UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත නතර කර ගන්න

ශබ්දයෙන්ද සිත රඳවා තැබිය හැකි ය. තාලානුකූල, රිද්මයානුකූල, මිහිරි ශබ්ද ශ්‍රවණය කිරීම තුළින් සිත සන්සුන් කරගැනීමට හැකි වනවා මෙන්ම ඝෝෂාකාරී හඬ සිත කලබල කිරීමට හේතුවේ. සිත කලබල වූ විට ශරීරයේ අනෙක් හැම ක්‍රියාකාරකමක්ම එයට අනුගත වෙයි.

සිතෙහි ස්වභාවය පිළිබඳ බුදුසමයෙහි විවිධ ආකාරයේ ඉගැන්වීම් තිබේ. සෙවිළි නොකළ වහළ නිවස වැස්සෙන් බේරා ගැනීමට අසමත් වෙයි. මැනවින් සෙවිලි කළ වහළ එසේ නොවේ. මහවැස්සක් වැස්සත් නිවැසියන්ට නොතෙමී සිටිය හැකි ය. මැනවින් සෙවිළි කළ වහළ සහ මැනවින් සෙවිළි නොකළ වහළ සිතට උපමාකරගෙන දෙසූ දහම් පදයක් අද අපි අහමු.

සිත මොනවගේදැයි නිශ්චිතව නිවැරදිව අර්ථ විග්‍රහ කොට දැක්වීම තරමක් අපහසු කාර්යයක් වුවත් මනාව වඩන ලද පුරුදු පුහුණු කරන ලද සිත (සුභාවිතං) සහ එසේ නොකරන ලද සිත බුදුරජාණන් වහන්සේ මෙහිදී වහළට උපමා කර ඇත. මැනවින් සෙවිළි නොකරන ලද වහළ වැස්සෙන් නිවැසියන් ආරක්‍ෂා කිරීමට අසමත් ය.

එය හරියට මැනවින් පුරුදු පුහුණු නොකරන ලද නොවඩන ලද සිත වගේ ය. එබඳු සිතකට වහා සරාගී සිතිවිලි ඇතුළත් වෙයි. සිත මැඩගෙන ඒවා ඒ ඒ හැඟීම් මතුවෙයි. ඒ හැඟීම් විසින් එම පුද්ගලයාද සිතද විනාශ කර දමන අවස්ථා තිබේ.

මනාව පුරුදු පුහුණු කළ සිතක් කෙනකුට තිබේ නම් එම සිත මැනවින් පුරුදු පුහුණු කරපු නිසාම තමන්ට අවශ්‍ය විදිහට සිත හසුරුවා ගැනීමට හැකියාව තිබේ. සරාගී සිතිවිලි සිතට නැගුන ද එම සිතිවිලි වලට සිත අභිභවා යාමට අවස්ථාව නොලැබේ. එය හරියට කොතරම් තදින් වැසි වැස්සත් හොඳින් සෙවිලි කළ නිසා එම ජලය නිවස තුළට නොවැටී ඉන් පිටට වැටෙනවා වගේ ය.

බුදුදහමෙහි උගන්වන්නේ සිත සියල්ලටම ප්‍රධාන වන නමුදු ඒ සිත තමන්ට අවශ්‍ය විදිහට හසුරුවා ගැනීමට අවබෝධ ඇති මිනිසා සමත් වන බවයි. එය බුදුදහමෙහි දක්වා ඇත්තේ භාවිත යන වචනයෙනි. භාවිත යනු ‘වඩන ලද’ ය. පුරුදු පුහුණු කරන ලද තමාට අවශ්‍ය විදිහට හැසිරවිය හැකි යන තේරුම් එහි ඇත. ‘අභාවිත’ යනු එයට විරුද්ධ අර්ථයක් ඇති වචනයයි. මැනවින් සිත පුරුදු පුහුණු කිරීම ‘සුභාවිත’ යන වචනයෙන් හැඳින්වෙයි.

මෙහිදී රාගය යන හැඟීම සමාන කරනු ලැබ ඇත්තේ වැසි ජලයට බව පෙනේ. ජලය මිනිසාට ජීවත් වීම සඳහා අවශ්‍ය නමුදු ඇතැම් විට ඒ ජලයම තමාගේ ජීවිතය විනාශ කිරීමට ද සමත් වෙයි.

රාගය, ආලය සාමාන්‍ය මිනිස් මනසෙහි පවතින චෛතසිකයක් නමුදු එහි අගතිගාමී වීම සුදුසු නැත යන්න මින් කියවේ. එසේ අගතිගාමි වීමෙන් තමාගේ ද ඇතැම් විට අන්‍යයන්ගේ ද විනාශයට හේතු වෙයි.

සිත පාලනය කර ගැනීම සඳහා විවිධ අය විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරති. සංගීතය, ගීතය, වෙනත් ක්‍රියාකාරකම් තුළින් මනසෙහි ඒකාග්‍රතාවයක් ඇතිකර ගැනීමට ඇතැම්හු උනන්දු වෙති. භාවනා විධි ක්‍රමද ඇතැමුන් මෙහිලා අනුගමනය කරනු ලබන බව පෙනේ. ඇසට නොපෙනෙන සිත රඳවා ගත හැකි විදි කිහිපයකි. එනම්, සිත බලාපොරොත්තු වන ස්වභාවය සොයාගැනීම, සිත නිතර ජීවත් වන්නේ රූපවල හෝ ශබ්දවලය. ඒ අනුව රූපයක් දෙස බලාගෙන සිත එහි නතර කිරීමට හැකි ය. ‘දස කසින’ ආදී භාවනා ක්‍රමවලද රූපයක් ඉදිරිපස තබාගෙන භාවනා කිරීමට උගන්වයි.

එසේම ඇතැම් භාවනා ක්‍රමවල දී බුදුපිළිමයක් හෝ එවැනි රූපයක් තමන් ඉදිරිපස තබාගැනීමට හෝ හැකිනම් මනසින් මවාගැනීමට හෝ උපදෙස් දෙන්නේ රූපයෙහි සිත නතර කරගත හැකි නිසා ය. චිත්‍ර ඇඳීම, පරිසරය නැරඹීම, නිවසෙහි බඩුමුට්ටු පිළිවෙළට ගොනු කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් සිත ඉක්මනින් කලබල වන කෙනෙකුට එකී ස්වභාවය අඩුකර ගැනීම සඳහා උපකාරීවන ක්‍රමවේදයකි.

ශබ්දයෙන්ද සිත රඳවා තැබිය හැකිය. තාලානුකූල, රිද්මයානුකූල, මිහිරි ශබ්ද ශ්‍රවණය කිරීම තුළින් සිත සන්සුන් කරගැනීමට හැකිවනවා මෙන්ම ඝෝෂාකාරී හඬ සිත කලබල කිරීමට හේතුවේ. සිත කලබල වූ විට ශරීරයේ අනෙක් හැම ක්‍රියාකාරකමක්ම එයට අනුගත වෙයි.

පිරිත්පොත, ගාථා තාලයට කීම, පාඩම් පොත ශබ්ද නගා කීම මෙන්ම ඒවායේ අර්ථයද විමසමින් තාලයට කීම සිත පාලනය කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි හොඳ ක්‍රියාකාරකමකි. මානසික ආවේග පාලනය සඳහා ද තාලානුකූල ගායනය හේතුවෙයි. ඇතැම් භාවනාක්‍රමවලදී ශබ්ද නගා කීම සඳහා ද අවස්ථා ලබාදෙයි. නිදසුනක් හැටියට මෛත්‍රි භාවනාව දැක්විය හැකි ය. ශබ්ද නගා කීම තුළින් සිත අයාලේ නොදුවමින් තමාට අවශ්‍ය විදිහට හැසිරෙන්නට පටන් ගනී.

බුදුහිමියන් මෙහිලා දක්වා තිබෙන්නේ සිත කොයි කාටත් පවතින එකක් නමුදු නොදැමුණු මිනිසා ඔහුගේ සිතෙහි හටගන්නා සිතිවිලි වලින් විනාශ කර දමනු ලබන බවයි. නමුත් අවබෝධ පූර්වක මිනිසාගේ සිත එසේ නොවේ. කුමන විදිහේ අරමුණු ආවද ඔහු එම හැඟීම්වලට තමන්ගේ සිත අභිභවා යාමට ඉඩ ලබාදෙන්නේ නැත.

එය ඔහු කරනු ලබන්නේ ජීවිතය පුරා ඔහු ලද අත්දැකීම් තුළින් සහ ධර්මාවබෝධය තුළින් ඔහු ලැබූ අවබෝධය පෙරදැරි කරගෙනය. සිතෙහි ස්වභාවය ක්‍ෂණයෙන් වෙනස්වන නමුදු නිසි අවබෝධයක් ඇති මිනිසා තමන්ට සහ සමාජයට යහපතක් ප්‍රයෝජනයක් වන විදිහට සිත හසුරුවා ගනු ලබන බව මින් පැහැදිලි වේ.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]