වෙසක් පුර අටවක 2012 අපේ‍්‍රල් 29 වනදා ඉරිදා
ගතයි සිතයි සිල් ගනී ද?
අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන බොදු ජනතාවගේ අසහාය ආගමික දිනය
වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය උදාවීමට තව ඇත්තේ දින කීපයක්
පමණි.
එම අත්‍යුත්තම දිනය කෙසේ ගත කළ යුත්තේදැයි බහුතරයක් බොදු ජනතාව
දැනටමත් තීරණය කර හමාරය.
එනම් දහසක් බුදුන් බුදුවන හිමිදිරි පාන්දර සුදුවතින් සැරසී
තෙල් මල් සුවඳ දුම් ඇතුළු බුද්ධ පූජාවද රැගෙන පදිංචිය දරන ළඟම
විහාරස්ථානය වෙත ගොස් පෙහෙවස් සමාදන්වීමට ය.
සුදුවතින් සැරසී අටසිල් හෝ දසසිල් සමාදන් වූ පමණින්ම සිල්වතකු
විය හැකිදැයි මොහොතක් කල්පනා කළ යුතු වැදගත් කරුණකි.
නිවසේ සියලු කටයුතු වලින් පැය ගණනකට හෝ බැහැරවී පන්සලේ දී
වෙසක් පෝදා පෙහෙවස් සමාදන් විය යුතු වන්නේ කෙසේද?
සැබැවින්ම සසර දිගය. දිගු වූ සසර ගමනක යෙදෙන අප සසර ගමනට ඇති
ඇලීම්, බැඳීම් නිසාම තව තවත් ඒ දිගු සසර ගමනේ අතරමං වේ.
එහෙත් සැදැහැවත් බුද්ධිමත් බොදුනුවා සසර ඒ මේ අත ඇවිද්ද වන
හේතු නිසොල්මනේ මෙනෙහි කරයි. එසේ මෙනෙහි කරමින් ඒ භව ගමනේ
අවසනකට පැමිණීමට උත්සුක වේ.
මව්පියවරුන්ට දරුවන් තරම් උතුම් වස්තුවක් මෙ ලොව තවත් නැත.
එමෙන්ම මව්පියන් තම දරුවන් කෙරෙහි සිව්බඹ විහරණයෙන් යුක්තය.
දරුවන්ට ද මව්පියවරු මහා බ්‍රහ්මයා හා සමානය. එමෙන්ම පූර්ව
ආචර්යවරු ද වේ.
ජීවිත කාලය පුරා හරිහම්බ කරන ධනය ගේ දොර යාන වාහන ඉඩකඩම් ආදී
මෙකී නොකී භෞතික සම්පත් කොතෙකුත් ඇත.
ඒ කෙතරම් සැප සම්පත් තිබුණද? ඒ සියල්ල අවම වශයෙන් පැය ගණනකටවත්
තමන්ගේ අයිතියෙන් බැහැර වී පන්සලට ගොස් පෙහෙවස් සමාදන් විය
හැකි නම් එය කෙතරම් අගනේද?
ඇතැම් සිල්වතකු ගතෙන් සිල් ගත්තද ඒ ගත් සිල් සිතෙහි නැත. එසේ
වනුයේ මමත්වය දැඩිව පවතින බැවිනි.
භෞතික සියල්ල මගේ ය. දරුවන් මගේ ය. ආදී දහසක් දේ, සිල් සමාදන්
වී සිටියද සිතට ගලා එයි. එය පුහුදුන් මනුෂ්‍යයාගේ ස්වභාවය යි.
එහෙත් අපගේ අරමුණ උත්සාහය විය යුත්තේ එළඹෙන වෙසක් පෝදාටවත් ගත
සිත දෙක සීල සමාදානයෙහි පිහිටුවීමට ය.
පන්සලට පැමිණ සිල්සමාදන් වුවත් ඒ සිල්ගත් මොහොතේ සිට සිත ගෙදර
යවන්නේ නම් ඇති ඵලය කුමක්ද?
සැබැවින්ම අප සතු මමත්වය උත්තරීතර දිනයක දී පැය කීපයකටවත්
යටපත් කරගත නොහැකි නම් අප මේ සසර ගමනේ තවත් කෙතරම් කාලයක් ගමන්
කරත් ද?
සසර සිරිතම සසරට ම ඇද බැඳ තබා ගැනීමය. පි‍්‍රයවනුයේ සසර
පැවැත්මටය.
එහෙත් සම්බුදු මග යන බොදුනුවා උත්සාහ කළ යුත්තේ ඒ දිගු සසර
පැවැත්ම නැවැත්මටය. බැලූ බැල්මට ගත සුදුවතින් සැරසී උතුරු
සළුවත් පොරවා සිටියද සිත ඇත්තේ පන්සලේ දී පැවැත්වෙන ආගමික වත්
පිළිවෙත් පිළිබඳව ද නැතිනම් ගෙදොර දොර පිළිබඳව ද?.
බුද්ධිමත්ව සිතන්න. එසේ සිතමින් වෙසක් පුර පසළොස්වක පෝදාට
බුද්ධිමත් තීරණයකට එළඹීමට අදිටන් කර ගන්න.
එසේ නොමැතිව පන්සලේ ධර්ම ශාලාවේ දී පෙහෙවස් සමාදන්ව පෙනෙන දකින
අසල්වැසියන්ගේ අඩුපාඩු ළඟ සිටින වෙනත් සැදැහැවතකු සමඟ කතාබහ
කිරීමට පෙහෙවස් සමාදන් වූවකුට කිසිසේත් ම නොගැලපෙන බව සිතන්න.
කිසිවකුගේ අඩුපාඩු ගැන කථා කළ පමණින් තමාට හෝ අන්‍යයාට ඇති ඵලය
කුමක්ද? යම් අයෙකු කරන වරදක් දැක ඒ වරද ඇති නැති තැන විවේචනයට
වඩා තමාගෙන් එවන් වරදක් නො වීමට වග බලා ගත හැකි නම් ඉතා අගනේ
ය.
උදාවන, වෙසක් පෝදා හිමිදිරියේ පන්සලට නොගොස් අටසිල් සමාදන්
නොවුවහොත් නැවත වෙසක් පොහොයක් උදාවන තෙක් පුරා වසරක් බලා
සිටීමට සිදුවේ.
ගෙවී ගිය දවස ජීවිත කාලයටම නැවත නම් උදා නොවනු ඒකාන්තය.
එබැවින් උදාවන වෙසක් පුන් පෝදා නිවසේ ලොකු කුඩා සියලු දෙනා පෙර
සූදානමින් පන්සල වෙත යාමත්, පෙහෙවස් සමාදන්වීමත් ජීවිතයේ අමතක
නොවන මහ පින්කමක් වනවාට නො අනුමානය.
උත්සාහය සම්පතකි. උත්සාහ කළ යුත්තේ කුමකටද? නිවැරැදිව දිවි මග
සරු කර ගැනීමට ය. එසේ කළහොත් ඒ උත්සාහය නිරර්ථක ක්‍රියාවක් නම්
නොවනු ඇත.
එබැවින් දැඩි උත්සාහයෙන් මහත් අධිෂ්ඨානයෙන් යුක්තව උදාවන වෙසක්
පුර පසළොස්වක පෝදා තුන් සිත පහදවා ගනිමින් තුන් දොර සංවර කර
ගැනීමට කටයුතු කිරීම සසර ගමන සුවපත් කර ගැනීමට හේතු වනු ඇත. |