියවර ලෙස පෙන්වා දී තිබෙන්නේ ශ්‍රද්ධාව ජනිත කර ගැනීමයි.
තමන් ගුරුවරයා තුළින්, පොත පත තුළින්, ඇහුන්කන් දෙන කාරණා පිළිබඳව ඔබ
ඔබ තුළින්ම පර්යේෂණය කරල හඳුනා ගන්නා වූ කාරණා පිළිබඳව ඔබ කොයිතරම්
දුරට ඒවා විශ්වාස කරන්නට පටන් ගන්නවද කියන එක නිර්වාණය වැනි උතුම්
අවබෝධයක් පිළිබඳව මේ මොහොතේ අපට විශ්වාස කරන්නට තිබෙන්නේ බුද්ධ වචනය
තුළින්. බුද්ධ වචනය පිළිබඳව විශ්වාස කළහොත් පමණයි අපට නිර්වාණාවබෝධය
පිළිබඳව කිසියම් විශ්වාසයක් ගොඩනැඟෙන්නේ. ඒ තත්ත්වය සඳහා ගමන් කරන්නට
ඔබට අධ්‍යාත්මික වුවමනාවක් ගොඩනැඟෙන්නේ.
කාමභෝගී ගිහි ජීවිතය දුකක් කියන කාරණය කුඩා කළ පැවිදි වූ භික්‍ෂුවකට
අවබෝධ කරගැනීම දුෂ්කරයි. අවුරුදු 9 දී හෝ 10 විතර පැවිදි වෙච්ච
භික්‍ෂුවක් අවුරුදු 20 ක් 30 ක් විතර පැවිදි ජීවිතය තුළම ගත කරද්දී,
ගිහි ජීවිතයේ යථා ස්වරූපය පිළිබඳව උන්වහන්සේට ප්‍රායෝගිකව වටහාගැනීම
දුෂ්කර කාර්යයක්. හැම මොහොතකම එවැනි භික්‍ෂුවගේ මනස තුළ විචිකිච්ඡාවක්
සැකයක් ගොඩනැගෙන්නට පුළුවන්. පැවිද්ද තුළ නැති සුවයක් පැවිද්ද තුළ නැති
සැපයක් ඇත්තටම ගිහි ජීවිතය තුළ තිබෙනවද කියලා. ඒත් යම්කිසි භික්‍ෂුවක්
බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය තුළ තිබෙන්නාවූ පංච කාමයන් සැපක්
නොවෙයි.
යථාර්ථයක් වශයෙන් ගත් විට ඒ තුළ තිබෙන්නේ දුකක්මයි කියලා බුද්ධ දේශනාව
ගැඹුරින් විශ්වාස කරනවා නම් ඉහත කී භික්‍ෂුවට ඒ පිළිබඳව අවබෝධ කරගන්නට
පංචකාමයන් පිළිබඳව තෘෂ්ණාව දුරුකරගන්න එයම ප්‍රමාණවත් වෙයි. වැදගත්ම
දෙය බුදුරජාණන් වහන්සේ ඒ කාරණය පිළිබඳව දේශනා කරන දේ කොතරම් දුරට
ගැඹුරු විශ්වාසයකින් ගැඹුරු ශ්‍රද්ධාවකින්, ප්‍රසාදයකින් පිළිගන්නවාද
කියන එක. මූලිකව අපට ධර්මය නොතේරෙන්නේ අවබෝධ නොවෙන්නෙ ශ්‍රද්ධාව කියන
සංකල්පය හරියට අප තුළ ගොඩනැඟිල නැති නිසා. ඔබ ඒ ගැන ගැඹුරින් සිතිය
යුතුයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එළඹීම කියන දෙය පිළිබඳව. යම්කිසි දෙයක්
ශ්‍රද්ධාවෙන් පිළිගත්තද, පිළිගත් දේ පිළිගැනීමක් වශයෙන් තියාගෙන හිටියට
ඒකෙන් ඔබ පූර්ණ අවබෝධය කරා ගමන් කරන්නේ නෑ. ශ්‍රද්ධාවෙන් පිළිගත්ත
මාර්ගය වෙත, ඔබ එළඹෙන්නට ඕනෙ. ඔබට අවබෝධය කරා ගමන් කරන්නට ඕනෙ නම්,
අවබෝධය කරා ගමන් කරන්නට සුදුසුම යැයි ශ්‍රද්ධාවෙන් පිළිගත්ත, ආර්ය
අෂ්ටාංගික මාර්ගය වෙත, මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්තව ඒ ප්‍රතිපදාව වෙත
යොමු වෙන්නට ඕනෙ. එම මාර්ගයට ඔබ ප්‍රවේශ වුවහොත් ඔබට පහසුවක් වෙයි.
අවබෝධය කරා ගමන් කරන්න. දැනට දැනගෙන සිටින ධර්ම කරුණු තේරුම් ගැනීමට
පහසුවක් වෙයි.
ඒ මාර්ගයට ප්‍රවේශ වෙන්නෙ නැතිව බුදුහාමුදුරුවො දේශනා කරපු ඒ උතුම්
වටිනා මා හැඟි දහම් කාරණා තේරුම් ගැනීම පහසු වේවි යැයි, පූර්ණ අවබෝධය
කරා ගමන් කිරීම පහසු වේවි යැයි, විශ්වාස කළ නොහැකියි.
සේවනය කිරීම ඉතාම වැදගත් කාරණයක් නිරන්තරයෙන් සිල්වතුන්, ගුණවතුන්
සේවනය කිරීම, තුණුරුවන් ඇසුරු කිරීම, නිවැරැදිව තිසරණයෙහි පිහිටල ඒ
තිසරණය පිළිබඳව සැක නොකර පිළිගැනීම, ඔබේ අවබෝධය පුළුල් කිරීමට විශාල
උපකාරයක් වෙනවා. තුණුරුවන් සේවනය කරද්දි කරද්දී තමයි ඒ මාර්ගයේ ගමන්
කරන උත්තමයෝ ඇසුරු කරද්දි තමයි අපට තව තවත් ඒ පිළිබඳව අවබෝධය
ඇතිවෙන්නේ. විශේෂයෙන්ම අප ධර්මය සේවනය කරන විට අප බුදුරජාණන් වහන්සේ
සේවනය කළා වෙනවා. ධර්මය සේවනය කරන විට අප මහ රහතන් වහන්සේලා සේවනය කළා
වෙනවා. ධර්මය තුළින් අපට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතයේ හැම
මොහොතකම ධර්මයම සේවනය කරන කෙනෙකුට අවබෝධය කරා ගමන් කිරීම ඉතාමත්
පහසුයි.
බුදුරජාණන් වහන්සේ චන්කී බ්‍රාහ්මණයට දේශනා කරනවා ‘සෝතං ඕධාතී’ හෙවත්
කන් යොමු කිරීම පිළිබඳව අපි කොතරම් ඇහුන්කම් දෙනවද කියන දෙය. ඇහුම්කම්
දෙනව වගේ පෙණුනට අහගෙන ඉන්නෙ නැති අය තමයි වැඩිපුර ප්‍රමාණයක් මේ ලෝකෙ
දකින්න ලැබෙන්නේ. ඒ නිසා ධර්මයේ හඬට එම ශබ්දයේ නාදයට ඔබ කොතරම් දුරට
ඇහුන්කන් දෙනවද කියන එක අවබෝධයේ දී වැදගත් කාරණයකි. ඒ නිසා ඔබට අවබෝධය
වෙත ගමන් කරන්නට අවශ්‍ය යැයි ඔබ සිතනව නම් මූලිකව මේ කරුණු පිළිබඳව
ඔබගේ ගැඹුරු අවධානය යොමුකළ යුතු වෙනවා.
සටහන
හේමමාලා රන්දුනු |