අසූමහා
ශ්‍රාවක
චරිත 12
බුදුරදුන් ගොඩ නැඟු
ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු
චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
කලින් සඳහන් කළ මහාපන්ථක මහරහත් හිමියන්ගේ කනිටු සොහොයුරා චුල්ලපන්ථක
නමින් දැක්වෙනවා. පෙර සඳහන් කළ පරිදි දාසයෙකුට දාව රජගහනුවර සිටු
දියණියක කුසින් මහමඟ දී උපන් හෙයින් පන්ථක නම ලැබුණු කුමරුවා ටික කලකට
පසු මහා පන්ථක නම් දෙටු සොහොයුරු හිමියන් විසින් පැවිදි බිමට පත් කරනු
ලැබුවා.
එක්තරා දිනක මහාපන්ථක හිමියන් විසින් පාඩම් කිරීම සඳහා ගාථාවක්
චුල්ලපන්ථක හිමියන්ට භාර කරනු ලැබේ. එහෙත් සාරමසක් ගතවිත් ඒ ගාථාව
පාඩම් කිරීමට උන්වහන්සේ සමත් වූයේ නෑ. මෙසේ වීමට හේතුව පෙර කරන ලද
අකුසල කර්මයක බලපෑම බව තොරතුරු විමසන විට පැහැදිලි වෙනවා. පෙර කාශ්‍යප
බුදුරදුන්ගේ අවධියේ දී පැවිද්ද ලබාගෙන සිටි චුල්ලපන්ථක හිමියන් ඉගෙන
ගැනීමට අපහසු භික්‍ෂු නමකට ලජ්ජාව ඇතිවන අන්දමට කවට කම් කිරීමේ විපාක
වශයෙන් එක් ගාථාවක් හෝ පාඩම් කිරීමට හැකි නොවූ බව පැහැදිලි වෙනවා. සුළු
වුවත් කරන අකුසල කර්මයන් නිසා මොනතරම් විපාක ලැබෙනවද යන්න සිතා ගැනීමට
මෙය හොඳ නිදසුනක්.
මහත් කල කිරීමට පත් මහාපන්ථක හිමියන් පැවිද්දෙහි කටයුතු කළ නොහැකි
කෙනෙක් කොට සලකා විහාරයෙන් නික්ම ගෙදර යන මෙන් චුල්ලපන්ථක හිමියන්ට
නියම කළා. මෙයින් බලවත් වේදනාවට පත් චුල්ලපන්ථක හිමියන් විහාර කෙලවරකට
වී හඬමින් සිටියා. බුදුරදුන් මෙකල ජීවක නම් අඹ වනයෙහි වැඩ සිටියා. එහි
දී ජීවක වෙද දුරුතුමා පන්සියයක් භික්‍ෂූන් සඳහා දනට ආරාධනා කළා.
මේ අවධියෙහි දන් සඳහා භික්‍ෂූන් මෙහෙයවීමේ කාර්යය භාරවී තිබුණේ
මහාපන්ථක හිමියන්ට. උන්වහන්සේ චුල්ලපන්ථක කුඩා හිමියන් හැර අන්
භික්‍ෂූන්ට දානය සඳහා වැඩම වීමට ආරාධනා කළා. මේ අවස්ථාවෙහි හඬමින් සිටි
චුල්ලපන්ථක හිමියන් බුදු ඇසට ලක් වුණා. මා නිසා පැවිද්ද ලබාගත් ඔබ
සිවුරු හැර යාමේ අදහස අත්හැර මෙම පිරිසුදු සුදුරෙදි කැබැල්ල ‘රජෝ හරණං,
රජෝ හරණං’ යනුවෙන් පිරිමදිමින් භාවනා කරන්න යැයි නියම කළා. ටික වේලාවක්
යන විට ඒ රෙදි කඩ කිලිටි වී අන්තිමේ දැලි වළඳක් පාටට පත් වුණා. එය සිතට
ගත් චුල්ලපන්ථක හිමියන් අප ශරීරය ද ලෝභ, ද්වේෂ, මෝහ ආදී බාහිර දේ නිසා
කිලිටට පත් වන බව ගැඹුරින් සිතත්ම සියලු කෙලෙසුන් පහකොට නිවන් අවබෝධ කර
ගන්න හැකි වුණා. ඒ සමඟම විවිධ රූප මැවීමේ ශක්තිය ඇති රූපාවචර ධ්‍යානය ද
පහළ වුණා.
බුදුපාමොක් සංඝ රුවන දානය සඳහා වැඩමවා අවසන් වූ විට ජීවකතුමා දානය
පිළිගන්වන්නට සැරසුණා. ඒ අවස්ථාවෙහි තවත් එක් නමක් විහාරයෙහි වැඩ සිටින
නිසා වහා ගොස් ඒ නම කැඳවාගෙන එන ලෙස බුදුරදුන් නියම කළා. ඒ සඳහා
පුරුෂයෙකු විහාරයට පැමිණෙන විට චුල්ලපන්ථක හිමියන් තම ධ්‍යාන බලයෙන්
විවිධ කටයුතු වල යෙදී සිටින දහසක් පමණ භික්‍ෂූන් මවා ආරාමයේ වැඩ
සිටියා. ආපසු ගිය පුරුෂයා මේ සිදුවීම, සැලකර සිටි කල්හි, චුල්ලපන්තක
හිමියන් කවුදැයි විමසා වඩමවාගෙන එන ලෙස බුදුන් වහන්සේ දැන්වූ සේක.
ඒ අනුව ගිය පුරුෂයා චුල්ලපන්ථක හිමි කවුදැයි විමසූ විට සියලු දෙනා
වහන්සේම තමා චුල්ලපන්ථක යයි පවසන්න පටන් ගත්තා. ආපසු ගිය පුරුෂයා ඒ බව
දැනුම් දුන් කල්හි නැවත විහාරයට ගොස් තමා චුල්ලපන්ථක යැයි පළමුව
ප්‍රකාශ කරන භික්‍ෂු නමගේ සිවුරු කොනින් අල්ලා වැඩමවාගෙන එන මෙන්
බුදුරදුන් නියම කළා. ඒ අනුව සිවුපිළිසිඹියා සහිත රහත් බව ලබා සිටි
චුල්ලපන්ථක හිමියන් ජීවකතුමාගේ නිවසට වැඩමවීමෙන් පසු දානය බුදුපාමොක්
සංඝරත්නය පිළිගත්තා.
තම සොහොයුරු හිමියන් විසින් බැහැර කරන ලද චුල්ලපන්ථක හිමියන් බලවත්
දුක් වේදනාවෙන් සිටිය දී මහා කාරුණික බුදුපියාණන් ඒ හිමියන් වෙත දිවැස්
යොමු කොට මෙයට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර බුදුරදුන් සමයෙහි මහ දන් දී
කළ ප්‍රාර්ථනයකට අනුව මේ ආත්මයෙහි රහත් බව ලැබීමට පමණක් නොව මහා
ශ්‍රාවක තනතුරක් ද ලැබීමේ වාසනාව ඇති බව වටහා ගෙන පිහිට වූ ආකාරය සෑම
දෙනාගේම ප්‍රසාදය පිණිස හේතු වුණා. මේ ආත්මයේ පමණක් නොව පෙර ද
බුදුරදුන් චුල්ලපන්ථක තෙරුන්ට පිහිට වූ බව සඳහන් වී තිබෙනවා.
දිගු කලක් කුසල් කරමින් පෙරුම් දම් පිරීමේ අනුහසින් මනෝමය කාය නිර්මාණය
කරන භික්‍ෂූන් අතර අග්‍රස්ථානය චුල්ලපන්ථක හිමියන්ට ලබා ගැනීමට පුළුවන්
වුණා. භාවනා කිරීමෙන් පඤ්චාභිඥා උපදවා ගත් කෙනෙකුට ඉද්ධවිධ ඤාණය
ලැබෙනවා. ඒ අනුව විවිධ රූප මැවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත්, උඩින්
යාම, නෙපෙනී යාම ආදී විවිධ දස්කම් දැක්වීමටත් පුළුවන් වන බව ධර්ම
ග්‍රන්ථ යන්හි පෙන්වා දී තිබෙනවා. කෙසේ වුවත් කිසිවක් නොහැකි යැයි
පසෙකට දා සිටිය චුල්ලපන්ථක හිමියන් උට්ඨාන වීර්යයන්, නිවැරැදි
ප්‍රඥාවත් මුල් කොට ක්‍රියා කිරීමෙන් ලබා ගත් මේ උසස් තත්ත්වය පිළිබඳව
අපි ද ගැඹූරෙන් සිතා බැලිය යුතු වෙමු.
|