UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 රළු වදනින් මෘදු වදනට

මුසාවාදය පිළිබඳව අපි පසු ගිය කලාප දෙකකදී සාකච්ඡා කළෙමු. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේත් වචනය සම්බන්ධ වැදගත් කරුණක් ගැනමය. එනම් ඵරුස වචනය හෙවත් රළු වචනය පිළිබඳවයි. මීට අදාළ වන සූත්‍ර දේශනාව වන්නේ ‘ඵරුසවාචා සූත්‍රයයි’ මේ සූත්‍රයත් අන්තර්ගතවන්නේ ගියවර අප ඉගෙන ගත් මුසාවාද සූත්‍රය අන්තර්ගත කෘතියේම එම පිටුවේමය. එනම් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට අයත් 17 (2) කෘතියෙහි 338 පිටුවෙහි ය. වෙනත් ග්‍රන්ථමාලාවකින් ත්‍රිපිටකය හදාරන පින්වතුනට පහසුව පිණිස එය අයත් කොටස ද සඳහන් කරමු. එනම් සංයුත්තනිකායේ මහාවර්ගයේ අටවැනි දුතිය ආමකධඤ්ඤපෙයපාල වර්ගයේ හයවැනි සූත්‍රයයි.

පෙර ඉගෙන ගත් මුසාවාද සූත්‍රයේ මෙන්ම බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් සමඟ වැඩ සිටි අවස්ථාවක නිය සිළට පස් බිඳක් ගෙන මේ නිය සිළෙහි ඇති පස්ද වැඩිපුර ඇත්තේ නැතිනම් මහපොළොව දැයි විමසා සිටි සේක. එවිට භික්‍ෂූහු පිළිතුරු දෙමින් පවසා සිටියේ මහපොළොව වැඩිපුර ඇති බවයි. මේ උපමාව දක්වමින් බුදුරජාණන් වහන්සේ වචනය සම්බන්ධ වැදගත් කරුණක් දේශනා කළ සේක.

‘එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඵරුසාය වාචාය පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඵරුසාය වාචාය අප්පටිවිරතා.......’

‘එසේම මහණෙනි, රළු බසින් වැළකුණු යම් සත්ත්වයෝ ඇද්ද ඒ අය අල්පය. රළු බසින් නොවැළකුණු සත්ත්වයෝ වෙත් ද ඒ අයම ඉතා වැඩිපුර සිටිති.’

මේ දේශනාව අනුව අපට පැහැදිලිවන්නේ ලොව ඵරුස වචනයෙන් අනුන්ගේ සිත තලන පෙළන අය වැඩිපුර සිටින බවයි. මෙය සත්‍ය කරුණකි. කෙනෙකු කවර තරාතිරමක කවර මට්ටමක වුවද අප ඒ තැනැත්තාගේ සිත නොතැළෙන ලෙස පි‍්‍රය බවක් ඇති වන අයුරින් කතා කළ යුතු ය. තමන්ට වඩා ඉහළ අය ඉදිරියේ හැකිළීමත් පහළ අයට සැර පරුෂ වීමත් නිවටකමක් ලෙසයි ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් සලකා ඇත්තේ,

උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා නැළවෙන්නේ’

එසේ නම් පරුෂ වචනයෙන් අන් අය සිත් පෙළන්නන්ද නිවටුන්ව බව සිත තබා ගත යුතු ය. මේ පරුෂ බව යනු කුමක්ද? යන්න විමසා බලමු. පරුෂ යනු රළු යන අදහස ගෙන දෙයි. ඒ රළු බව විවිධාකාරයෙන් අර්ථකථනය කළ හැකි වේ. යම් යම් සමාජයන්හි ඒ ඒ සමාජයන් තුළ පිළිගැනීම හරහා ඇතැම් වචන පරුෂ වචන සේ සලකන අතර, අතීතයේ අප භාවිත කළ සමහර ග්‍රාම නාම උපකරණ නාම අද සමාජයේ රළු වචන ලෙස සලකා බැහැර කර තිබේ. තවද ඇතැම් වචන ලියූ විට මිහිරි ලෙස දැනුණද, කියවන විට රළු වචන සේ සැලකේ. උදාහරණ වශයෙන් ‘හොඳයි බලාගමු’ යන වචන දෙක ගෙන බලන්න. හොඳයි යන්න ඉතා හොඳ වචනයකි. නමුත් යමක් සිදුවීමෙන් පසුව යම් කෙනෙක් ‘හොඳයි බලාගනිමු’ කීමෙන් එහි මහත් රළු බවක්, පරුෂ බවක් දැනේ.

යම් කිසි සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෙකුගෙන් මණ්ඩලය විසින් නියම කරන කාලය තුළ රාජකාරියේ නියැලිය හැකිදැයි විමසූ විට දිය යුතු හොඳම පිළිතුර වන්නේ ‘පුළුවන්’ යන්නයි. නමුත් අයදුම්කරු ‘ආබාධයක් නැහැ’ යන වචන පිළිතුර ලෙස පාවිච්චි කළහොත් එය එවැනි වැදගත් ස්ථානයකට නොගැළපෙන ග්‍රාම්‍ය ව්‍යවහාරයක් විය හැකි ය. මෙය පැහැදිලි වන්නට උදාහරණයක් ගෙන බලමු. විදුහලක විදුහල්පති ඉදිරියේ සිදු වූ සම්මුඛ සාකච්ඡාවකදී අයදුම්කරු එබදු පිළිතුරක් දුන්නේ නම් ඔහුට කෙතරම් සුදුසුකම් තිබුණාද පත්වීම නොලැබේ. ඊට හේතුව කුමක්ද? විදුහල්පති ඉදිරියේ එබදු අනුචිත

වදන් පාවිච්චි කරන්නෙක් කිසිදු අවස්ථාවක සිසුන්ට යහපත් ආකාරයෙන් ආමන්ත්‍රණය කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බැවිනි. ඒ නිසා මේ පරුෂ වචනයේ ප්‍රබල බව යම් කෙනෙකුගේ ජීවිතයට කෙතරම් හානි පමුණුවන්නේද යන්න ඉන් පැහැදිලි වේ.

තවද ධර්ම දේශනාවන්හිදී දේශකවරු පාවිච්චි කළ යුත්තේ ශිෂ්ට සම්මත වදන් ය. කථා කළ යුත්තේ ශිෂ්ට සම්මත ආකාරයෙනි. එහෙත් අද ඇතැම් දේශනාවලදී නොවැදගත්, රළු, අශිෂ්ට වදන් පෙළගසනු අසන්නට ලැබේ. එහි ප්‍රතිඵලය වන්නේ දේශකයා හා සසුනද, ඒ භික්‍ෂුවක් නම් භික්‍ෂු සමාජය ද අපකීර්තියට පත්වීමය.

කරුණාවෙන්, අභිවෘද්ධිය දියුණුව පතාගෙන යම් කෙනෙකුට රළුවදන් පාවිච්චි කරන අවස්ථාද වේ. එලෙස කරුණාව පදනම් කොටගෙන රළු දෑ කරන කියන වැඩිහිටියෝ සිටිති. දෙමව්පියන් දරුවනට සැරවැර වීම පිළිබඳව සලකනවිට පාවිච්චි කරන වචන තුළ, ක්‍රියාත්මක කරන ක්‍රියාව තුළ ඇති රළු බව දෙමාපිය හදවත් තුළ නොමැත. ඇත්තේ මෘදු බවකි. කරුණාවකි. සමාජයේ මෙවැනි ප්‍රකාශ ඇත.

‘කිරි හොද්ද හැඳී ගා හැඳිය යුතු ය. හැඳි නොගා හදන කිරි හොද්ද රස නැහැ.’

හැඳි නොගා හදන කිරිහොද්ද කැටි ගැසෙන්නා සේ, රසින් අඩු වන්නා සේ රළු ලෙස සලකා හෝ නියමාකාරයෙන් දරුවා සකස් කර නොගතහොත් ඔහු අයහපත් අයෙක් බවට පත් වේ. ඉන් දරුවන්ට තැලිය පෙළිය යුතුය, රළු වදන් පාවිච්චි කළ යුතු ය, යන්න අදහස් නොවේ. නිසි පාලනයකින් සකස් නොවූ දරුවා මුරණ්ඩු විය හැකි අතර හැඳිනොගා හැදූ කිරි හොද්දක් මෙනි. එක් සංස්කෘත ශ්ලෝකයක මෙසේ සඳහන් වේ.

පංච වර්ෂානි ලාලයේත්
දස වර්ෂානි තාඩයේත්
ආගතේ ෂෝඩගේ වර්ෂේ
පුතං මිත්‍රවදා චරෙත්’

දරුවෙකු නම් අවුරුදු පහක් නැලවිය යුතු ය. අවුරුදු දහයක් තැලීමෙන් හෝ සකස් කළ යුතු ය. වයස අවුරුදු දහසයේ සිට පුත්‍රයාට මිත්‍රයෙකු මෙන් හැසිරිය යුතු ය. සමාජයේ ඇතැම් දෙමව්පියෝ තම දරුවන් අකීකරු බව පවසා සිටිති. ඊට හේතුව දෙමාපිය ශක්තිය හීන වීමය. දෙමව්පියන් දරුවන් ඉදිරියේ මෘදු අයුරින් මෙන්ම රළු බවින් ද ක්‍රියා කළ යුතු ය. මෙයට අලංකාර උපමාවක් මෙසේ ය. බැලළිය, කොටිදෙන ආදී බිලාළ ගෝත්‍රයේ සත්තු තම පැටවුන් බෙල්ලෙන් එල්ලාගෙන ගෙන යන්නාක් මෙන් ආරක්‍ෂා සහිතව දරුවන් රැකිය යුතුය. බිලාළ මව පැටියා රැගෙන යන විට පැටියාගේ බෙල්ල තදින් අල්වාගතහොත් පැටියාට හානි සිදුවේ. ඇය පැටියාගේ බෙල්ල බුරුලට අල්ලාගතහොත් පැටියාට බිමට වැටීමට සිදුවේ. එලෙස ආරක්‍ෂාකාරී අන්දමින් දරුවන් සකසන මව්පියන් දරුවන්ට අනවශ්‍ය ලෙස රළු විය යුතු නැත. එසේම මෘදු විය යුතු ද නැත. අවශ්‍ය තැනදී රළු බවින් හෝ මෘදු බවින් කටයුතු කොට දරුවා සකසාගත යුතු වේ.

ඒ අනුව පරුෂ වචනයෙන් සිදුවන අකුසලය ඇතිවනුයේ යම් කෙනෙකුගේ යහපත පිණිස ප්‍රකාශ කරන රළු වචන නිසා නොව සිත් රිදවීම පිණිස ප්‍රකාශවන රළුවදන් තුළිනි. නන්දිවිසාල ජාතක කතාව තුළින් මේ පරුෂ වචනය පිළිබඳව විමසා බලමු. නන්දිවිසාල නම් වූ බෝසත් ගවයා තම ස්වාමියාට මුලදී පරාජය අත්කර දුන්නේ රළු පරුෂ වදන් පාවිච්චි කළ නිසා ය. පසුව මෘදු වචනයෙන් ඇමතූ විට පෙරටත් වඩා මහත් වූ ගැල් බරක් ඇද සිය දස්කම් දක්වා තම ස්වාමියාට ජයග්‍රහණය අත්කර දුන්නේ ය. තිරිසන් සතුන් වුවද රළු වචනවලට අපි‍්‍රයය. අප මුලින්ම මේ පරුෂ වචනයෙන් ඉවත් විය යුතු ය. පරුෂ වචනයෙන් වෙන් වුණු තැනැත්තා මෙසේ කතා කරයි.

‘නෙළා - නිදොස්, කණ්ණාසුඛා’ – කන්කලු වූ ‘පෙමනීයා’ - ප්‍රේමය උපදවන, ප්‍රේමනීය, ‘හදයඩ්ගමා’ පහසුවෙන් සිතට වැදගන්නා, හදවතට කිදා බසින, ‘පොරී’ - ශිෂ්ට සම්පන්න මිනිසුන් කථා කරන (මොළොක්), බහුජනකන්තා’ - බොහෝ දෙනාට පි‍්‍රය, ‘බහුජනමනාපා’ - බොහෝ දෙනාට මනාප වචන කතා කරයි. ‘සුගත’ යනු බුදුරජාණන් වහන්සේ හඳුන්වන වචනයකි.

‘යහපත් කොට යෙතැ යි
සුන්දර තැනට සැපතැ යි
සොඳුරු බස් කියැතැ යි
කියති ඒ මුනි සඳුට සුගතැ යි’

බුදුන් වහන්සේ සුන්දර වචන, මිහිරි වචන කතා කළ සේක. උන්වහන්සේගේ වචන තුළ, වාචසික කෞශල්‍යය තුළ හදවත දිනන වචන කතා කිරීමේ හැකියාව අන්තර්ගතව තිබිණි.

රළු බසින් වැළකුණු සත්ත්වයන් අල්ප බවත් රළු බසින් නොවැළකුණ සත්ත්වයන්ම ඉතා වැඩිපුර සිටින බවත් වදාළ බුදුරජාණන් වහන්සේ ඊට හේතුව පෙන්වා දෙමින් වදාළේ චතුරාර්ය සත්‍යය අවබෝධ නොකිරීම එයට හේතුව බවයි. එබැවින් මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට වීර්යය කළ යුතු බවද වදාළ සේක. එසේ නම් මේ සත්ත්වයෝ රළු බස් කතා කරන්නේ අවිද්‍යාව නිසා ය. මුලාවට පත්වීම නිසා ය. එබැවින් අප මේ අවිද්‍යාව දුරු කිරීමට උත්සාහ ගත යුතු ය. බුදුන් වහන්සේ මෙසේ වදාරා තිබේ.

‘කොනු හාසො කිමානෙත්ද්‍ර නිච්චං පජ්ජලිතෙ සති අන්ධකාරෙන ඔනද්ධා පදීපං න ගවෙස්සථ’

‘නිතර කෙලෙස් නමැති ගින්නෙන් ඇවිල ගෙනා දිලියෙන කල්හි ඔබලාට සොම්නසක්වත් සතුටක්වත් කවරේද? අවිද්‍යා අන්ධකාරයෙන් මස්තකය වැසුනු ඔබලා ඒ මොහදුර නැති කිරීම පිණිස මාර්ගඵල ප්‍රඥා ආදී ප්‍රදීපය සොයන්නේ නැත්තේ කුමටද? ඇයි?’ එබැවින් අප විසින් මේ ගින්නෙන් එළියට පැන නිවීමට සැනසීමට පත්විය යුතු ය. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත යුතු ය. එවිට රළු වදන් වලින් සේම සියලු රළු බැමි වලින් නිදහස් වී සැනසීමට පත්විය හැක.

 

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk