UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොළොන්නරුවේ ඇති තිවංක පිළිම ගෙය පළමුවෙනි පරාක්‍රමබාහු නොහොත් මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි.

තිවංක යන්නෙන් අදහස් වන්නේ නැමි තුනකින් යුතු යන්නය. එසේ තිවංක පිළිමය යනු නැමි තුනක් සහිත බුද්ධ ප්‍රතිමාව ය. එම ප්‍රතිමාව ඇත්තේ මෙම තිවංක පිළිම ගෙය තුළ ය. මෙය ජේතවනාරාම ප්‍රතිමා ගෘහය වශයෙන්ද හඳුන්වනු ලබයි.

ගඩොලින් සහ හුණූ බදාමයෙන් නිමවා ඇති තිවංක පිළිම ගෘහයේ දිග අඩි 133 ක් ද පළල අඩි 68 ක් පමණ ද වෙයි. ප්‍රතිමා ගෘහයේ පිට පැත්තේ හුණු බදාමයෙන් නිර්මාණය කර ඇති සිංහ රූප කීපයක් ද ඊට ඉහලින් ගණ හෙවත් වාමන රූප පේලියක් ද දක්නට ලැබේ. ගොඩනැගිල්ල පිටුපස හුණු බදාමයෙන් නිර්මාණය කළ වාමන රූප පෙළ ලීස්තරයක් ආකාරයට සදා තිබේ.

දැනට ප්‍රතිමාව බිඳ වැටී ඇත. සිරස් පතෙ හි උස අඩි 7.9 ක් පමණ වෙයි. ආසනය සමග එහි උස අඩි 8.8 කි. ආරම්භයේ දි ප්‍රතිමා ගෘහයේ බිත්ති අඩි 7 ක ඝනකමකින් හෝ බාහිර පදනම් මට්ටමින් අඩි 12 ක් පමණ ඝනකමින් යුක්ත විය.

මේ අනුව අභ්‍යන්තර බිම් ප්‍රමාණය වර්ග අඩි 44 ක් වූ අතර පසුකාලීනව එය අඩි 22.6 ක් පමණ ප්‍රමාණයකට අඩු වී ඇත.

අති විශාල කුළුණු සහ පූජ්‍යස්ථානයෙහි කුඩා විමාන සමගින් මෙම ගොඩනැගිල්ලේ පහළ කොටස තුළ අවශ්‍යතාවයට වඩා අලංකාර කොට තිබීම නිසා නරඹන්නන්ගේ නෙතට එය බාධාවක් වී ඇති බව ‘පොළොන්නරුව මධ්‍යකාලීන ලක්දිව අග නගරය’ නම් කෘතියෙහිදී මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පවසයි. මෙහි බාහිර අලංකාරයන්හි ද්‍රවිඩ බලපෑම පැහැදිලිය. එහෙත් චූලවංශය මෙම ප්‍රතිමා ගෘහය ගැන මෙසේ සඳහන් කර තිබේ. “උළුකම් හා සුණුවමින් නිපදවන ලද්දා වූ නේත්‍ර රසායනය දක්වා තිවංක ප්‍රතිමා ස්වාමීන් වහන්සේ සඳහා ප්‍රතිමා ගෘහයක් ද සිහ, කිඳුරු, ආදී රූ පෙළින් බබළන්නා වු නානා දැල්කවුලු වලින් හා බොහෝ පිළිකඩින් ද සිත්කළු වූ ටැම් බිතු ආදියෙන් ද”......වශයෙන් ය. එහෙත් තිවංක ඝරය මගින් එකල චිත්‍ර කලාව උසස් මට්ටමක පැවති බව තීරණය කළ හැකි බව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සඳහන් කර තිබේ. ඔහු තවදුරටත් මෙසේ පවසයි. “ශෛලීය, සැකසුම සහ කාලනිර්ණය අනුව මෙම චිත්‍ර අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය. පොළොන්නරු චිත්‍ර කලාව සුවිශේෂී ය. සම්භාව්‍යය ස්වරූපයෙන් අද්විතීය ය.ප්‍රකාශන ගුණයෙන් ඒවා දැකුම්කළුය. රේඛා කර්මය ප්‍රකාශන ගුණයෙන් යුක්ත වන අතර වර්ණ සඳහා රතු,කහ,සහ කොළ යන පැහැයන් යොදා ගෙන ඇත.”

ඇත්තෙන්ම තිවංක පිළිමය නම් අපූරු නිර්මාණයේ මෙන්ම පොළොන්නරු යුගයේ සිතුවම් කලාවේ සුවිශේෂිතා හඳුනා ගැනීමට නම් තවමත් ශේෂ වී ඇති මෙම නිර්මාණයන්, සෞන්දර්ය හඳුනන නෙතට ශේෂ පත්‍රයක් හෝ ඉතිරි කර ඇත. මහා පරාසයක් තුළ නිදහසේ නිර්මාණයන් කළ හැකි තාක්‍ෂණික පහසුකමින් අනූන වර්තමානයේ බොහෝ බිතු සිතුවම් ශිල්පීන්ට එදා නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයට අභියෝග කිරීමට තවමත් හැකියාවක් ලැබී නොමැත.

මුදල මතම ජීවිත ද මිල කිරීමට සිදුව ඇති දිනෙන් දින අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිහෙන ධන නිධාන හාරමින් ඉතිහාස මකන මිනිසුන් සිටින සමාජයක ව්‍යාකූල මනසින් ඇෙඳනා සිතුවමක ආත්ම ප්‍රකාශන පිළිබඳ හෙට යමක් පැවසීමට අද දෙයක් ඉතිරි වේවි ද?

ඉතිහාසය, සභ්‍යත්වය අගයන මිනිසුනේ! අද අපට ඉතිරි වී ඇත්තේ කෙටි උත්තරයක් වත් සැපයීමට අසමත් දැවැන්ත ප්‍රශ්න පත්‍රයකි.

 

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk