UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නීතුපත්පාණ තිරියායි වටදාගේ

තිරියායි වටදාගේ ලාංකේය බිමේ ඇති තවත් අපූරු පැරැණි බෞද්ධ නිර්මාණයකි

ස්තූපයක් වටා කණු පිට ඉදි කළ අර්ධගෝලාකාර වහලකින් යුත් වෘත්තාකාර නිකේතනය වටදාගේ නමින් හඳුන්වයි. ලක් භූමියේ මෙම වර්ගයේ නටබුන් වටදාගෙවල් ඇත්තේ දහයක් පමණ බවත්, එයිනුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව බාරේ ඇත්තේ තුනක් පමණක් බවත් සඳහන් වෙයි. පොළොන්නරුව වටදාගේ, මැදිරිගිරිය වටදාගේ, සහ තිරියාය වටදාගේ එම ත්‍රිත්වය යි. දස දහස් ගණනක් ස්තූපයන් ඇති අපේ රටේ මෙවන් නිර්මාණයන් ඇත්තේ අතලොස්සක් පමණක් නිසාත් ඒවායේ ඇති ආකර්ෂණීය පෙනුම, ආකෘතිමය හැඩතල, සහ පෞරාණික තත්වයන් පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ මෙම නිර්මාණයන් පුරාවිද්‍යාත්මක සහ ආගමික වශයෙන් ඉතා වටිනා ස්ථානයන් බව යි. ත්‍රිකුණාමලය නගරයට උතුරින් පුල්මුඩේ පාරේ කි.මී. 45 ක් පමණ ඈතින් ඇති තිරියාය පුදබිම ‘නීතුපත්පාණ’ ‘ගිරිහඬුසෑය” ආදී නම් වලින් හඳුන්ව යි. මෙය ත්‍රිකුණාමල දිසාවේ කඩ්ඩුකුලම් පත්තුවේ තිරියාය නම් ගමේ පිහිටා තිබේ. යාන්ඔය නිම්නයේ දර්ශනීය කඳු ශිඛරයක් මත තිරියාය වටදාගේ සහිත විහාර සංකීර්ණයක නටබුන් දැක ගැනීමට හැකියාව ඇත.

නැගෙනහිර බෙංගාල බොක්කේ මහා සාගර නිල්වන් වූ ජල ප්‍රවාහය ද සෙසු සෑම පැතිකඩකින්ම ඇස් දෘෂ්ඨියට හසුවන නීල වන ගහනය ද චිත්‍රනය කරන්නේ මනස්කාන්ත වූ සිතුවමකි.

මුදුන් තලයේ අක්කරයක පමණ ඉතා රමණීය පරිසරයක සමතලා කළ භූමියක් මත තිරියාය වටදාගෙය නිර්මාණය කර ඇත. ක්‍රි.පූ. මුල් සියවස් කීපය තුළදී මෙම ස්ථානයේ භික්‍ෂූන් වහන්සේලා වැඩ විසූ බවට නිගමනය කළ හැකි කටාරම් ලකුණූ සහිත ගල්ලෙනක් ද දකින්නට ලැබේ .ඒ යටින් පාඨයක්ද කොටා ඇත. එය අටවන සියවසට අයත් යැයි අනුමාන කරන අතර එහි මෙය හඳුන්වා ඇත්තේ ‘ගිරිකණ්ඩි’ යනුවෙනි.

තපස්සු හා භල්ලුක වෙළඳ දෙබෑයන්ට බුදුන් වහන්සේ ප්‍රදානය කළ කේශධාතු නිධන්කර මෙහි ඇති සෑය ගොඩ නගා ඇති බව විශ්වාස කෙරේ. මෙම වෙළෙඳුන් දෙදෙනා එම කේශධාතූන් කරඬුවක තැන්පත් කර තමන් යනෙන තැන්වල රැගෙන ගිය බවත් එසේ සංචාරය කළ එක් ගමනකදී ඔවුන් ලංකාවේ කිසියම් වෙරළබඩ ප්‍රදේශයකට ගොඩ බට බවත් එතැන උස්බිමෙක මෙම කේශ ධාතුන් තාවකාලිකව තැබූ බවත් කියැවෙ යි. නැවට යනු පිණිස නික්මීමේදි මෙම පූජනීය ධාතු කරඬුව ගැනීමට ගිය ද එය තැබූ තැනින් ඉවත් කර ගැනීමට නොහැකි විය . මෙය මහා ප්‍රාතිහාර්යයකි. ඔවුහු එම ස්ථානයේ තමන්ට හැකි විදියට කුඩා ස්තූපයක් සාදා පූජෝපහාර දක්වා ගමන පිටත්වූ හ. මෙම ස්ථානය ගිරිහඬු නැමැති ස්ථානයක් බව පූජාවලියේ පැවැසේ. ‘ගරිහඬු’ යන්න ‘ගිරිකණ්ඩි’ වශයෙන් පෙරැළිය හැකි බවත් ඒ නිසා තිරියායේ සංස්කෘත ශිලා ලේඛණයේ සඳහන් ස්ථානය මෙයම විය හැකි බවත් මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසයි.

එසේ නම් මෙම ඓතිහාසික අසිරිමත් අවස්ථාව සිදුවී ඇත්තේ බුදුන්වහන්සේගේ ජීවමාන කාලයේදීම ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මාණ කාලයේදීම මෙම සිදුවීම සිදුවූවා නම් ලාංකේය බිමේ ඉදිවුණු ප්‍රථම ස්තූපය ගිරිහඬු සෑය නොවන්නේ ද යන කුහුලක් සහිත ප්‍රශ්නයක් පැන නගී. ගිරි කාණ්ඩයේ විසූ යක්‍ෂාධිපතියකු එදා බුදු බණ ඇසීමට මහියංගණයට ගිය බව සමන්තකූට වර්ණනාවේ සඳහන් වෙයි. විදේශයක සිට වෙළදාම පිණිස ගිරි කණ්ඩයට වෙළඳ දෙබෑයන්ගේ පැමිණීමත් මෙම වෙළඳ ගනුදෙනු සමඟ අධිපතියාගේ සම්බන්ධයක් තිබුණු බවත්, ඒ සම්බන්ධතාවය උඩ මෙහි කේශධාතු නිධන් කර ස්තූපයක් ඉදිවන්නට ඇති බවටත් තවත් මතයක් පවති යි.

එය කෙසේ වෙතත් මෙහි ඇති ආකර්ශනීය තිරියාය වටදාගෙන කවදා කවුරුන් විසින් කරවන ලද්දැක් දැයි තවම නිශ්චිතවම සොයාගෙන නොමැත. සෙනරත් පරණවිතාන ඒ බව පවසන්නේ මෙසේය. “උස් කළ කුට්ටිමයේ ගලක ලිපියක් කොටා තිබේ. එය ‘රක්සල් බතින් ලැබූ ප(හ) ණ’ යනු යි. රක්සල් බත නැමැත්තා විසින් පිහිටුවන ලද ගල යනු මෙහි අර්ථය යි. මෙය අට වැනි සියවසේ අක්‍ෂර වලින් කොටන ලද පාඨයකි. තිරියායේ වටදාගේ ඉදිකරන්නට ඇත්තේ ද මෙම වකවානුවේදි විය හැකි ය.

මේ පිළිබඳව නිශ්චිත පිළිතුරක් දීමට අපට හැකියාවක් නොමැත. නූතන විද්‍යාවේ ඥාණයෙන් කාල නිර්ණය කිරීමට හැකියාව ඇති විද්‍යාඥයන්ට, ඉතිහාසඥයන්ට ,මෙන්ම පුරාවිද්‍යාඥයන්ට එම ප්‍රශ්ණයට පිළිතුරු බැඳීමට අවකාශය තවමත් ඉතිරි වී පවතියි. කාලයාගේ ඇවෑමෙන් විනාශ වී තිබූ තිරියාය වටදාගේ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොමු වූයේ 1951 වසරේදී ය. එය සිදුවුයේ මහාචාර්ය පරණවිතාණයන්ගේ මූලිකත්වයෙනි. වටදාගෙය මැද පිහිටි ස්තූපය විශාල නැත. එහි විශ්කම්භය අඩි 32 යි අඟල් 6 කි. ඒ වන විට ස්තූ®පය හෑරූ නිධන් හොරුන් විසින් ධාතු ගර්භයක් තිබුණූ බවට කිසිදු ලකුණකට වත් ඉඩ නොතබමින් ධාතු ගර්භය මුළුමනින්ම කොල්ල කා තිබේ. ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක අඛණ්ඩ ගමන්මග සරසන සංස්කෘතියක ළෙහි මඬල හාරමින් මෙම යෝධ ප්‍රතිරූපයන් විනාශ කරන අමන නිධන් හොර පරපුර අද ද ක්‍රියාත්මක ව සිටීම අභාග්‍යයකි.

මෙම වටදාගේ පියස ඔසවා තැබීමට නිම කළ ඇතැම් ගල්කණු ඒ වනවිටත් මුලින් කඩා අසල ගම්වලට රැගෙන ගොස් ඇති බව මෙම සමික්‍ෂණයේදී හෙළි විය.

වටදාගෙය සරසා ඇති අංග ලක්‍ෂණයන්ගේ නිර්මාණ ශෛලිය පල්ලව කැටයම් සම්ප්‍රදායේ ආභාසය ලබා නිමකර ඇති බව පරණවිතාණ පවසයි. ශෛලිය අතින් තිරියායේ මුරගල් අයත්වන්නේ අනුරාධපුරයේ ථූපාරාමයේ හා රත්න ප්‍රාසාදයේත් පොළොන්නරුවේ වටදාගේත් ඇති එබඳු රූපවල වකවානුවට වඩා පැරැණි වකවානුවකට” බව තවදුරටත් ඔහු කියා සිටියි. මෙම මතයන් අනුව මෙම ස්තූපය ථූපාරාමයටත් වඩා පැරණි ස්තූපයක් බව ඒත්තු යන සාක්‍ෂි එකතු වෙයි. ඒ මතින් සැකයේ වාසිය කිසිවකුටත් නොදී නිශ්චිත නිගමනයකට එළඹෙන්නේ නම් එය අප මතු පරපුර වෙනුවෙන් ප්‍රදානය කරන දායාදයක් වෙයි. මහනුවර යුගයේදී සකස් කරන ලද ‘නම් පොතේ’ මෙම ස්ථානය හඳුන්වන්නේ නීතුපත්පාණ යනුවෙනි. වෙළඳ නායකයන් පැමිණි ගල්තලය යන අර්ථයෙන් ‘නෙතු පතන පාසාණ’ යන පාලි වචනය ජන ව්‍යවහාරයේදි නීතුපත්පාණ වු බව කියවෙයි. මහා රළු ගල් කුළු මත මෙවන් අසිරිමත් පූජනීය නිර්මාණයන් කළ මහා නිර්මාණ කරුවන් නිසා හිස් වූ රළු ගල් තලා දෙස ඔහේ නිකම් බලා සිටීමට අපට අවශ්‍ය නොවේ.

නෙත නිවන සිත සනහන අධ්‍යාත්මික සුවය රැගෙන එන නෙත පතන මෙවන් පාෂාණයන් (නීතුපත්පහණ) මත දී රළු සිතක් වුව මුදු මෙලෙක කරවන උතුම් ධර්මතාවයක් උරුමකර දුන් මහා කලා ශිල්පීන්ගේ උසස් ව්‍යායාමයන් ද සදානුස්මරණීය වෙයි.

 

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk