UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිපිටකාගත සූත්‍ර ධර්ම

සත්වයා සසරේ ඉපදෙමින්, මැරෙමින් පැමිණි වාර ගණන නොගිණිය හැකි අතිදීර්ඝ වූවක් බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැක්කේ අනමතග්ග ධර්ම දේශනාවට සවන්දීමෙනි. ජීවිතාබෝධය නොලත් පුහුදුන් පුද්ගලයන් සසරේ ඉපදෙමින්, මැරෙමින් කාලය නිකරුණේ විනාශ කරගනිමින්, ගමන්ගත් බව මේ සූත්‍ර 20 න්ම අවධාරණය කෙරේ. මේ සූත්‍රයට අනුව සත්ත්වයාගේ ආරම්භය සෙවිය නොහැකිය. මේ භවයේ දී අපට මවක, පියෙකු, සහෝදරයෙකු සහෝදරියක නොවූ කෙනෙකු නොමැත. මානව හිතවාදයද, ජීවභක්තිවාදය ද ලෝකයා තුළ ඇතිවිය යුතු බැවින් බුදුදහම වැළඳ ගැනීමෙන් අනතුරුව කෙමෙන් කෙමෙන් එම ගැඹුරු සංකල්පනාව කෙරෙහි යොමුවිය යුතු බව මෙහි අවධාරණය කෙරේ

මහින්දාගමනය සිදුවී සිවුවන දිනයේ දී දේවානම්පියතිස්ස මහ රජතුමාගේ මඟුල් ඇත්හල පිරිසුදු කරවා, එහි උඩුවියන් බැඳ මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ දේවදූත සූත්‍රයයි. එය මජ්ඣිම නිකායේ තෘතීය භාගයේ උපරිපණ්ණාසකයේ සුඤ්ඤත වර්ගයේ 10 වන සූත්‍රයයි. මේ සූත්‍රධර්ම දේශනාව බුදු සමය වැළඳගත් ලංකාවාසීන්ට දහම් මඟ වඩාත් පැහැදිලි කර දීමට අතිශයින්ම ඉවහල් වූවකි.

දේවදූත සූත්‍රය

දේවදූත සූත්‍රයෙන් කුසාලකුශලකර්ම පිළිබඳවත්, ඒවායේ කර්ම විපාක පිළිබඳවත්, පවුකරන්නාට මතුවට සිදුවන නිරාදුක් පිළිබඳවත්, විග්‍රහ කෙරේ. මේ සූත්‍රය මගින් පවෙහි විපාක දක්වා, එහි බිය උපදවා, රටවැසියා පාපයෙන් වළක්වා ගැනීම අපේක්‍ෂිත අරමුණ වේ.

බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ භික්ෂූන් අමතා කළ ධර්ම දේශනාවකි. බුදුරදුන්ට දිවැස් ඇති නිසා චුතවන, උපදින, කම් වූ පරිදි මිය යන, සත්ත්වයන් දක්නා බවත්, කාය, වාග්, මනෝ, දුශ්චරිතයෙන් යුතු පුද්ගලයන් මරණින්මතු නරක, තිරිසන්, පේ‍්‍රත ලෝකවල උපදින බවත්,දේශනා කර නිරයට පැමිණෙන පුද්ගලයන් යමරජතුමා

1. උඩුකුරුව සයනය කරන ළදරුවා
2. මහලු වී දුක්විඳින පුද්ගලයා
3. රෝගාබාධ වැළඳී මළ මුත්‍රවැකී අප්‍රමාණ දුක් විඳින්නා.
4. රාජ අපරාධ සිදුකර දෙතිස් වධ විඳින්නා.
5. මිය ගොස් දින දෙකක්, තුන්ක ඉකුත් වු ඉදිමී නිල්ව සැරව වහනය වන මළ සිරුර

යන දේවදූතයන් පස්දෙනා දැක, ඒවායින් වැළකීම සඳහා තිදොරින් කුසල් නොකිරීමේ වරදට,පුද්ගලයාම වගකිව යුතු බව පවසා ඔහුට අපාදුක් පමුණුවන ආකාරය විස්තර වේ.

මේ අනුව දේවදූත සූත්‍රයෙන් යම රජු හා අපාය පිළිබඳ විස්තරයෙන් ජනතාව පිනට දහමට පොළඹවයි. පවෙහි ආදීනව පවසා ඒ කෙරෙහි බිය ජනිත කර ලක්වැසියා පවින් වැළැක්වීම අරමුණු කරගෙන තිබේ.

බාල පණ්ඩිත සූත්‍රය

මෙරට ධර්ම ප්‍රචාරයේ යෙදුණූ මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළ හත්වන සූත්‍රය වශයෙන් හැඳින ගත හැක්කේ මජ්ඣිම නිකායේ තෘතීය භාගයේ 9 වන සූත්‍රයවූ බාලපණ්ඩිත සූත්‍රයයි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මේ සූත්‍රය දේශනා කරන ලද්දේ නන්දන උයනේදී රාජකීයයන් ඇතුළු සාමාන්‍ය ජනතාවටය.

මේ සූත්‍ර ධර්මයෙන් සත්පුරුෂයාගේ හා අසත් පුරුෂයාගේ ගති ලක්ෂණ මැනවින් පැහැදිලි කෙරේ. සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ඔවුන් තුළ ඇති උතුම් ගුණ තමා තුළ ඇතිකර ගැනීමෙන් මෙලොවත් පරලොවත් අපමණ සැප සම්පත් විඳිය හැකි බව දක්වා තිබේ.අසත්පුරුෂයා සිතෙන් තැවෙන ආකාරය, සැකයෙන් ජීවත්වන අකාරය, මෙහි මනෝ විද්‍යානුකූල වටිනාකමකින් යුතුව විස්තර කරයි. බාල පණ්ඩිත සූත්‍රය ද අපාය සිහිපත් කොට පුද්ගලයා කුසලයට නැඹුරු කරවන්නකි. බොහෝ වැදගත් ධර්ම කාරණා රාශියක් මෙහි අන්තර්ගත වේ.

අනමතග්ග සංයුත්ත දේශනාව

මහින්දාගමනයෙන් සිවුවන දිනයේ දී මිහිඳු හිමි දෙවනපෑතිස් නිරිඳුන්ගේ රජ මැඳුරින් දන් වළදා නඳුන් උයනේ දී දේශනා කළේ “අනමතග්ග සංයුත්ත” දේශනාවයි. එය සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ තුන්වන කොටස වේ. අනමතග්ගසංයුත්තය තිණකට්ඨ වර්ගය, දුග්ගත වර්ගය යන ප්‍රධාන බෙදීම් දෙක යටතේ සූත්‍රධර්ම 20 කින් සමන්විත වේ.

සත්වයා සසරේ ඉපදෙමින්, මැරෙමින් පැමිණි වාර ගණන නොගිණිය හැකි අතිදීර්ඝ වූවක් බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැක්කේ අනමතග්ග ධර්ම දේශනාවට සවන්දීමෙනි. ජීවිතාබෝධය නොලත් පුහුදුන් පුද්ගලයන් සසරේ ඉපදෙමින්, මැරෙමින් කාලය නිකරුණේ විනාශ කරගනිමින්, ගමන්ගත් බව මේ සූත්‍ර 20 න්ම අවධාරණය කෙරේ. මේ සූත්‍රයට අනුව සත්ත්වයාගේ ආරම්භය සෙවිය නොහැකිය. මේ භවයේ දී අපට මවක, පියෙකු, සහෝදරයෙකු සහෝදරියක නොවූ කෙනෙකු නොමැත. මානව හිතවාදයද,ජීවභක්තිවාදය ද ලෝකයා තුළ ඇතිවිය යුතු බැවින් බුදුදහම වැළඳ ගැනීමෙන් අනතුරුව කෙමෙන් කෙමෙන් එම ගැඹුරු සංකල්පනාව කෙරෙහි යොමුවිය යුතු බව මෙහි අවධාරණය කෙරේ. මෙහි එන තිණකට්ඨ, පඨවි, අස්සු, මාතුමඤ්ඤ ,පබ්බත ආදි සුත්‍ර ඇසුරින් සසරේ යථා ස්වභාවය අවධාරණය වන බැවින් එය ලංකාවාසීන්ට බුදු දහම වැළඳගෙන කෙමෙන් කෙමෙන් බුදු දහම ගැඹූරින් සලකා බැලීම සඳහා සුදුසු සූත්‍ර දේශනයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ තෝරාගෙන තිබේ.

අග්ගික්ඛන්ධෝපම සූත්‍රය

සුපිරිසුදු සිල්වත් පැවිදි ජීවිතයක අගය කියාපාන අංගුත්තර නිකායේ සත්ත නිපාතයේ එන අග්ගික්ඛන්ධෝපම සූත්‍රය මිහිඳු හිමි නන්දන උයනේ දී දේශනා කළ බව වංසකථාවේ සඳහන් වෙයි. ‘අග්ගිඛන්ධෝපම “ යනු “ මහාගිනිජාලාවක් උපමා වශයෙන් ගත් යන අර්ථයයි. ඒ අනුව මහ ලැව් ගිනි කඳක් සංකේතවත් කරගනිමින් බුදුරදුන් භික්ෂූන් වහන්සේලාට පෙන්වා වදාළේ පංචකාමයේ ඇලී ගැලී වාසය කිරීම මරණින් මතු අපායගාමී වීමට හේතුවන බවයි. පංචකාමයේ සංකේතය වන් සුරූපි ස්ත්‍රියක වැළඳ ගැනීමත් ලැව්ගින්නකින් දැවී යාමත් යන කරුණු දෙකෙන් වඩාත් සැපවත් වන්නේ ලැවුගින්නෙන් පිළිස්සී මිය යාම බව මෙහි ධර්ම න්‍යායකින් තර්කානුකූලව පෙන්වා දී ඇත. එසේම පසිඳුරන් පිනවමින් අකැප අයුරින් පැවිදි දිවිය ගත කරමින් සිවුපසය පරිභෝජනය කිරීම නිසා නිම කළ නොහැකි අකුසලයක් සිදුවන බවද පැහැදිලි කරලීම මේ සූත්‍රයේ මුූලික අරමුණ වේ.

ලක්දිව බුදු සමය ව්‍යාප්ත වත්ම ලාංකික කුල පුත්‍රයන් වඩ වඩාත් පැවිදි වු බැවින් උන්වහන්සේලාගේ සිල්වත් චරිතාපදානයන්ට ඉවහල් වන සූත්‍ර දේශනාවක් වශයෙන් අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කළ බව පැහැදිලි වේ.

ආසිවිසෝපම සූත්‍රය

අපූරු සංකේතාත්මක උපමා කථා පුවතක් ඇසුරින් නිවන් මග පහදාලන ආසිවිසෝපම සූත්‍රය මහින්දාගමනයෙන් තුන්වන දින මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුරාධපුර නඳුන් වනයේදී දේශනා කරන ලද්දකි. මේ සූත්‍රය සංයුත්ත නිකායේ මාතුගාම සංයුත්තයේ ආසිවිස වර්ගයේ ඇතුළත් මුල්ම සූත්‍ර දේශනාවයි. මෙහි ප්‍රකාශ වන ප්‍රධාන අදහස පංචස්ඛන්ධයේ අනිත්‍යතාව හා අෂ්ඨාර්ය පුද්ගලයාගේ විශේෂ විභාග ආදියයි.

ආසිවිසෝපම යනු සර්ප විෂ යන්නයි. සතර සමහා භූතයන් නමැති නයින් සතර දෙනාගේ ග්‍රහණයට හසුවූ පෘථග්ජන සත්ත්වයා ඉන් මිදී නිවන සාක්ෂාත් කරගන්නා ආකාරය මෙහි අපූරු කථා පුවතක් මගින් සංකේතාත්මකව පැහැදිලි කර තිබේ. බුදු දහමේ ගැඹුරු හරය විවරණය කෙරෙන මේ සූත්‍රයේ පූර්වකර්ම,අනවරාග්‍ර සසර, සසර සරන පුහුදනා, සරත මහාභූ®ත, පංචඋපාදානස්ඛන්ධ, තෘෂ්ණාව ෂඩ් ආයතන, කාම, භව, දිට්ඨි, අවිජ්ජා, ආදි අකුසල, නාමරූප, ආර්ය අෂ්ටාංගික මාර්ගය හා නිර්වාණය යන කරුණූ සංකේතාත්මක ලෙස ඉදිරිපත් කර ඇත්තේ කෙළවර නිවනට ළඟා වන ආකාරය ද විවරණය කරවමිනි. මේ සූත්‍ර ධර්මය මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුත් විශිෂ්ට දර්ශනයක් ඉස්මතුකරන්නකි.

ඛජ්ජනීයක සූත්‍රය

මහින්දාගමනයෙන් පස්වන දිනයේ දී දේවානම්පියතිස්ස රජ මාලිගාවෙන් දන් වැළදු මිහිඳු සමිඳු නන්දන උයනේදී “ඛජ්ජනීයක සූත්‍රය දේශනා කළ බව මහාවංසයේ 15 වන පරිච්ඡේදයේ 214 වන ගාථාවේ දැක්වේ. මේ සූත්‍රය සංයුක්ත නිකායේ “ඛජ්ජනීය” වර්ගයේ ඇතුළත් දේශනාවකි. මෙයින් රූප,වේදනා, සංඥා සංස්කාර හා විඤ්ඤාණ යන පංච උපාදානස්ඛන්ධයේ යථා ස්වරූපය කදිමට විවරණය වෙයි. පංච උපාදානස්ඛන්ධය පිළිබඳ යථා තත්ත්වය ප්‍රත්‍යවේක්ෂා කරගෙන මාර්ගඵල ලාභී තත්ත්වයට පත්විය හැකි ආකාරය මෙහි ඉතා රමණීය ආකාරයට විවරණය වෙයි.මේ වන විට ලක්වැසියා සදහම් ශ්‍රවණය කර නුවණ මුහුකුරා ගිය තත්ත්වයකට පත්ව සිටි බැවින් නිවන් මඟ විවරණය වන මේ සූත්‍රය දේශනා කිරීමට තෝරාගෙන තිබේ.

ගෝමය පිණ්ඩුපම සූත්‍රය

පුද්ගලයාගේ විනාශයට හේතුභූ®ත වී ඇති පංච උපාදානස්ඛන්ධය ගොමපිඩක් පමණකටවත් ආත්ම භාවයක් නැතැයි යන්න විවරණය කෙරෙන ගෝමය පිණ්ඩුපම සූත්‍රය මහින්දාගමනයෙන් හයවන දින මිහිඳු මහරහතන් වහන්සේ විසින් නන්දන උයනේදී දේශනා කෙරිණි. මේ සූත්‍රය ද සංයුත්ත නිකායේ පුප්ප වර්ගයේ ඇතුළත් වූවකි.

පංච උපාදානස්ඛන්ධයේ අස්ථිරභාවය බුදුරදුන් පෙර ආත්මභාවවල දී එහි නොඇලී කටයුතු කළ ආකාරය, මෙහි මැනවින් විවරණය කෙරේ.

ධම්මචක්කප්පවත්තන සූත්‍රය

මහින්දාගමනයෙන් හත්වන දින නදුන් උයනේ දී රටේ මහ රජතුමා ප්‍රමුඛ පිරිසට දේශනා කළ සුත්‍ර ධර්මය ධම්මචක්ක පවත්තන සූත්‍රයයි. මෙහි විවරණය වන්නේ කිසිදු අන්තයකට නොවැටී මැදුම් පිළිවෙත අනුගමනය කිරීමෙන් නිවන සාක්ෂාත් කරගන්නා ආකාරයයි. මුළුබුදු දහමේ සාරය අන්තර්ගත මේ සූත්‍ර ධර්මය ද නිර්වාණ මාර්ගය විවරණය කරන්නකි. අන්ත දෙකමැදුම් පිළිවෙත චතුරාර්ය සත්‍යය තිපරිවට්ට හා ද්වාදශාකාරය මෙහි මැනවින් විවරණයවේ.

වස්සූපනායිකක්ඛන්ධය

(භික්ෂුවගේ වැසි කල වාසය පිළිබඳ කරුණූ පවසන)වස්සූපනායිකක්ඛන්ධය

මහින්දාගමනයෙන් පසුව එළඹි ඇසළ මස අව පක්ෂයේ 13 වන දා දේවානම්පියතිස්ස නිරිඳුන්ට මිහිඳු මාහිමියන් වහන්සේ විසින් මහා අප්පමාද සූත්‍රය දේශනා කරනලද බව මහාවංසයේ 16 වන පරිච්ඡේදයේ එයි. එම සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන්නේ කුසල් දහම් වැඩීම නිසා අප්‍රමාදව නිවනට යොමුවන ආකාරයයි.

මෙරට බුදු සමය ස්ථාපිත වීමෙන් අනතුරුව සඟ සසුන මැනවින් ස්ථාපිත වීය. එම භික්ෂූන් වහන්සේලාගේ වර්ෂා කාලයේ දිවි පැවැත්ම විවරණය කෙරෙන වස්සුපනායික් ඛන්ධය, අනුරාධපුර සෑගිරියේ නාගචතුෂ්ක නම් ස්ථානයට වස් වැසීම පිණිස වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සඟරුවන වස්වැසීමේ ශාසනික චාරිත්‍රය ලංකාවාසීන්ට පැහැදිලි කරදීමේ අරමුණින් මෙම සූත්‍ර දේශනාව සිදුකළ බව පැහැදිලිවේ.

මහින්දාගමනය සිදුවු මුල් දින කිහිපය තුළ ඒ අයුරින් ශි‍්‍ර ලංකාව බෞද්ධ රාජ්‍යයක් බවට පත්කර ලීම උදෙසා දේශනාකළ සම්බුදුදහමනිසා ශ්‍රී ලංකාවාසී ජනතාව තුළ ඤාණාලෝකය පහළ වීය. එය නිසාම හෙළ දැයට පණ පෙවිනි. වෙනත් රටකට නොමැති සවිමත් පදනමක් එමඟින් අපට සැලසිණි.

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා පූර්වභාග 03.49 ට ලබයි. 12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]