UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දැන් බුදුදහම පිළිබඳ ලොව පුරා වඩාත් ප්‍රභාෂ්වර දැක්මක් ඇතිවී තිබෙන බැවින්,මෙ දෙදහස් හයසියයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ද ශාසනික චිරස්තිථිය අරමුණු කරගෙන දූරදර්ශී ක්‍රියා මාර්ගයක් විධිමත් ලෙස දියත් කිරීම අපේ නූතන පැවිදි ගිහි පරපුර වෙත පැවැරී ඇති වැදගත් ම කටයුත්තකි

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව වසර දෙදහස් හයසියයේ මහෝත්සවය ඉකුත් වෙසඟ පුර පසළොස්වක පෝදා සිට එළැඹි වර්ෂය තුළ පැවැත්වේ. ඒ වෙනුවෙන් ශාසනික චිරස්ථිතිය සඳහා ක්‍රියාමාර්ග රාශියක් දියත් කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු බෞද්ධ රාජ්‍ය දහනවයක් විශේෂයෙන් දැනට කටයුතු යොදාගෙන යති. මේ අතර ලාංකික භික්‍ෂූන් වහන්සේට ද මෙරට බෞද්ධ ජනතාවට ද විශේෂ කාර්ය භාරයක් පැවැරී ඇත. උරුමයක් වශයෙන් බුදුදහම මෙතෙක් අපේ භික්ෂූන් වහන්සේ සහ ගිහි ජනතාව මහත් කැපවීමෙන්, ජීවිත පූජාවෙන් රැකගෙන ආහ. බුදුදහම ලෝක ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු යෙදූ ධර්මාශෝක මහා රාජයාට පවා ධර්මය ග්‍රන්ථාරූඪ කොට තැබීමට අවස්ථාවක් නො ලැබුණි. සසුනේ චිරකාලීන පැවැත්ම පිණිස ඒ උදාර කාර්ය භාරය ඉටුකළේ ලාංකික භික්ෂූන් වහන්සේය.ඒ වළගම්බා රාජ්‍ය සමයේදීය.

එසමයෙහි බැමිණිතියා සාය නමින් දොළොස් වසරක දුර්භික්ෂයක් පැවැති අතර අභ්‍යන්තර රාජ්‍ය අවුල් වියවුල් හටගැනීම නිසාද මෙරට මහත් සේ පිරිහීමට පත්ව තිබුණි.

ශ්‍රී ලංකාව ඒ දුෂ්කර අවස්ථාවෙන් මිදෙත්ම මහා විහාරීය ථේරවාදි අපේ භික්ෂූ පරපුර දූරදර්ශී නිගමනයකට බැසගත්හ. “මෙතෙක් බුදුරදුන් දවස සිට පරපුරෙන් පරපුරට කටපාඩමෙන් පවත්වාගෙන ආ ධර්මය - දැරූ විශාල සඟ පිරිසක් අභාවයට පත්වූහ. එබැවින් මේ දුෂ්කර සමය ගෙවා දැනට ජීවත්ව සිටින කටපාඩම් ඇති ත්‍රිපිටකධාරි තෙරවරුන් රැස්කොට ගෙන ත්‍රිපිටක ධර්මය ලේඛන ගත කරමු” යි යන්න ඒ බුද්ධිමත් තීරණයයි. වළගම්බා රාජ්‍ය සමයෙහි රජයේ කිසිදු සහභාගිත්වයක් නො ලබා, එදා සිටි ප්‍රභූ බෞද්ධ නායකයන් සහ මහ තෙරවරුන් මාතලේ අළුලෙන්හි දී සිදුකළ උදාර කාර්ය නිසා අද දක්වා ලක්දිව බෞද්ධ කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇත. එදා එයාකාරයෙන් ගොඩනඟාගත් ඒ බෞද්ධ ජවය මේ දක්වා ම අදීනව පවත්වා ගෙන යෑමට මෙරට බෞද්ධ ජනතාව සමත්වීම කියා නිම නො කළ හැකි තරම් ලියා නිම නො කළ හැකි තරම් අගය කළ යුත්තකි.

දැන් බුදුදහම පිළිබඳ ලොව පුරා වඩාත් ප්‍රභාෂ්වර දැක්මක් ඇතිවී තිබෙන බැවින්,මෙ දෙදහස් හයසියයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ද ශාසනික චිරස්තිථිය අරමුණු කරගෙන දූරදර්ශී ක්‍රියා මාර්ගයක් විධිමත් ලෙස දියත් කිරීම අපේ නූතන පැවිදි ගිහි පරපුර වෙත පැවැරී ඇති වැදගත්ම කටයුත්තකි. එහි ලා භික්ෂූන් වහන්සේගේ උන්නතියට අදාළ කාර්ය භාරයක්, අපේ ගිහි ජනතාව වෙත පැවැරී ඇති කාර්ය භාරයක් මැනැවින් දැනගත යුතුව තිබේ. පළමුව අපි පැවිදි පක්ෂය ගැන සලකා බලමු. මහා සංඝයා වහන්සේට අද බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී ඇත. ‘කුඩා පවුල රත්තරන්’ යන තේමාව යටතේ දැනට වසර තිහ හතළිහකට පමණ පෙර ආරම්භ කළ අදූරදර්ශි ක්‍රියාදාමය දැන් නගර නියම්ගම් පමණක් නොව ඈත එපිට අතිදුෂ්කර පිහිටි දෙණිවල පවා පැතිරගොස් ඇත. මේ කාරණය නිසා බොහෝ විට පවුලක සිටින්නේ එක දරුවෙක් නැත්නම් දෙදෙනෙකි. ඒ දරුවන් දෙපොළ ද බොහෝ විට දුවක හා පුතෙකි. මේ කරුණ දක්වමින් “අනේ හාමුදුරුවනේ, අපට ඉන්නේ මේ පුතාත් දුවත් පමණ යි. මහණ කරන්නට දෙන්නේ කොහොම දැ”යි පසු බසිති. පැවිද්දට දරුවන් නො ලැබීමට අද ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙයයි. මීට වසර පනහකට හැටකට පෙර පවුලක දරුවෝ අඩුම තරමින් හතර දෙනෙක් හා පස් දෙනෙක් සිටියහ. ඇතැම් පවුල්වල හත් අට දෙනා සිටියහ. දරුවන් වැඩි පවුල් සෞභාග්‍යසම්පන්න, සම්පත් ලැබෙන පවුල් වශයෙන් පිළිගෙන තිබුණි. එහෙත් ඒ වාසනාවන්ත වකවානුව ඉක්මගොස් අද දරු සම්පතෙන් පිරිහුණු පිරිසක් බවට සිංහල වර්ගයා පත්ව ඇත.

වාසනාවන්ත දරුවන් පැවිද්දට පත්කිරීම අපේ රටේ පැරැණි සමාජය තුළ පැවැති චාරිත්‍ර ධර්මයකි. ඒ පින්වත් දරුවෝ පැවිද්දට පත්ව සාමණේර සීලය නිසි පරිදි රැක ගනිමින් මූලික අධ්‍යාපනය ලබා විසි වයස් ඉක්මෙත් ම උපසපන් බවට ද පත්ව ත්‍රිපිටක ධර්මයට හා භාෂාන්තර ඥානයන් හි නිපුණතාව ලබා පිළිගත් තත්ත්වයට පත්වේ. ඔවුන් සහජයෙන් ම ලජ්ජා භය දෙකින් යුක්තය. පැවිද්දට පත්වීමෙන් පසු ගුරු ආශ්‍රයත් දැන උගත්කමත් නිසා සමාජය නිසි මඟ මෙහෙයවිය හැකි ගුණගරුක පුද්ගලයෝ වෙති. ශාසනාභිවෘද්ධියට එදා මෙදා තුර මහත් ශක්තියක් වූයේ මේ ප්‍රවණතාවයි. එහෙත් රටේ අවසනාවට මෑත අතීතයෙහි බිහිවූ විසම දේශපාලන දෘෂ්ඨි අපේ ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේ වෙත ද වසංගතයක් මෙන් බෝවීමෙන් උන්වහන්සේ නොමඟට ඇදගෙන ගොස් ඇත. සමහර විසම මතධාරින් කුඩා සාමණේරයන් වහන්සේ සහ තරුණ භික්ෂූන් වහන්සේ දායක භවතුන් කෙරෙහි සහ ගුරුවරුන් කෙරෙහි කලකිරවා කුපිත කරවා තම දේශපාලන කටයුතුවලට යොමුකරවා ගැනීම ද නූතන බුදුදහමට මුහුණ පෑමට සිදුවී ඇති තවත් තර්ජනයක්ව තිබේ. ඒ අතර දීප්තිමත් අනාගතයක් පෙනෙන තරුණ භික්ෂූන් වහන්සේ අන්‍ය දෘෂ්ඨිවලට හරවා උපැවිදි කරන දේශීය, විදේශීය බලවේගද ඇත.මේ සම්බුද්ධත්ව ජයන්ති වකවානුවේ දී මේ ව්‍යසනයෙන්ද සසුන බේරා ගැනීමට බුද්ධිමත් වැඩපිළිවෙළක් යොදාගත යුතුව ඇත.

තවත් කරුණක් දැක්විය යුතුමය. එනම් අපේ නගර ගම් නියම්ගම්වල පිහිටි, ඉතා දුක සේ පවත්වාගෙන යනු ලබන පිරිවෙන්වල තත්ත්වය උසස් බවට පත්කරීමයි. එවැනි අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන පිරිවෙන්වලට අවශ්‍ය බංකු, පුටු ආදි උපකරණ පමණක් නොව වැස්සෙන්, අව්වෙන් නිසි පරිදි ආරක්ෂා වියහැකි මනා ගොඩනැඟිලි තනා දීම ද අවශ්‍ය පොත පත සපයා දීම ද කළ යුතුය. භික්ෂූන් වහන්සේ දසසිල් මෑණිවරු සහ ගිහි ගුරුවරු ද පිරිවෙන්වල අධ්‍යාපනය ලබා දෙති. ඒ අයගෙන්ද අදටත් වඩා ලැදිකමකින් යුතුව මෙම සේවය ඉටුකරවා ගැනීම පිණිස රාජ්‍ය වශයෙන් අත හිත දිය යුතය. පිරිවෙන් ගුරුවරුන්ගේ පඩි නඩි පිළිබඳ විශ්‍රාම වැටුප් සම්බන්ධව සහ නේවාසික පහසුකම් ගැන කොතෙකුත් කැකෑරෙන ප්‍රශ්න ඇත. ඒ පිළිබඳ විධිමත් අවධානයක් අප කා වෙතිනුත් යොමු නොවන බව කනගාටුවෙන් වුව ද කිවයුතුව තිබේ. මේ ප්‍රශ්න විසැඳීමටද සම්බුද්ධත්ව ජයන්ති සැලසුම්වලට අනුගත කොට කටයුතු කිරීමට උනන්දු විය යුතුය.මෙහිලා රජයට අවශ්‍ය උපදෙස් ලබා දීමට ශාසනාරක්‍ෂක මණ්ඩලවලට පැහැදිලි දැනුමක් සහ අවබෝධයක් තිබේ. එයින් ද ප්‍රයෝජන ගැනීම සුදුසුයි. සඟ පිරිස වැඩි වන්නේ මෙවන් කරුණු පිළිබඳ සලකා බලා කටයුතු කිරීමෙනි.

තවද කාන්තා සමිති, දායක සභා, ළමා සමිති සහ දහම් පාසල් ආදියෙහි පුනරුදය පිණිස වඩ වඩාත් ක්‍රියාත්මක විය යුතුව ඇත. බාල, තරුණ සිත් සතන් පෙරහර, නාට්‍ය, සංගීතය සහ චිත්‍ර ආදියට බෙහෙවින් නැඹුරු බැවින්, එම අංශ ධර්ම රසයෙන් පෝෂණය කිරීමය. ඒ ඒ විෂය ධාරා පිළිබඳ වියතුන්ගේ සහාය ලබාගත යුතු ය. ජාතක කතා සහ අට්ඨකථාවන්හි එන රසවත් සිද්ධි, බුද්ධ චරිතයෙන් ගත හැකි විශේෂ සිදුවීම් ආදිය උපයෝගි කරගත් විට සිත් ඇදී යන අයුරින් කාව්‍ය සංගීත චිත්‍ර සහ නාට්‍ය දර්ශන ආදිය සකස්කර ගැනීම අසීරු කරුණක් නොවේ.මෙවන් සෑම අයුරකින්ම සම්බුද්ධත්ව ජයන්ති සමය තුළ සසුන් කෙත පෝෂ්‍ය කර ගැනීමට ක්‍රියා කිරීම නූතන පරපුරට අයත් අපගේ යුතුකමයි.

මේ අතර සදාචාර සංවර්ධනය සදහාද තවත් කළ යුතු කටයුතු රාශියකි. මතට තිත යටතේ සෑහෙන තරමකට තරුණ පරපුර කෙරෙන් සුරාව, සූදුව සහ දුම්බීම ඈත්වී තිබේ.එය සතුටට කරුණකි. මේ සදාචාරය වර්ධනය කරගනු පිණිස ද ගමේ පන්සල මුල්කොට ගත් කුඩා සංවිධානවල උපකාරය ලබා ගත යුතු ය. රජය මේ ගැන මැදිහත්ව ක්‍රියා කරන විට රජයේ නිලධාරින්ගේ සහායද මේ සඳහා වැදගත් වේ. ග්‍රාමසේවා නිලධාරින්ගේ පොලිස් සේවයේ, ගුරුවර ගුරුවරියන්ගේ සහ ගමේ ප්‍රභූවරුන්ගේ පූර්ණ සහභාගිත්වය ඇතිව දරු දැරියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද සදාචාර වර්ධන ක්‍රමවේද ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රියාත්මක කළ යුතුය. සමාජය මෙයාකාරයෙන් ගුණධර්මවලින් පෝෂණය කිරීමට භික්‍ෂූන් වහන්සේගේ සහාය නොමඳව ලැබෙනු ඇත. දැනට ද මෙබඳු ක්‍රම ක්‍රියාත්මක වන අතර ඒවා වඩ වඩාත් පණ ගැන්වීම දෙදහස් හයසියය වෙනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉටු කළ යුත්තක් බව සැලකිය යුතුය.මෙවන් වැදගත් අංශවලින් ක්‍රියාකාරී වූ විට ඉදිරි වර්ෂ දෙක තුන තුළ මහත්වූ සදාචාරාත්මක දියුණුවක් ඇතිකර ගත හැකිය.

වනවාසි අරණ්‍ය සේනාසන වෙත ඇදී යන ජනකාය ද පෙරට වඩා අද වැඩිය. එවන් තන්හි පැවිදිවන ඇත්තන් ද වෙනදාට වඩා වැඩිය. එබැවින් වනවාසි අපේ ගරුතර මහතෙරුන් වහන්සේගේද උපදෙස් ඇතිව ඒ ඒ ස්ථානවලට සබැඳි දායක භවතුන්ගේ ද සහාය ලබාගෙන වනවාසි බාල, තරුණ, භික්ෂූන් වහන්සේගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීම අවශ්‍යය. උන්වහන්සේ දහම් දැනුමෙන් උසස් බවට පත්කරනු පිණිස අවශ්‍ය විධි විධාන යොදා ගැනීම අමතක නො කළ යුත්තකි. මෙකී නොකී සියලු ආකාරයන් තුළින් අර්ථාන්විතවම සම්බුද්ධත්ව ජයන්තිය ඵලදායි කර ගැනීමට සැමගේ අවධානය යොමු වීම බෙහෙවින්ම වටී.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk