UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යාම

යම්කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නො යන්නෝ ය. මනුකය අත්හැර දේව කාය සපුරන්නෝ ය. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යාම සරණාගමනය වන අතර එසේ සරණ යන පුද්ගලයන්ට ලැබෙන මහානිශංස සිතා කියා නිම කළ නොහැක්කේමය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යේ කේචි බුද්ධං සරණං ගතාසේ
නතේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේව කායං පරිපූරෙස්සන්ති

“සුපින්වත්නි”

සකල ජන මන සනසන ශාන්ති නායක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සියක් මහරහතන් වහන්සේ සපිරිවාරව ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර ආසන්නව මහ වනයෙහි වැඩ වසන සමයෙහි එක්තරා දේවතාවෙක් මෙම ගාථා ධර්මය ප්‍රකාශ කළහ.

යම්කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නො යන්නෝ ය. මනුකය අත්හැර දේව කාය සපුරන්නෝ ය. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවණ් සරණ යාම සරණාගමනය වන අතර එසේ සරණ යන පුද්ගලයන්ට ලැබෙන මහානිශංස සිතා කියා නිම කළ නොහැක්කේමය. තිසරණ සරණ යාම සම්බන්ධයෙන් අප දැනගත යුතු ප්‍රධාන කරුණු කීපයක් ඇත්තේය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මහා සංඝරත්නය යන රත්නත්‍රය සරණ යාමෙන් බය, ත්‍රාසය, දුක, දුර්ගති, ක්ලේශ, හිංසන, විනාශ කරන බැවින් රාගාදී කෙලෙස් සහිත සසර සැරිසරණ සත්වයන්ට සරණ නම් වන්නේමය. එවන් උතුම් තිසරණ කෙරෙහි ප්‍රසන්න ශ්‍රද්ධා චේතනාවෙන් පිහිට පැතීම සරණාගමන වන අතර සරණ ගිය පුද්ගලයා සරණාගත නම් වේ.

ලෝකයේ වෙනත් කිසිම අරමුණකට සිත යොමු නොකොට තෙරුවන් සරණ යන පුද්ගලයාගේ පරමාර්ථය වන්නේ නිවන අවබෝධයයි.

“පින්වත්නි”

ප්‍රධාන වශයෙන් සරණාගමනය ලෞකික ලෝකෝත්තර යනුවෙන් සරණාගමන දෙයාකාර වේ. පුහුදුන් සත්වයන් සරණාගමනය සමඟ උපක්කිලේශ වික්ඛම්භනයෙන් ප්‍රහීණ වන නිසා ලෞකික සරණාගමන නම් වන්නේය. බුද්ධාදී තෙරුවන් සරණ යන්නාගේ සිතින් අභිධ්‍යා, ව්‍යාපාද, ක්‍රෝධය, උපනාහ, ගුණමකුබව, පළාස, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායා ආදී උපක්කිලේශ ක්‍රමයෙන් නැතිවෙන අතර එය මතු ලෝකෝත්තර සරණාගමනයට හේතුකාරක වන්නේය.

චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වන මාර්ග ක්‍ෂණයෙහිදී උපක්කිලේශ ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණයෙන් අහෝසිවන බැවින් එය ලෝකෝත්තර සරණාගමන නම් වන්නේය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි ආදී නයින් නිතර නිතර සරණ යන්නේ පුහුදුන් සිත උපක්කිලේශ ධර්මයන්ගෙන් කිලිටි වන නිසා. එහෙත් සෝවාන් ආදි මාර්ගඵල ලාභීන්ගේ සරණාගමනය අචලව නොවෙනස්ව පවතින්නේමය. එයට ශ්‍රද්ධා මූලික ප්‍රඥාව අවශ්‍යම වන්නේය. ශ්‍රද්ධාවෙන් එල්බ ගැණීමත් ප්‍රඥාවෙන් තිරසර වීමත් සිදුවන්නේය.

සරණාගමනය ආත්මනිර්යාතනය, තත්පරායණය ශිෂ්‍යභාවෝපගමණ, ප්‍රණිපාත වශයෙන් සරණාගමන සිව් ආකාර වේ.

භගවතෝ අත්තානං පරිච්චජාමි ධම්මස්ස, සංඝස්ස ජීවිත පරියන්තිකං බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධෝ මේ සරණං ලේණංතාණන්ති ආදී වශයෙන් බුද්ධාදී රත්නත්‍රයට ආත්මය පරිත්‍යාග කිරීමෙන් සරණ අත්ත නිර්යාතන සරණාගමන නම් වේ.

සෝ අහං විචරිස්සාමි
ගාමාගාමං පුරා පුරං
නමස්සමානෝ සම්බුද්ධං
ධම්මස්සච සුධම්ම තං

ආදී වශයෙන් ආලවක යක්‍ෂාදීන්ගේ සරණ යාම මෙන් බුද්ධාදී තෙරුවන් වෙනුවෙන්ම ජීවිතයේදී වාසය කිරීමෙන් මතු ධර්මය පිළිපැදීම තත්පරායණ සරණාගමන නම් වන්නේය.

මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ සරණයාම මෙන් බුද්ධාදී තෙරුවන්ට මම කීකරු ශිෂ්‍යයෙක් වන්නේමිය තිර අදිටනින් සරණයාම ශිෂ්‍යභාවෝපගමන සරණාගමන නම් වන්නේය.

පසේ නදී කොසොල් රජු මෙන් වැඳීමට පිදීමට වැඩි කැමැත්තෙන් සරණ යාම, පණිපාත සරණාගමන නම් වන අතර ඤාති, භය, ආචාර්ය, දක්‍ෂිණේය යන කරුණු අනුවද එම මොහොත සංසිද්ධියෙන් පසුවෙන තුරු වැන්දට සරණාගමන නොවේ.

අප බුදුරජාණන් වහන්සේ ශීල සමාධි, ප්‍රඥා, විමුක්ති විමුක්ති ඤාණ දර්ශනාදී ලොව්තුරු ගුණයෙන් ශෝභමානවන සේක යන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් බුදුන් දහම් සඟුන් සරණයාම ප්‍රණීපාත සරණාගමනයයි.

දේවවාදය හා ආත්මවාදය යන මිථ්‍යාදෘෂ්ටි අන්ධකාරයෙන් සත්‍ය ධර්මය වැසෙන ලෝකය තුළ ක්‍රියාත්මක වන ආගමික චින්තාවන් සංකල්ප ජාලයට අයත්වන නිසා මිනිසාට බුදු දහමෙන් මිස වෙනත් කිසිම දර්ශනයකින් සෙතක් වන්නේ නැත. අර්ථ ශුන්‍ය වචන මාලාවන්ගෙන් ආටෝපගත කරණ වත් පිළිවෙත් නිසාම මානව සමාජයේ මතු පැවැත්ම පිළිබඳ ඉතා භයානක අවිනිශ්චික භාවයක් මතුවන්නේය. අසත්‍යයට, වංචාවට ප්‍රධාන තැනක් දෙනවිට එහි ප්‍රතිඵලය වන්නේ සත්ව ලෝකයේ හෝ ද්‍රව්‍ය ලෝකයේ හෝ විනාශයයි. මෙයට ශුභවාදී ක්‍රමවේදය වන්නේ හැකිතරම් දුරට සත්වයන්ගේ චිත්ත සන්තාන බුද්ධාදී තෙරුවන්ට යොමු කරවීමට ජගත් ක්‍රමවේදයක් ඇති කිරීමයි.

යෝච බුද්ධංච ධම්මංච
සංඝංච සරණංගතෝ
චත්තාරි අරියසච්චාති
සම්මප්පඤ්ඤාය පස්සති

ආදී නයින් දේශනා කළ පරිදි බුද්ධාදී තුණුරුවන් සරණයාම මූලාධාර කරගෙන සරණ යන්නාට ක්‍රමයෙන් සීල සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් සම්පූර්ණ කිරීමෙන් ආර්යමාර්ග ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිවන් සුවයෙන් සැනසෙන්නට ඉඳුරා හැකිවන්නේ ය.

තෙරුවන් සරණ ගොස් පස් පවින් වැලකෙන පුද්ගලයා ක්‍රමයෙන් ත්‍රිවිධ ශික්‍ෂාවෙන් සෝවාන් මාර්ගයට පිළිපන් සත්පුරුෂයාගෙන් සිදු නොවන කාරණා නවයක් අප බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ සේක.

ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් ප්‍රඥාවෙන් සම්මා දිට්ඨියට පත් සත්පුරුෂයා සංඛාර ධර්මයන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් නො බලන්නේය. මව, පියා, රහතුන්ගේ දිවි තොර නොකරන්නේ ය. බුදු සිරුරින් ලේ සොලවන්නේ නැත සංඝයා භේද නො කරන්නේය. අනික් ශාස්තෘන් කෙරෙහි විශ්වාසයක් නො තබන්නේය.

මෙවන් උතුම් සත්පුරුෂයා ඉන්ද්‍රඛීලයක් මෙන් ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන්නේමය. එයට හේතුව කම්පා කරනව උපක්කිලේශ ධර්මයන් සන්තානයෙන් බැහැර කිරීමයි.

සරණාගමනයෙහි කුසල විපාක සිතා, කියා නිම කළ නොහැක්කේමැයි.

එක් කලෙක දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජ අසූදාහක් දෙවියන් පිරිවරා මනුලොව මහමුගලන් මහරහතන් වහන්සේ සමීපයට පැමිණ එකත්පස්ව වැඳ නැමී උන්හ. එවිට මුගලන් මහ රහතන් වහන්සේ

“සාධුඛො දෙවානමින්ද
බුද්ධං සරණගමනං හොති
බුද්ධං සරණගමන
හේතු ඛො පන දෙවානමින්ද
එව මිධෙකච්චෙ සත්තා
කායස්ස භෙදා පරම්මරණං

සුගතිං සග්ගං ලොකං උප්පජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහිඨානෙහි අධිගණ්හන්ති ආයුනා, වණ්ණෝන, සුඛෙන, යසෙන, ආධිපතෙය්‍යෙන, රූපෙහි, සද්දෙහි, ගන්ධෙහි රසෙහි ඓට්ඨබ්බෙහි යනුවෙන් තෙරුවන් සරණයාමේ ලෞකික ආනිශංස දේශනා කළ සේක.

බුද්ධාදී උතුමන්ගේ දර්ශන මාත්‍රයට මනසට ප්‍රසාද හැඟීමක් ජනිත කරවන්නේය.

ඒවං අචින්තියා බුද්ධා
බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියෙසු පසන්නානං
විපාකො හෝති අචින්තියෝ

අචින්තනීයවු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන්ගේ ගුණයට සාපේක්‍ෂකව ඇතිවන ප්‍රතිවිපාකය ද අචින්තනීය වන්නේය. අතීත භවයන්හිදී බුද්ධාදී උතුමන් ආශ්‍රය කර එයින් පරිභාවිතවූ ශ්‍රද්ධාදී කුසල චේතනා ඇත්තේ නම් මේ අත්බැව්හිදී ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් මුහුකුරා යාමෙන් උතුම් සව්සත්දම් අවබෝධ කොට නිවණ අවබෝධ කිරීමට හැකිවන්නේය. අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාණන්ට

යෙ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතො ආහ.

යන ගාථාධර්ධය දේශනා කරනවාත් සමඟම අවබෝධ කරගෙන සෝවාන්ඵලයට පැමිණියහ. මෙසේ සිය දහස් ලක්‍ෂ ගණනින් බුදුරදුන් දුටු පමණින්, දහම් පදයක් ඇසූ පමණින් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් වර්ධනය වීමෙන් උතුම් සිව්සත්දම් අවබෝධ කරගත් වාසනාභාරී උතුමන් ගුණ විස්තර වන්නේය.

ශ්‍රද්ධා ප්‍රඥාවෙන් තෙරුවණ් සරණ යන සත්පුරුෂයෝ කෙදිනක හෝ සසර දුකින් මිඳී අජරාමර නිවණින් සැනසෙන්නෝය.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk