UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යුතුකම හා වගකීම වටහා ගනිමු

කායික වාචසික සංවරය අපට සමාජීය දිවි පෙවෙතේ විශේෂයෙන්ම වැදගත්වන සාරධර්ම දෙකකි. නීතියට කළ නොහැකි බොහෝ දේ කායික වාචසික සංවර බවින් ඉටු කළ හැකි ය

‘විනයෝනාම ශාසනස්ස ආයු’ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම එයයි. විනය ශාසනයේ ආයුෂ බව අපට ඉගැන්වෙනවා.බුදුරජාණන් වහන්සේගේ චරිතය දෙස බැලූ විට වුව ද අපට පෙනී යන්නේ උන්වහන්සේ දහමට අනුව හැසිරී ඇති බවයි.

එමෙන්ම අධ්‍යාපනයත් සමඟ බොහෝ විට අපගේ හැසිරීම් රටාවන්ගේ වෙනස්වීම් ඇතිවන බව පැහැදිලියි. බොහෝ විට දැනුම වැඩිවන විට අධ්‍යාපනය වැඩිවන විට හැසිරීමේ ගුණාත්මක බවක් දක්නට ලැබෙනවා. උගත් වුවත්, නූගත් වුවත් හැසිරීමේ සංවර්ධනයක් නැත්නම් අන්‍යයන්ට ගැටලු ඇතිවන ආකාරයට දිවි ගෙවනවානම් එම චරිතය එම පුද්ගලයා සාමජයට හානිකර වෙනවා. මේ නිසා කුඩා කල සිටම දරුවන් තුළ තම හැදියාව ඇති කළ යුතු වෙනවා.

විශේෂයෙන්ම මේ හැදියාව පොදු ස්ථාන ආශි‍්‍රතව අප කෙරෙන් සදාචාරාත්මක ලෙස ප්‍රදර්ශනය විය යුතුයි.

විශේෂයෙන් රෝහල, පාසල, පන්සල, පොදු වාහන වැනි ස්ථානවල අන්‍යයන්ට කරදරයක් නොවන ලෙස අප දිවි ගෙවිය යුතුය.මං මාවත් වල ඇවිද යාමේදී පවා අපේ හික්මීම , සංවර බව, ඉවසීම ප්‍රදර්ශනය විය යුතු ය.

තම හිරි ඔතප් නොබිඳෙන අයුරින් හැසිරීම මෙහිලා බෙහෙවින් වැදගත් වනවා.

අචාර්යවරයෙකු වුවත් හැසිරීම් සංවර නොවන්නේ නම් ඔහු ආචාර්යවරයෙකු, ගුරුවරයකු ලෙස හඳුන්වන්නට බැහැ.

සමාජයට අවැඩක් වන අයුරින් කටයුතු කරන කිසිඳු අයකු එසේ ගුªරුවරයෙකු ලෙස හඳුන්වන්නට බැහැ.

අපේ ජීවිතයේ ප්‍රධාන ඉරියව් ප්‍රධාන කාර්යයන් හතරක් තිබෙනවා.

අප සිටගෙන සිටීමත්, ඉඳගෙන සිටීමත් ගමන් කිරීමත් නිදා ගැනීමත් යන ඉරියව්වලදී හැසිරිය යුතු ආකාරයත් අප හොඳින් අවධාරණය කරගත යුතු වෙනවා. මේ සිවු ඉරියව්වලදි තමන්ටත්, අනුන්ටත් කරදරයක් නොවන අයුරින් කටයුතු කිරීම වැදගත් වනවා. බුදු දහමේ තමන්ටත් අනුන්ටත් කරදරයක් හිරිහැරයක් වනවා නම් එය නොකළ යුතු නුසුදුසු ක්‍රියාවක් ලෙසින් හඳුන්වා තිබෙනවා.

මේ නිසා හැම විටම අප හොඳින් අවධානයෙන් කටයුතු කල යුතු වන්නේ අනන්‍යන්ට කරදරයක් ද්වේෂයක් ,ක්‍රෝධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමයි. එසේම සංවර බව හික්මීම අප ප්‍රදර්ශනය කළ යුතුයි. සියල්ලටම වඩා ඉවසීම වැදගත් වනවා.

රෝහලක හෝ වෙනයම් ස්ථානයක තම වාරය එනතුරු අසුන්ගෙන සිටින අවස්ථාවක හදිසි අවශ්‍යතාවයකට මඳක් ඉවතට යාමට සිදුවුවහොත් තමන් ඉවතට යා යුත්තේ කෙසේද? අවම වශයෙන් දෙපස සිටින දෙදෙනාට සුහදව කතා බහ කර ඔවුනට තම අවශ්‍යතාවය දන්වා යාම මෙහිදී අප අනුගමනය කළ යුතු වෙනවා. ඒ සඳහා තමන් කළ යුතු එකම කාර්යය මිත්‍රශීලි බවය. පි‍්‍රයවචනයයි, සතර සංග්‍රහ වස්තුවල අඩංගු පි‍්‍රය වචනයට කෙතරම් බලසම්පන්න විය හැකිදැයි මෙයින් පැහැදිලිව පෙනේ.

එමෙන්ම කරුණාව, දයාව, මෛත්‍රිය වැනි ගුණාංග මෙහිදී අන් අයත් අවබෝධ කරගෙන සිටිය

යුතු වනවා. එවිට තමන්ට මෙන් අන් අයගේ අවශ්‍යතාවය මැනවින් අවබෝධ කරගත හැකිවනවා.

‘අත්තානං උපමං කත්වා ‘

තමන් උපමා කරගෙන අන් අයගේ අවශ්‍යතාවය ගැන විමසිලිමත් වන්න.අවබෝධ කර ගන්න. තමන්ගේ අවශ්‍යතාවය මෙන්ම අන් අයගේ අවශ්‍යතාවය ගැනද සිතන්නේ නම් කිසිවිටක ගැටලු ඇති නොවේ.

කායික වාචසික සංවරය අපට සමාජීය දිවි පෙවෙතේ විශේෂයෙන්ම වැදගත්වන සාරධර්ම දෙකකි. නීතියට කළ නොහැකි බොහෝ දේ කායික වාචසික සංවර බවින් ඉටු කළ හැකිය.

මේ නිසා පාසලක ගුරුතුමියගේ විදුහල්පතිවරයාගේ මූලිකම කාර්යයක් විය යුත්තේ සදාචාරය හික්මීම ඇති කිරීමයි.

බුදු දහමේ ‘වැසිකිලි වත’ පවා වෙනම උගන්වා තිබෙනවා. හිරි ඔතප් සහිතව දිවි ගෙවන ඕනෑම පිරිසකට තම ඕනෑම අවශ්‍යතාවක් ඉටුකර ගත හැක්කේ සදාචාර ලෙසින් පමණයි.

බස් රථයක දුම්රියක අසුන් ගෙන යන විට යාබද අසුනේ සිටින තැනැත්තාට හිංසා වන අයුරින් නිදා වැටෙන පිරිස කෙතෙක් සිටිනවාද?

සිටගෙන යාමෙදී තම කුඩය ගමන් මල්ල තවත් අයට හිරිහැරයක් කරදරයක් වන අයුරින් රැගෙන යන පිරිස කෙතරම්ද?

පාසල් දරුවන් විශාලය. පාසල් බෑග් පිටේ එල්ලගෙන බස් රථය තුළ ඉදිරියට ඇදෙන්නේ දෙපස සිටින පිරිසට හිරිහැර වන අයුරින්. ඉහත කීවාක් මෙන් පාසලෙන් දහම් පාසලෙන් මේ ශික්ෂණය ඇති කළ යුතුයි. ඉගැන්විය යුතුයි.

තවත් දරුවන් රංචු පිටින් බස් රථයක දුම්රියක මඟ අහුරාගෙන සිටිනවා. මේවා නිතරම දකින දසුන් බවට පත්වේ. අන්‍යයන්ට කරදරයක් හිරිහැරයක් නොවන ලෙස ජීවත්වීමට දරුවන්ට ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක වී තිබෙනවා ද?

‘දරුවන් යහපතෙහි යෙදවීම’ මව්පියන් අතින් සිදුවී ඇත් ද? සාමානාත්මතාවය අගයන සමාජයක් වෙත අපේ දූ දරුවන් යොමු වී නැහැ. එහි හානිය අපේ අනාගත පරපුරටයි.

රෝගියෙක් වැඩිහිටියෙක් දුටු විට අසුනින් නැඟිට ඉඩ ලබාදීම බෞද්ධ රටක් ලෙස අපේ සංස්කෘතියට උරුම වුවක්. එහෙත් අද එවැනි අයකු දුටු විට ඉවත බලා ගැනීම නිදා ගැනීම අපේ සිරිතක් වෙලා.

ගැබිනි මවක් හෝ අතදරුවකු වඩා ගත් මව්වරුන් උදෙසා අසුන් වෙන් කර තිබුණත් එම ආසනවල අසුන් ගෙන සිටින අය ගැබිනි මවකට හෝ අත දරුවකු වඩාගත් අයට අසුන ලබාදීමට පවා මැලිවනවා.

බොහෝ විටම එවැනි මව්වරුන්ට අසුන ලබා දෙන්නේ පුරුෂ පක්ෂයෙන් තරුණියක් අසුනින් නැඟිට එය පරිත්‍යාග කරන්නේ නම් ඒ ඉතාම කලාතුරකින්.

සාරධර්ම ඇගැයීම සඳහා සාරධර්ම රැක ගැනීමට ස්ත්‍රි පුරුෂ බව හෝ දුප්පත් පොහොසත් භේදයක් නැහැ. එමෙන්ම තනතුර ,මුදල් පුද්ගලයාගෙන් වැඩක් නැහැ.

භික්ෂූන් වහන්සේ නමක් බස් රථයකට ගොඩ වූ අවස්ථාවකදී අසුන ලබාදීමට මැලිවන සමහර පුද්ගලයන් අද සාමජයේ සිටිනවා. භික්ෂූන් වහන්සේ දුම්රියට ගොඩ වූවහොත් අන් අය අසුනක් ලබා දෙන තුරු බලා සිටිනවා.

තම නිවසට භික්ෂූන් වහන්සේ වැඩම කරවා සුදු වස්ත්‍ර දමා ආසන පනවා ගෞරව කරන අපට දුම්රියේදී බස්රියේදී සුදුවස්ත්‍ර නොමැතිව තමන් අසුන්ගෙන සිටින අසුන පරිත්‍යාග කිරීමට ගෞරවයක් පහළ නොවන්නේ ඇයි? ශික්ෂණයක් නොමැතිවීම මීට හේතුවයි. අපේ සාරධර්ම බිඳ වැටිලා. තම අයිතිය උදෙසාම සිතිවිලි ඇති කරගනු ලබන රටක අප අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ තම වගකීම යුතුකම ගැන මෙනෙහි කිරීමයි.

සිඟාලෝවාද සූත්‍රයේ පැහැදිලිව තම වගකීම් හා යුතුකම් ගැන දක්වා තිබුණේ අප සමාජයේ බොහෝ දෙනෙකුට වගකීම් හා යුතුකම් මතක නැහැ.

මේ නිසා ගැටුම්කාරී මානසික පීඩනයෙන් යුත් සමාජයක් මතුවෙලා. පන්සලක් දකින විට අප අසුනින් නැඟිටින්නේ පුරුද්දකට ද? නැත්නම් අන් අයට තමන් ආගමට දහමට ගරු කරන බව පෙන්වීමට ද? එහෙමත් නැත්නම් සැබවින්ම බුදු දහමට ගරුකරන අයෙකු නිසා ද?

මඳක් කල්පනා කර බලන්න. සැබැවින්ම බුදු දහමට ගරු කර විහාරස්ථානයක් අසලින් යන විට බස් රථයෙන් අසුනින් නැඟී සිටින්නේ නම් අනෙක් ගුණධර්ම ඔබ සතුව තිබෙනවා යැයි සිතා අප අපව රවටා ගත යුතු ද? එසේත් නැත්නම් අප සැම බෞද්ධයන් විය යුතු ද?

සාරධර්ම ඇගැයීමට නම් අප සාමජයේ පොදු කටයුතුවලදි මෙන්ම පිරිසක් සමඟ එකම අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමේදී ඉවසීම, කරුණාව , දයාව සමානාත්මතාව, පි‍්‍රය වචනය, වැනි ගුණාංග වලින් යුක්ත විය යුතු ය. නැතහොත් අප නාමික බෞද්ධයන් පමණක් වනු ඇත.

 

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk