ඇසළ අව අටවවක 2012 ජූලි 11
වැනිදා
අගයමු
මිනිසත්කම සදා ඔපවත් කරන අගනා ආභරණය නම් ගුණවත්කමය. ගුණබර
ජීවිතය හැමදාමත් තමාට පමණක් නොව සමාජයට ද සිදු කරනුයේ මහ
මෙහෙවරකි.
ගුණවත්කමේ නිවසක උල්පත තම තමන්ගේ මව්පියවරු ය. දෙවියන්,
දෙවඟනන් වැනි මව්පියවරු වෙසෙන අපේ සමාජයේ ඒ ආදර්ශමත්
මව්පියවරුන්ගේ දරුවන්ද සමාජයට අප්‍රමාණ සුවයක් සලසයි.
මව්පියවරුන්ට මෙලොව ඇති වටිනාම වස්තුව ස්වකීය දරුවන් වේ. ඒ
දරුවන් හදා වඩා ඇති දැඩි කර පෝෂණය කිරීමට මව්පියවරු නොගන්නා
උත්සාහයක් නැත.
කවර තරමේ බාධක පැමිණිය ද තම දරුවන් කායිකව පෝෂණය කිරීමට පමණක්
නොව දැනුමෙන් පෝෂණය කිරීමට ද අප්‍රමාණ වූ වෙහෙසක් දරන බව
ප්‍රකට කරුණකි.
එහෙත් ඇතැම් මව්පියවරු විටෙක අමතක කරන කරුණක් ද ඇත. එය දැන හෝ
නොදැන එසේ සිදුවීමට ද ඉඩ ඇත.
දරුවන් කොතෙක් පෝෂණය කළ ද, දැනුමෙන් දියුණු කළ ද ඇතැම්
මව්පියවරු තම දරුවන් ගුණ දහමෙන් පෝෂණය කිරීමට එතරම් උනන්දුවක්
නො දක්වන බවක් ද දක්නට ලැබේ.
දරුවා හදා වඩා පෝෂණය කිරීම මෙන්ම ඒ දරුවාට අදාළ නිසි රැකවරණය ද
සැලසිය යුත්තේ ආදරණීය මව්පියවරුන්ම ය.
එසේ සිදු කරන ගමන් තම දරුවා හැකිතාක් ගුණ දහමෙන් පෝෂණය කිරීමට
ද අමතක නො කළ යුතුමය. ඒ දරුවන් ගුණ දහමෙන් පෝෂණය කළ යුත්තේ
කුඩා කල සිටම ය.
ඉඩ ලද හැම විට තම දරුවන්ද සමඟ මව්පියවරු ගමේ පන්සලට යා යුතු ය.
පන්සලේ දී වැඳුම් පිදුම් කිරීමට තම දරුවා පෙළඹවිය යුතුමය.
පන්සලේ හාමුදුරුවන්ගේ ඇසුර ලබාදෙමින් තම දරුවන් වෙත ශික්‍ෂණය
ඇති කිරීමට උනන්දු විය යුතු ය. සීලයෙන් ගුණයෙන්, දැනුමෙන්
ආදර්ශවත්ව වැඩ වසන පන්සලේ හාමුදුරුවෝ හැම විට හැම දෙනාටම
කාරුණිකය.
ගමටම ගුණ දහම් කියා දෙන ගුණ දහම් බෙදා දෙන ගමේ පන්සලේ දහම්
පාසලෙන් නිහඬව කියා දෙන ආදර්ශය පත පොතේ නොතිබිය හැකි ය. එය මිල
මුදලකට සම කළ නොහැකි ය. අවම වශයෙන් තම දරුවා උදේ සවස තෙරුවන්
නැමඳ මව්පිය වැඩිහිටියන්ට වැන්දවීමට කටයුතු කළ යුතු ය. කුඩා
දරුවන් කාලයාගේ ඇවෑමෙන් තුරුණු වියට පත්වන විට ඔවුන් තුළ
සංයමය, වර්ධනය කළ යුතු වේ.
සමාජයේ සම වයසේ තුරුණු වියේ අනෙකුත් දරුවන් තම සොයුරු
සොයුරියන් සේ සැලකීමට ඔවුන් පුරුදු කළ යුත්තේ දරුවන් කුඩා කල
සිටමය. ගුරු දෙගුරුන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද සැලකීමට
පුරුදු කළ යුත්තේ දරුවා කුඩා කල සිටමය.
තම දූ පුතුන් වෙනුවෙන් කෙතරම් ධනය එක් රැස් කර තැබුවද තම
දරුවන් දැනුමෙන් පමණක් නොව ගුණයෙන් ද පෝෂණය නොකළහොත් ඒ දරුවන්ට
ධනයෙන් ද නිසි ප්‍රයෝජන ගත නොහැකිවනු ඇත.
දරුවන් හැදූ වැඩූ මව්පියවරු දරුවන් නිසා දුක් ගැහැට විඳින්නේ
නම් සැබවින්ම ඊට වගකිව යුත්තේ අන් කවරෙකුවත් නොව එවන් දරුවන්
තැනූ මව්පියවරුන්ම ය.
එබැවින් සුචරිතය අගයන මව්පියවරු බුද්ධිමත්ව සිතා කටයුතු කළ
යුත්තේ තම දරුවන් සුමගට යොමු කිරීමටය. එවිට තම දරුවා පමණක් නොව
සමාජයම සුචරිතයට යොමු වීම වැළැක්විය නොහැකි ය. |