සිල් සුවඳින් නැහැවුණු
බෞද්ධයාගේ කලාගාරය
පන්සලයි
නුවන්ති උදටියාවල
බෞද්ධ කලා නිර්මාණ හුදෙක් කලා නිර්මාණයන්ම පමණක් නොවිණි. මේවා තුළින්
ඉතා ගැඹුරු ජීවිත කරුණු රාශියක් සරලව හා රසවත්ව ඉදිරිපත් කෙරිණ.මේ නිසා
පන්සල් බිම නිතැතින්ම ගැඹුරු
දාර්ශනික අදහස් සමාජයට දායාද කරන
තෝතැන්නක් විය
සුන්දර පරිසරයක් තුළ ජීවිතය ගත කිරීමට ලොකු කුඩා සියලු දෙනාම කැමතිය. ඒ
සුන්දර පරිසරය සැමවිටම අපට සතුට, සැනසීම ගෙන දෙන නිසාවෙනි. මනා
පෞරුෂයක් ගොඩනැගීමේ අධ්‍යාපන ක්‍රියාවලියේ කලාවට, සෞන්දර්යයට හිමිවන්නේ
ඉතා වැදගත් ස්ථානයකි.
බුදුදහම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය මත පදනම් වූද, කිසි
විටෙක සෞන්දර්යවාදි කලාත්මක අදහස් වලට ඉඩකඩ අසුරා නැත සරාගී “සාමිස”
පී‍්‍රතියට වඩා බෞද්ධ දර්ශනය අගය කළේ “විරාගී” නිරාමිස පී‍්‍රතියයි.
රාගයෙන්, ආශාවෙන් ගිනිගෙන දැවෙන සරාගී ලෝකයේ නිරාමිස පී‍්‍රති සුවය
ජනනය කළ හැක්කේ කලා රසිකත්වයෙනි. මානව ශිෂ්ටාචාරයේ ආරම්භක වකවානුවේ
සිටම මානවයා තම දෛනික කටයුතු කළේ කලාවද නිරන්තරයෙන්ම ඊට එක්කර ගනිමිනි.
ගස්, ගල් වලට දේවත්වය ආරෝපණය කරමින් වන්දනාමාන කිරීම, යක්‍ෂයන්
,නාගයින්, ඇදහීම, ආදි මේ සියල්ලෙහිම යම්කිසි කලාත්මක ස්වරූපයක් නැතහොත්
සෞන්දර්යවාදි ගුණයක් ගැබ්ව තිබුණි. නමුත් ප්‍රාග් බෞද්ධ යුගයේ ගස් ගල්
වලට වන්දනාමාන කරමින් සිටි ලාංකීය ජනතාවට සංවිධිත කලාශිල්ප වල ආභාෂය
හිමිවූයේ තෘතීය ධර්ම සංගායනාවෙන් පසුවය. ඒ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන්
වහන්සේගේ අනුශාසනාවන් පරිදි ධර්මාශෝක අධිරාජයා ආරම්භ කළ ධර්ම දූත
මෙහෙවරේ ප්‍රතිඵලයක් ලෙසිනි. අනුබුදු මිහිඳු හිමියන්ගෙන් අනුශාසනා ලැබු
ශ්‍රී ලාංකික වැසියන් බුදුන්, දහම්, සඟුන් සරණ ගිය බෞද්ධයන් බවට
පත්වූවා පමණක් නොව අටළොස් කුලයක ශිල්ප ශ්‍රේණින්ගෙන් සමන්විත වූ කලා
ශිල්ප රාශියකින්ද නෙත් පිනවූ, සිත් සැනසූ උතුම් කලාගාරය බවට පත්වූයේ
ගමේ පන්සලයි.
ගමයි පන්සලයි වැවයි දාගැබයි යන උදාරතම සංකල්පය පෙරදැරි කොටගත් බෞද්ධ
ජනතාව ගමේ පන්සල මුල්කොටගෙන ස්වකීය කලා හැකියාවන් ප්‍රදර්ශනය කළහ. එදා
ගස් ගල් වලට වන්දනාමාන කරමින් සිටි ජනතාව ජය ශ්‍රී මහා බෝධි ශාඛාවේ
දක්‍ෂිණ ශාඛාව ආගමික භක්තියෙන් රෝපණය කොට මහත් භක්තියෙන් බෝධිපූජා
පැවැත්වූවා පමණක් නොව බෝධින් වහන්සේ ආරක්‍ෂා කරමින් බෝධිඝර, ආසනඝර ආදිය
තැනූහ. වාරි තාක්‍ෂණයේ විස්මිත නිර්මාණ කරමින් මහා සමුදුර පරයන මහා
වැව් තැනූ අපේ රජවරු ශාසනාලයෙන් යුක්තව අහස උසට දාගැබ් කරවූයේ කලාත්මක
අදහස් ඒවාට ලබා දෙමිනි. මෙම කලාත්මක ගුණාංග ඒ සඳහා එකතු වූයේ පන්සල
ආශ්‍රයෙන් බුදුදහම මූලික කොට ගනිමිනි. බෞද්ධාගමික ආභාෂය ලැබු කලාකරුවා
දාගැබේ විවිධ අංගවලටද එම අදහස් ආරෝපණය කළේ එනිසාවෙනි. පිළිවෙලින්
දාගැබක අංගවලට මෙලෙස කලාත්මක පරමාර්ථ ගැබ් කිරීමට කලාකරුවා සමත්වීම
තුළින් ඒ බව පසක් වෙයි.
කලාත්මක ලක්‍ෂණ කලාකරුවා තුළින් මතුවූයේ හුදෙක්ම පන්සල මූලික කොටගෙන
නොවේද? මෙවැනි උසස් පරමාර්ථ නිසා කිරි සුදු පාටින් බැබළෙන දාගැබ්
වහන්සේ අපේ මිනිසුන්ගේ හදවත් වල දැවෙන නේක දුක් කම්කටොළු බිඳ දමා
ඔවුන්ගේ දෑත් එක්කර සාධුකාර නංවන්නට තරම් සමත් විණි. පන්සල් භූමිය
තුළින් ඇසෙන නාදය, ඝණ්ඨානාදය සමග එක්වූ සිල් සුවඳ හුදී ජනහදවත් තුළ
පහන් සිතිවිලි උද්දීපනය කළේය. සියොතුන්ගේ කිචි බිචි නාදයෙන් හා
බමරුන්ගේ ගුමු ගුමු නාදයෙන් පිරුණු පන්සල් භූමිය පිහිටි පරිසරය පවා
කලා කෙතක් වෙමින් මිනිසුන් යහ මඟ යැවීමට තරම් සමත්විය.
බෞද්ධ කලා නිර්මාණ හුදෙක් කලා නිර්මාණයන්ම පමණක් නොවිණි. මේවා තුළින්
ඉතා ගැඹුරු ජීවිත කරුණු රාශියක් සරලව හා රසවත්ව ඉදිරිපත් කෙරිණ.මේ නිසා
පන්සල් බිම නිතැතින්ම ගැඹුරු දාර්ශනික අදහස් සමාජයට දායාද කරන
තෝතැන්නක් විය. පිය ගැට පෙළ පාමුල ඇති සඳකඩ පහණ එවැනි සුවිශේෂි කලා
නිර්මාණයකි. මෙහි ඇති සත්ව රූප හතරෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන්නාවු
සතර භයද, ලියවැල් වලින් තෘෂ්ණාවද ගිණි සිළුවෙන් රාග,දේවේෂ ආදි සංසාර
ගින්නද , හංස පේළියෙන් විමුක්තියද පද්මයෙන් විචිත්‍රබවද නිරූපණය වේ
යැයි පිළිගැනේ. එය බැලූ බැල්මට පා පිස්නාවක් ලෙසින් පෙණුනද එමගින් ඉතා
ගැඹුරු දාර්ශනික අදහස් රැසක් සමාජයට දායාද කර දෙන බව විද්වතුන්ගේ මතය
වී හමාරය. පන්සලට ඇතුළුවන පියගැට පෙළ පාමුල සිටම කෙතරම් කලාත්මක දෑ
නැරඹිය හැකිද? උගත හැකිද යන්න මෙමගින් මොනවට පැහැදිලිවේ. සඳකඩ පහණ තම
දෙපතුල මත ගෑවෙද්දීම සංසාරය, පිළිබඳව, තෘෂ්ණාව පිළිබඳව අදහස් බෞද්ධයාගේ
මතකයට ගලා ගෙන ඒමට පටන් ගනී. මේ නිසා එතෙක් හිසමත පටවාගෙන තිබූ තෘෂ්ණාව
මද කට හෝ සිතින් ඉවත් කිරීමට එම පුද්ගලයා උත්සාහ දරයි. සඳකඩපහණ ආදි
උසස් කලා නිර්මාණ මූලික කොටගෙන පසුකාලීනව සාහිත්‍යධරයන් අතින් ගීපද
ලියැවුනේ මේ කලාකාමිත්වය නිසාම විය හැකිය.
පන්සලේ තිබෙන්නාවු කලා නිර්මාණ අතර බුද්ධ ප්‍රතිමා වහන්සේට හිමිවන්නේ
අද්විතීය ස්ථානයකි. ගන්ධාර, මථුරා,අමරාවතී. යන ඉන්දියානු සම්ප්‍රදායන්
ඒ අයුරින්ම පිටපත් නොකොට ඒවා දේශීයත්වය සහිතව නිර්මාණය කිරීමට ලක්දිව
කලාකරුවා තුළ තිබී ඇත්තේ මහඟු කුසලතාවයකි. මහා කළු ගල් කුලකට කටුවෙන්,
මිටියෙන් පන්නරය ලබා දෙමින් ජීවමානව මෙන් නෙළන්නා වූ බුදු රුව තුළින්
බුදුරජාණන් වහන්සේගේ සමාධි ගුණය, මහා කරුණා ගුණය වැනි උතුම් භාව
ප්‍රකාශන ඉස්මතු කිරීමට තරම් සමත් වී ඇත. දුටු පමණින් කුඩා දරුවකුගේ
වුවද සිතේ ඇඳෙන බුද්ධ ප්‍රතිමාවේ නෙත් සඟළ, හිසකෙස්, සිවුර මේ සෑම
අංගයකම කලාත්මක ලක්ෂණ පිරී ඇත. සන්සුන් ලීලාවෙන් වැඩසිටින බුදු පිළිම
වහන්සේ දෙස බලා සිටින ඕනෑම අයෙකුගේ සිත නිවී පහන් වන්නේ මේ නිසාවෙනි.
සිරිලක සිව්දිග විසිරී පවතින්නාවූ කැටයම් කලාව පෝෂණය වූයේද පන්සල මූලික
කොට ගෙන බව නොරහසකි. බුදුසමය සමඟ ඇරඹුණු කැටයම් කලාව භික්‍ෂූන්
වහන්සේලා සඳහා ඉදිකළ විහාරාරාම, ස්තූප පොහොය ගෙය හා බුද්ධ මන්දිර වැනි
පූජනීය නිර්මාණ අලංකරණය පිණිස යොදවන ලදී. ස්තූප වටා ඇති ගල් කුලුනු
ආදියේ ඉතා පියකරු කැටයම්, ලියකම් ආදියේ ජාතක කතා හා බුදුසිරිතේ සිද්ධි
දක්නට ලැබේ. මීට අමතරව හෙල චිත්‍රකලාව දියුණු වූයේද බෞද්ධ ආගම නැතහොත්
පන්සල මූලික කොට ගෙනය. බුදු සිරිතේ විවිධ සිද්ධි හා පන්සිය පනස් ජාතක
පොතේ කතා බහුල වශයෙන් මේ චිත්‍රවලින් නිරූපිතය. විශේෂයෙන්ම මෙරට චිත්‍ර
කලාව ඉන්දියාවේ අජන්තා බිතු සිතුවම් වල ආභාෂය ලැබූ හෙයින් එය බෞද්ධ
සංස්කෘතික ආභාෂය ලබා ඇති බව සැලකිය හැකිය.
බෞද්ධ ආරාම ඇසුරෙන් වැඩුණු සංගීත හා නාට්‍ය කලාව අපේ ප්‍රධාන කලා
සම්ප්‍රදායන් විය. ඒවා ආරක්‍ෂා වූයේ බෞද්ධ උත්සව ඔස්සේය. උඩරට පහතරට හා
සබරගමු නමැති නර්තන සම්ප්‍රදායෙන් එදා මෙදා තුර බෞද්ධ පෙරහර වලට උත්සව
වලට සම්බන්ධ විණි.
මහින්දාගමනය මෙරට සිංහල සංස්කෘතියේ විශාල පරිවර්තනයක් සිදුකළේ ගෘහ
නිර්මාණ, චිත්‍ර, මූර්ති කැටයම් යන මෙකී කලාශිල්ප වල පමණක් නොව, උසස්
සාහිත්‍යක් හඳුන්වා දෙමින් මානව චින්තනය තුළ නව අදහස් හා ආකල්ප ඇති
කිරීමට සමත්විය. මේ නිසා ගමේ පන්සල ගමේ විද්‍යාපීඨය බවටද පත්විය. සියලු
අධ්‍යාපන කටයුතුවල කේන්ද්‍රස්ථානය වූයේ බෞද්ධ ආරාමයයි. ‘පිරිවෙන’
යනුවෙන් මුලින් භාවිත වූයේ භික්‍ෂූන් වහන්සේ එක් රැස්ව ධර්මය දේශනා කල
කාමරයකටය. පසුකාලීන එය ගිහි පැවිදි භේදයකින් තොරව මෙරට ජනතාවගේ
අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත්විය. බුදුදහම ඉගෙනීමෙන් හා ඉගැන්වීමෙන්
ඇරඹුණු බෞද්ධ අධ්‍යාපන ක්‍රමය අනුරාධපුර යුගයේදීම ආරම්භ වුණු බවට
ඓතිහාසික සාක්‍ෂි හමුවී ඇත. මුල් කාලයේදී ත්‍රිපිටකය මූලික කොට ගනිමින්
ලක්දිව ඇරඹුණු අධ්‍යාපන ක්‍රමය අනුරපුර පොළොන්නරු යුගයන්හිදි සාර්ථක
ව්‍යාප්තියක් ඇතිවිය. පසුකාලීනව සාහිත්‍ය ක්ෂේත්‍රයේ දස්කම් පාමින් ඉතා
වටිනා සංදේශ කාව්‍ය, ආදි උසස් නිර්මාණ සාහිත්‍ය කෙත අස්වැද්දුවේද බෞද්ධ
ආරාම, බොදු පරිසරය මූලික කොට ගෙනය. ශ්‍රී ලාංකික ජනතාවට බුදු සමයෙන්
උරුමකර දී තිබූ ශික්‍ෂණයේ හා සංස්කෘතියේ ප්‍රබලත්වය බටහිර ජාතින්
පැමිණි අවස්ථාවෙහි ඔවුන්ගේ විස්මයට හේතුවූයේ මෙවන් දෑ නිසා විය යුතුය.
බෙහෙවින්ම සරල විශ්වාස හා ඇදහිලි පැවති සමාජයක ජනතාවට ඊට වඩා ගැඹුරු
දාර්ශනික අදහස් ඇති තෙරුවන් සරණයාම හඳුන්වා දීමෙන් එය ලාංකික ජන ජීවිත
වෙනස් කිරීමට සමත්විය. බුත්සරණ, අමාවතුර වැනිධර්ම ශාස්ත්‍රිය ග්‍රන්ථ
සමාජයට දායාද වෙමින් සාහිත්‍ය ක්ෂේත්‍රයේ නොමද පහස ලැබීමට මෙරට
කලාකරුවන්ට හැකියාව ලැබිණ.
ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ලැබුණේ මහඟු ගෞරවයකි. ගමේ ජනතාව යහමඟ
යවමින්, නොදත් දේ පැහැදිලි කරමින් පංචශීලයෙන් ශිෂ්ට පරපුරක් බිහිකිරීමේ
වගකීම උන්වහන්සේලා සතුවිය. මේ නිසා අකුරු ඉගෙන ගැනීමට පන්සල වෙත පියනගන
දරුවා තුළ මනා හික්මීම, සංවරය ගුණගරුක බව නිතැතින්ම දියුණු විණි.
භික්‍ෂු ජීවිතය බෙහෙවින් චාම්ය. සරලය. එම භික්‍ෂූන් වහන්සේලා රටේ
පාලකයන්ටත් පොදු මහජනතාවටත් එම ගුණ ප්‍රකාශ කළේ ආදර්ශයෙනි. මේ සියල්ල
එකට කැටිවී ලාංකිකයන්ගේ චාම් සරල දිවි පැවැත්ම තුළින් මූර්තිමත්
විය.බෞද්ධ ජනතාවගේ ඇඳුම්, පැළඳුම් උත්සව, සැරසිලි විවාහ උත්සව,අවමංගල
ආදි සියලු ක්‍රියාවන් තුළම මෙම චාම් ලක්‍ෂණ දැක ගත හැකි විය. නිකරුණේ
ධනය වියදම් නොකිරීමත් කාලය නිරපරාදේ වැය නොකිරීමත් ශශ්‍රී ලාංකික
බෞද්ධයා පුරුදු වූයේ බුදුසමයේ ආභාෂය නිසාය. මේ සියල්ලට මුල් වූයේ
පන්සලයි. මේ නිසා එදා මෙදා තුර බෞද්ධයාගේ සිත නිවන කලා කෙත වූයේ
පන්සලයි.
සිල් සුවඳින් නැහැවුණු, සැනසුම් මඟක කේන්ද්‍රස්ථානය වූ පන්සල එදා මෙදා
තුර බෞද්ධයාගේ සැනසුම් මාර්ගයම විය. |