UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සිරි දළඳා හරසර පාද යාත්‍රා

ධර්ම යාත්‍රා, පාද යාත්‍රා, චේතිය යාත්‍රා සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී පින්කම් මාලාවන් ය. ප්‍රථම ශ්‍රාවක පිරිසට සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යන බුදු වදන එයට කදිම සාක්‍ෂියකි. එයින් ප්‍රකාශ වන්නේ “ මහණෙනි, බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන්න” යනුයි.

පොදු ජනතාව නිර්වාණගාමී ප්‍රතිපදාවට යොමු කිරීමට හා ධර්මය ජනතාවට සමීප කිරීම මෙම චාරිකා ක්‍රමවේදය මහත් පිටුවහලක් විය.

බුදුරජාණන් වහන්සේ සෑම විටම බොහෝ දෙනාගේ හිතසුව පිණිස පා ගමනින්ම වැඩම කළ සේක. මේ ගමන් බොහෝ විට යොදුන් දහස් ගණන් දුර විය. මේ ගමන් වලදී ජනයාට බුදුරජාණන් වහන්සේ දර්ශනය වීම තුළින් ශ්‍රද්ධාභක්තිය වැඩිවීම දක්නට ලැබිණි. එසේම, ධර්මදේශනා පැවැත්වීම, ධර්ම සාකච්ඡා කිරීම, දන් පැන් පිළිගැන්වීම් ආදී බොහෝ දේ මෙහිදී සිදුවිය. මෙයට, හොඳම උදාහරණය බුද්ධත්වයෙන් නවවන මස සිදුවන කිඹුල්වත්පුර චාරිකාවයි.

තම පුත් සිද්ධාර්ථ කුමරු බුද්ධත්වය ලද බව අසා සුද්ධෝදන මහ රජතුමා අපමණ ප්‍රීතියට පත්විය. බුදුරදුන් දැක ගැනීමේ බලවත් ආශාවක් රජතුමාට ඇතිවිය. ශ්‍රාවක සංඝයා සමග කිඹුල්වතට වඩින ලෙස රාජදූතයන් යැවීය. අවස්ථා කීපයක් එසේ දූතයන් ගියත්, රජතුමාගේ පණිවිඩය බුදුරජාණන් වහන්සේට සැලකිරීමට ඔවුන් අපොහොසත් විය. අවසානයේ දස වැනි වරට රජතුමා පිටත්කළ ඇමතියා වූයේ සිදුහත් කුමරු සමග එකට වැඩුනු කාළුදායි ය. කාළුදායි බුදුරදුන් වෙත පැමිණ බණ අසා රහත්ව මැදින් පුර පසළොස්වක්දා බුදුරදුන් වෙත එළඹ, කිඹුල්වත් නුවර පිළිබඳ, අපූරු පරිසර වර්ණනාවක් කර කිඹුල්වතට වඩින ලෙස ආරාධනා කළේය. මේ ආරාධනාව පිළිගත් බුදුන් වහන්සේ තෙමසක් පා ගමනින් වැඩම කරන ලදී. මේ සඳහා විසි දහසක් මහ රහතන් වහන්සේලා සහභාගී විය. එක් ක්ෂණයකින් සෘර්ධි බලයෙන් කිඹුල්වතට වැඩම කිරීමේ හැකියාව තිබුණත්, උන් වහන්සේ පා ගමනින් වැඩම කළේ පරමාර්ථ කීපයක් පෙරදැරිවය.

බුද්ධත්වයෙන් පසුව තමන්ගේ පියරජතුමා දැකීමට යෑම සංකේතවත් කරමින් වැඩම කළේ මා පිය උපහාරය ජනතාවට සන්නිවේදනය කිරීමටය. එසේම බුද්ධත්වය හා නිර්වාණ මාර්ගය ජනතාවට දේශනා කිරීම හා සමීප කිරීම තවත් පරමාර්ථයකි. එසේම, රජගහනුවර සිට කිඹුල්වත් නුවර දක්වා ජනතාව නිර්වාණගාමීත්වයට සමීප කිරීම ද අරමුණකි. මේ අනුව කිඹුල්වත් පුර චාරිකාව බුද්ධ චරිතයේ සුවිශේෂ පා ගමනකි.

මහා ප්‍රජාපතී ගෝතමිය කාන්තාවන්ට පැවිදි බව ලබා ගැනීම සඳහා කිඹුල්වත් නුවර සිට කහවත් හැඳ පා ගමනින් විශාලා මහනුවර කූටාඝාර ශාලාව දක්වා පැමිණියේ ය. මේ පා ගමන අති දුෂ්කර විය. දෙපා වල දිය පට්ට දමා සැරව බිබිලි මතුව තිබිණි. මේ රජ බිසව පැමිණි පා ගමන සමාජයේ සුවිශේෂ වෙනස් කමකට හේතු විය. මේ සන්නිවේදනය ප්‍රජාපතී ගෝතමිය පැමිණීමටත් පෙර බුදු රදුන්ට සන්නිවේදනය විය. මෙය මුළු මහත් කාන්තා සමාජයේම විමුක්ති ගමන් මගක් විය.

ධර්මාශෝක මහරජතුමා අවසාන බුදු වදන් අනුව සැඳැහැවත් කුල පුත්‍රයකු විසින් දැක ප්‍රසාද උපදවා වන්දනා මාන කොට සංවේග උපදවා ගත යුතු ස්ථාන වන ලුම්බිණිය, බුද්ධගයා, ඉසිපතන, කුසිනාරා ආදී ස්ථාන වන්දනා කිරීම සඳහා පාද යාත්‍රාවෙන් ගිය බවත්, එම පාද චාරිකා, විහාර චාරිකා ආදිය අගය කරමින් එම ස්ථානවල ශිලා ලේඛණ පිහිටුවා රජතුමාගේ සන්නිවේදන කටයුතු ද සිදුකරන ලදී.

ලක්දිව දුර අතීතයේ පටන් රාජ රාජ මහා අමාත්‍යයන්ගෙන් හා ග්‍රාමීය ජනී ජනයා ගමන් කළ නොයෙක් වන්දනා ගමන් හා චාරිකා පිළිබඳව ඓතිහාසික බොහෝ සන්සිද්ධීන් ඇත. සිරිපා කරුණා කිරීම සුවිශේෂ වන්දනා ගමනක් විය. ඓතිහාසික තොරතුරු අනුව පළමුවන විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරු තම පිරිස් සමග සිරිපා කරුණා කර ඇති වාර්තා බොහෝමයකි.

අප මාතෘ භූමියේ පරම පූජනීය පූජා වස්තූන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ දළඳා වහන්සේ ලක්දිවට වැඩම වීම සිට ඒවා අනුරපුර නුවරට වැඩම වීම දක්වා ඓතිහාසික කථා පුවත් අපේ වංශ කථා වල සඳහන් වේ. මේවා ලක්දිව ඓතිහාසිකත්වය හා අභිමානය ඇති කළ සුවිශේෂීම පෙරහර වේ. ශ්‍රී ලංකාවේ රාජධානි සංක්‍රමණය වීමත් සමගම දළඳා වහන්සේ ද ඒ ඒ රාජධානි වලට වැඩම කරවන ලදී. මේ දළඳා වහන්සේ රැගෙන ගියේ උතුම් පුද පෙරහර සමඟය. මේ පෙරහර පිළිබඳ ඓතිහාසික සිදුවීම් හා බොහෝ කථා දළඳා ඉතිහාසයේ හා දළඳා වංශයේ සඳහන් වේ.

මෙසේ දළඳා වහන්සේ ලක්දිව පුරා වැඩම කළ පිරිස් හා රජදරුවන්ගේ කැපවීම සුවිශේෂ අනුස්මරණීය කථාවකි. එසේම, දළඳා වහන්සේ දිවිහිමියෙන් ආරක්‍ෂා කළ ඒ වෙනුවෙන් දිවි පිදූ පිරිසද අපමණය. මේ ඓතිහාසික සිද්ධීන්ගෙන් අපේ ඉතිහාසය සඳහන් ව ඇත්තේ ඉතා අල්පයකි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ දළඳා වහන්සේගේ ආරක්‍ෂාව පතා අපේ රට වැසියන් කළ මෙහෙය අමිලය. 1818 නිදහස් සටන නැවත ආරම්භ වන විට වාරියපොල ශ්‍රී සුමංගල නා හිමියන් දළඳාව රැගෙන දඹුලු කැලයට වැද තම උරහිසේ දළඳා වහන්සේ තබා වෙලාගෙන පුදපූජා පවත්වමින් කටයුතු කළේය. දළඳාව සහිත උරහිස දෙසට බෙල්ල හැරවීම නො කළ නිසා උන් වහන්සේගේ කර ඇදව ගිය බව සඳහන් වේ. උඩරට ගිවිසුමෙන් පසුව දළඳා වහන්සේ ලබා ගැනීම ඉංග්‍රීසි පාලකයින්ගේ ප්‍රධාන අරමුණ විය. ඒ ප්‍රධාන කරුණු දෙකක් නිසාය. රාජ්‍යත්වය හා දළඳා වහන්සේ අතර ඇති බැඳීම හා ජනතාව දළඳා වහන්සේ නොමැතිව රාජ්‍යත්වය පිළි නොගැනීමයි. මේ නිසා එකල ඉංග්‍රීසි පාලකයා වූ ජෝන් ඩොයිලි එවකට මල්වතු විහාරයේ වැඩ සිටි කොබ්බෑකඩුවේ නායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කොට දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීය. ඒ අනුව කොත්මලේ සිට දළඳා වහන්සේ උඩරට ගිවිසුමෙන් පසුව මහනුවරට පුද පෙරහරකින් වැඩම කළේ 1815 අප්‍රේල් 23 වනදාය.

කොත්මලේ සිට අටබාගේට වැඩමවා එය ගම්පොල දොළුව හරහා හිඳගල විහාරයට වැඩම කර එහි පෝය හේවිසි මධ්‍යයේ තැන්පත් කොට පසුව විසිතුරු පෙරහරින් මහනුවරට වැඩම කරන ලදී. 2015 වන විට මෙම ඓතිහාසික සිද්ධිය සිදුවී වසර 200 ක් සපිරේ. වාරියපොල හිමියන් 1818 නැවත දළඳා වහන්සේ මහනුවරින් දඹුලු කැළයට රැගෙන ගියත්, ඉන් පසු සිදුවන්නේ එය අත්අඩංගුවට ගැනීමකි. පුද පෙරහරින් ගෞරවාන්විත අවසාන වතාවට අපේ රටේ මහා සංඝරත්නය සමග ජනතාව දළඳා වහන්සේ මහනුවරට වැඩම වූයේ මුල් ඓතිහාසික අවස්ථාවේ ය. එදා පටන් අද දක්වා දළදා වහන්සේ දළඳා මාලිගයේ වැඩ වසති.

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ අවස්ථාවේ දළඳා වහන්සේට පූජෝපහාර දැක්වීම හා ඓතිහාසිකව දළඳා වහන්සේ වෙනුවෙන් දිවිපිදූ සිය දිවිය කැපකොට මේ උතුම් ධාතුන් වහන්සේ ආරක්‍ෂා කළ සියලු දෙනා අගය කිරීම හා උපහාර දැක්වීම අපගේ සුවිශේෂ යුතුකමක් වේ. මේ ඓතිහාසික අරමුණ පෙරදැරිව 2012 වෙසක් මස 06 වන දින ( වෙසක් පොහොයට පසුදින ) ගම්පොල දොළුව ශ්‍රී බිම්බාරාමය අසළින් මහා සංඝරත්න සමග දළඳා මාලිගාවේ මහ මළුව දක්වා පාද යාත්‍රාවක් සංවිධානය කර ඇත. මෙය අදියර දෙකකින් ක්‍රියාත්මක වේ. පෙරවරු 7. 00 ට ආරම්භ වන පාද යාත්‍රාවේ පළමුවන අදියර දොළුව හිඳගල මාර්ගයේ ගමන් කොට පේරාදෙණිය ගැටඹේ දියකපනා තොට දක්වා ගමන් කරයි. දිවා ආහාරයෙන් පසුව පස්වරු 1. 30 ට විලියම් ගොපල්ලව මාවතෙන් මෙහි දෙවන අදියර ආරම්භ වේ. එය මහ මළුව දක්වා ගමන් කොට මහ මළුවේ පැවැත්වෙන සම්බුද්ධත්ව ජයන්ති සමාප්තිය සනිටුහන් කරන රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට අදහස් කර සිටී. මේ 2600 වන සම්බුද්ධත්ව ජයන්තියේ දී පැවැත්වෙන උතුම් පාද යාත්‍රාවට සිරිපා කරුණා කරනා සේ සැඳැහැ සිිතින් සම්බන්ධ වන ලෙස ඔබට ශාසන ගෞරවයෙන් සිහිපත් කර සිටිමු.

“ අපේ තේමාව ජීවිත කාලයටම කරමු අපූරු පින්කමක් යනුයි”

 

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]