UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තෘෂ්ණාවේ කඳු කඩන්න දන්දීමට පුරුදු වන්න

දානයේ අර්ථය දීමයි. බුදුරදුන් දානය හඳුන්වා දී ඇත්තේ තෘෂ්ණාව ක්‍ෂය කරගැනීමේ මාධ්‍යයක් හැටියටයි. දානය යන්නෙහි සංස්කෘතික අර්ථයකුත්, දාර්ශනික අර්ථයකුත් තිබෙනවා. අද දානය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ සංස්කෘතික අර්ථයකිනුයි. සාංඝික දාන, දන්සැල් ආදී වශයෙන් දානවර්ග බොහොමයක් වෙනවා. මේ දාන සියල්ල සංස්කෘතික දාන ගණයට අයත් වෙන්නෙ. මෙම දානයන් තුළ දානයක මූලික හරය ගැන කතා කරනවාට වඩා වෙන වෙන ආකෘතික, බාහිර ස්වරූපයන් තුළින් දානය තක්සේරු කරනවා. තවත් අයුරකින් සඳහන් කළොත් යම් අයෙක් හිඟන්නකුට කෑමවේලක් දීමෙන් කෙනෙක් හාමුදුරුනමකට දාන වේලක් දීමත් යන දෙකම දාන වුණත් සංස්කෘතික අර්ථය අනුව ගත්විට එකක් වෙන්නෙ නැහැ.

සාංඝික දානයක් ගත් විට එහි සංස්කෘතික අර්ථයක් පවතිනවා. ඊටම අදාළව සංස්කෘතිකව ගොඩනැගුණ ක්‍රමපටිපාටියක් පවතිනවා. ඒ තුළ දාර්ශනිකව දානයේ අර්ථය විග්‍රහ වෙන්නෙ නැහැ. දාර්ශනික අර්ථය විග්‍රහ වෙනවානම් දාර්ශනික තේරුම, බලාපොරොත්තුව අපේක්‍ෂණය කුමක්ද ? යන්න කතා කළ යුතුවෙනවා. නමුත් එහෙම වෙන්නේ නෑ.

හාමුදුරුවරු සඳහා දෙන දානයේ සංස්කෘතික පැතිකඩක් පවතිනවා. හාමුදුරුවරු දහනමක් වඩමවලා දන් දීම, හත් නමක් වඩමවලා දන් දීම, උපසම්පදා හතර නමක් වඩමවලා දන් දීම මේවා සංස්කෘතික පිළිගැනීම්.

වෙසක් මාසයට දෙන දන්සැල් වලට අදාළ වෙනම සංස්කෘතියක් ගොඩනැගී තිබෙනවා. මෙවැනි සියලු දානයන්හි ඉස්මතුව පෙනෙන්නේ සංස්කෘතික ලක්‍ෂණයන්. මූලික පරමාර්ථයට හෝ හරයට දානය කියන එකේ නිසි වැඩපිළිවෙළ ළඟා වෙන්නේ නැති තරම්. දානය තුළින් බුදුන්වහන්සේ බලාපොරොත්තු වූ අර්ථය ඊට හාත්පසින්ම වෙනස් වෙනවා.

දානංච සීලංච නෙක්ඛම්මං
පඤ්ඤා විරියේන පඤ්චමං
ඛන්තී සච්ච මදිට්ඨානං
මෙත්තු පෙක්ඛා ඉමේ දස

යනුවෙන් සඳහන් කළ පාරමිතා දහයේ පළමුවැන්න දානයයි.

දානංච සීලං පරිච්ඡාගං

අජ්ජවං මජ්ජවං තපං... යනාදී වශයෙන් සඳහන් කළ දස සක්විතිවත්වල පළමුවැන්න දානයයි.

දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව වශයෙන් දේශනා කළ සතර සංග්‍රහ වස්තුවලත් පළමුවැන්න, වූයේ දානයයි.

මේ ආකාරයෙන් සෑම දෙයකදීම දානයට පළමුතැන ලබාදෙමින් ඊට වටිනාකමක් ලබාදීලා තිබෙනවා. දානය පිළිබඳව සංස්කෘතික පිළිගැනීමක් ලබාදෙමින් කතා කිරීම සුදුසු වෙන්නෙ නැහැ. දානයේ පරමාර්ථ වශයෙන් වටිනාකම වටහා ගතයුත වෙනවා. දානයක් දීම තවත් එක්තරා ක්‍රියාවක් පමණක් නෙමෙයි. තවත් අයුරකින් කියනවානම් ඔබත්, මමත්, රටත් දන්න විදිහට දැනට දානය ගැන විග්‍රහ වෙන්නේ අයිසෙක් නිව්ටන්ගේ ‘ නිව්ටෝනියානු’ තුන්වෙනි තර්කය වන ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර තිබෙන සම්බන්ධය වගේ එකක් කියලායි සිතන්නේ.

‘ නිව්ටෝනියානු ‘ තර්කයට අනුව රබර් බෝලයකින් බිත්තියකට පහරක් ගැසූ විට බිත්තියේ සාපේක්ෂතාවයට අනුව, ඝනත්වයේ සාපේක්‍ෂතාවයට අනුව හැඩයේ සාපේක්‍ෂතාවයට අනුව රබර් බෝලයේ ඝනත්වයේ සාපේක්‍ෂතාවය අනුව බෝලය ආපසු පැමිණෙනවා. එසේ ක්‍රියාවක් සිදුකළ විට ප්‍රතික්‍රියාවක් සිදුවෙනවා. ඕනෑම ක්‍රියාවක ස්වභාවය එයයි. මේ අයුරින් දානය විග්‍රහ කළ විට දානයට විපාකයක් පවතිනවා. දන් දුන් විට සැප විපාකයක් අත්වෙනවා. සැබවින්ම ඒ තුළ පවතින්නේ ගනුදෙනුවක්.

බුදුහාමුදුරුවන්ගෙ දානය ලෙස සඳහන් කළේ එහෙම එකක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කළ දානය තුළ ක්‍රියාව, ප්‍රතික්‍රියාව, ප්‍රතිඵලය යන ත්‍රිත්ව ලක්‍ෂණයම පවතිනවා.

‘දුන්නොත් දානය ලැබෙයි නිධානය’ යන අදහස අනුව නිධාන ලැබීමේ අපේක්‍ෂාවෙන්ම දන්දීම නියමාකාර දානයක් වෙන්නෙ නැහැ.

පුද්ගලයා තුළ වර්ධනය වන්නා වූ කිසියම් මනෝභාවයන් රැසක් සංවර්ධනය කරනු සඳහා දානය මාධ්‍යයක් වෙනවා. දන්දීමේ ප්‍රතික්‍රියා තිබෙනවා තමයි. දන්දෙන්නේ සැප විපාක ලබනු සඳහා නෙමෙයි. තමා ළඟ ඇති දේවල් ටිකෙන් ටික ඉවත් කිරීමට පුරුදු කිරීම සඳහායි. නැති කෙනෙකුට භෞතිකව යමක් පරිත්‍යාග කිරීමෙන් අත්හැරීම පුරුදු වෙනවා. ප්‍රතික්‍රියාව විය යුත්තේ එයයි. දීමෙන් ලැබීමත් බලාපොරොත්තු වීම බාල ගනුදෙනුවක්.

අත්හැරීම ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. අතහැරලා සතුටුවීම තමයි දානයක් තුළින් සිදුවිය යුත්තේ. බුදුහාමුදුරුවෝ දාන දෙන්න කිව්වේ ලෝභකම දුරලා පරිත්‍යාගය තුළින් අත්හැරීම ප්‍රගුණ කිරීම සඳහායි. අතහැරීම පුරුදු කළොත් තමයි නිවන් මගේ අනෙක් පියවර කරා ගමන් කළ හැක්කේ. සියලු බැඳීම් ද ජීවිතය ද සංසාරය ද පහසුවෙන් අතහරින්න පුරුදුවන්නේ අර්ථය වටහාගෙන දන්දීමට පුරුදු කළ විටයි.

ජීවිත කාලය පුරාම අතහරින පුද්ගලයාගේ භවගාමී සසර යහපත් වෙනවා. ගොඩගසාගන්නා පුද්ගලයා ජීවිත කාලයම භවගාමී සසර පුරා දුක් වෙනවා.

දස සක්විතිවත්, දස රාජධර්ම දස පුණ්‍ය ක්‍රියා, දස පාරමී, සතර සංග්‍රහ වස්තු යනාදී සෑම ස්ථානයකදීම බුදුරදුන් පළමුතැන දානයට ලබා දුන්නා. උන්වහන්සේ එසේ කළේ සිත් තුළ පවතින දැවැන්ත තෘෂ්ණා කන්ද ටිකෙන් ටික කඩා බිඳ දමලා කුඩු කරලා අයින් කරන්න පුළුවන් ශක්තිය ප්‍රතිශක්තියක් ලෙස පුද්ගලයා තුළ සංවර්ධනය වීම අපේක්‍ෂා කළ නිසයි.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]