UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

1956 වසරේ බුද්ධ ජයන්තිය අපි මහත් උත්සවශ්‍රීයෙන් සැමරුවෙමු. එහෙත් ඒ සැමරුම සියැසින් දුටු බොහෝ දෙනකු අද ජීවතුන් අතර නැත. 2700 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට අප කවුරුත් නොසිටිනු ඇත.

අපට වැරැදුණු තැන් බොහෝය. ඒවා හදා ගැනීමට අප සම්බුද්ධත්ව ජයන්ති සැමරුමේදී කටයුතු කළා නම් එය අපගේ යහපතට හේතුවනු ඇත.

අප රටට ප්‍රධාන වශයෙන්ම වැරැදුණේ භික්ෂු අධ්‍යාපනය නිසි ලෙස පවත්වාගෙන යෑමට අපොහොසත් වීම ය.

භික්ෂූන් වහන්සේ කසාවතින් සැරසීම පමණක් ප්‍රමාණවත් නොවන බව වටහා දීමට අමුතු සටනක් කිරීමට සිදුවිය.

ගතින් මහණ කළද සිතින් මහණ වූ බවක් ඇතැම් භික්ෂුවකගෙන් දක්නට නොවුණි.

ශාසනය පවත්වා ගැනීමට නම් අපට වැරැදුණු තැන් හදාගත යුතුය. සම්බුද්ධ ජයන්තියේදීවත් අප මෙම කාර්යයට අත ගැසිය යුතුයි.

2500 බුද්ධ ජයන්තියේදී එකල විද්වතුන් වූ ජී. පී. මලලසේකර, ඩී. බී. ජයතිලක වැනි විද්වත්හු බෞද්ධාලෝක මාවත නම් කිරීමත්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සුවිශාල බෞද්ධ ප්‍රබෝධයක් ද එදා ඇති කළහ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය මේ වසරේ වෙසක් උත්සවයෙන් පසු නිම කර ඇස් වසා ගැනීමෙන් පලක් වේද ?

අඩුම වශයෙන් කලක් පවතින කාර්යයක් හෝ ඉටු කළ යුතුය. මේ උදෙසා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය තනා ඒ ඉදිරිපිට හැව්ලොක් පාර සම්බුද්ධත්ව ජයන්ති මාවත නමින් නම් කළහ. ඒ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පූර්ණ සහායෙනි.

බෞද්ධයන් උදෙසා මෙරට ඉදි කළ විශාලතම ස්ථානය සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයයි. එහි බෞද්ධයන්ට අදාළ භාවනා, පාඨමාලා, පාලි දැනුම ලබා ගැනීම, සම්මන්ත්‍රණ සමුළු පැවැත්වීම මෙන්ම බෞද්ධ දැනුම වර්ධනය කරගත හැකි සියලු අංශයන් ඇතුළත් කර තිබේ.

අපේ සිතුම් පැතුම් ආකල්ප වෙනස් විය යුතුයි.

අද අපේ රටේ ‘ මම’ ගැන සිතා ජීවත් වෙන පිරිස වැඩියි. පොදුවේ ‘ අපි’ කියල හිතන අය ඉන්නේ කී දෙනෙක් ද ? රටේ සිදුවන බොහෝ කටයුතු වලින් පෙනෙන්නේ තමන් ගැන විතරක්ම සිතා බලා කටයුත කරන බවකි.

‘ මම’ යන්න නිවනටත් බාධාවක් බව අපේ ධර්මයේ උගන්වයි.

‘ මම’ කියා ජීවත්වීමට බැහැ. අපේ යුතුකම් හා වගකීම් රාශියක් තිබේ. සිගාලෝවාද සූත්‍රයේදී මේ වගකීම් හා යුතුකම් නිවැරැදිව දක්වා තිබෙනවා.

අපේ බෞද්ධ සාහිත්‍යයේ මේ බව හොඳින් පැහැදිලියි.

සම්බුද්ධත්ව ජයන්තිය නිසි පරිදි සැමරීමට නම් එහි නියම ඵලය ලබා ගැනීමට නම් අප නිසි මාර්ගයේ ගමන් කළ යුතුයි. අධ්‍යාපනය නිසි පරිදි අප පෙළ ගස්වා ගෙන තිබේද ? මෙරට හතු පිපෙන්නාක් මෙන් හටගන්නා ‘ ජාත්‍යන්තර පාසල්’ අපේ සංස්කෘතියට ගැලපෙන ලෙස අධ්‍යාපන රටාව සකස් කර ඇත්ද ?

විදේශීය විශ්වවිද්‍යාලයකට මෙරට සිට උගැන්වීම පමණක් මෙහිදී සිදුකරන ක්‍රමවේදයට අපේ ආගම, ජාතිය, ඉතිහාසය ගැබ් කර තිබේද ?

මේ නිසා බෞද්ධ හැදියාවක් බෞද්ධ සංස්කෘතියක්, සදාචාරයක් ඇති දරුවන් වෙනුවට බටහිර ආභාසය ඇති දරුවන් බිහිවනවා.

ජාත්‍යන්තර පාසල්, ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල තිබිය යුතුයි. එහි වරදක් නැහැ. ගැටලුව වී ඇත්තේ අපේ ආගම, දහම, ඉතිහාසය, භාෂාවට වන හානිය. ආගම දහම ඉතිහාසය නිවැරැදිව ඉගෙන නොගෙන මෙම ජාතියට ආදරය කරන දරුවකු බිහි කළ හැකිද ?

වෛද්‍යරවයකු බිහි කරන්නේ ඒ සඳහා පුහුණුවක් ලබාදීමෙනි. හමුදා සෙබළාත් එසේමයි. වෛද්‍යවරයා රෝගියා සුවපත් කළ යුතුය යන හැඟීමෙන් කටයුතු කරනවා මෙන්ම සෙබළා ද තම රාජාකාරියට ඇප කැප වී කටයුතු කරනවා.

එහෙත් භික්ෂූන් වහන්සේ නමක් තම චීවරය දරා සිටින්නේ තම අරමුණ මුදුන් පත් කර ගැනීමේ අරමුණ ඇතිවද ? ඒ අරමුණ ඔස්සේ කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව අල්ප බව පෙනේ. උපාධියක් ලබාගෙන රැකියාවක් වෙත යොමුවීම අද ඇතැම් භික්ෂූන් වහන්සේගේ මූලික අරමුණ, ඉලක්කය වී තිබේ. පිරිවෙන් අධ්‍යාපනය සැකසී ඇත්තේ ද ඒ අනුවය.

ගිහියා පවින් මුදවාගෙන කුසල් දහම් කිරීම සඳහා යොමු කිරීම භික්ෂුවකගේ ප්‍රධානම යුතුකමයි, වගකීමයි. යහගුණ සපිරි මිනිසකු බිහිකළ හැකි වන්නේ එවිටය. ‘ මිනිසා හදා රට හදමු’ යනුවෙන් මඩිහේ මහ නායක හාමුදුරුවෝ ජනතාවගේ ආකල්ප සංවර්ධනය කිරීමට මුල් තැනක් දුන්නේ එහෙයින් බව අප සිත්හි තබාගත යුතුය.

සම්බුද්ධත්ව ජයන්තියේදී අපට භික්ෂුවකගේ වගකීම පැවිදි - ගිහි දෙපිරිසටම වටහා දීමට හැකියාවක් ලැබුණේ නම් එය සම්බුද්ධ ශාසනය තවත් ට්රාත් කාලයක් පැවැත්වීමට හේතුවනු නොඅනුමානය.

සාමණේර භික්ෂුවකගේ සිතට මෛත්‍රිය, කරුණාව, දයාව මුල පටන්ම ලබාදිය යුතුයි.

අවම වශයෙන් භික්ෂූන් වහන්සේ නමක් බිහි කළ යුත්තේ ඇයි ? යන පණිවුඩය හෝ අපට ලබා දීමට හැකියාවක් ලැබුනේ නම් එය හෝ වැදගත්කමක් උසුලනවා.

අල්පේච්ඡ ජීවිතය අද පැවිදි ගිහි දෙපාර්ශවයෙන්ම ඈත් වෙලා. සිවුපසය අධික ලෙසින් වඩවා ගැනීම අද දෙපාර්ශවයටම පොදු ලක්ෂණයක්. මේ ක්‍රමවේදයන් බුදු දහමට එකඟද ?

අපේ රට බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කළ වාසනාවන්ත රටක්. ඒ වුණත් මෙරට සිදුවන ඇතැම් අපරාධ දෙස බැලූ විට පෙනී යන්නේ ගුණ ධර්මයක් නොමැති බවය. උපකාරක පන්තිවලින් සිසු දරු දැරියන්ට දැනුම ලැබුණත් ගුණධර්ම කිසිවක් ලැබෙන්නේ නැහැ. ටියුෂන් නිසා තරුණ දූ දරුවන් රැසක් තම ජීවිත අඳුරු කරගෙන තිබෙනවාද ? උපකාරක පන්ති තිබිය යුතුය. එහෙත් ඒ සඳහා කිසිඳු ප්‍රමිතියක් තිබේද ?

අප සැමවිටම එතෙරට ආ වඩමින් දේශීයත්වය දෙවැනි කොට සලකනවා. මේ අයුරින් අපට ගුණ දහමින් පිරිපුන් රටක් බිහි කළ හැකිද ? අපේකම නැතිනම් අපි සමරන සම්බුද්ධත්ව ජයන්තියෙන් ඵලක් වේද ?

විවෘත ආර්ථිකය හරහා මෙරටට ඇදි එන ඕනෑම වසංගතයක් පිළිගන්න අප සූදානම්. දේශීයත්වය පිරිහීම නිසා ළදරුවන්ටත් මාරාන්තික රෝග උපතින්ම වැළදෙන තත්ත්වයට පත්වෙලා. පිළිකා වැනි භයානක රෝග අතීතයේ අපට සුලභව අසන්නට තිබුණේ නැහැ.

විදේශීය බලවේගයන්ට යටත් නොවුණු ජාතියක් ලෙස අප කටයුතු කරනවානම් අදම කළ යුත්තේ බුදුදහම නිසි අයුරින් අගයන සමාජයක් බිහි කිරීමට මුල පිරීමයි.

පැවිදි - ගිහි සබඳතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් වහ වහා සැකසිය යුතුය. ගිහියන්ට ඇඟට දැනෙන වෙනසක් ඇති කළ යුතුය. සම්බුද්ධත්ව ජයන්තියේ නියම ප්‍රතිඵල ලබා ගත හැක්කේ ගුණ දහම් වඩන සමාජයක් බිහි කිරීමෙන් පමණි. මව පියා සහෝදර සහෝදරියන් නොහඳුනන සමාජයක භික්ෂුන් වහන්සේ නමකට ආරක්ෂිතව විහාරස්ථානයේ දිවි ගෙවිය නොහැකි තත්ත්වයක් යටතේ සම්බුද්ධත්ව ජයන්තිය සැමරිය හැකිද ?

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk