UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිතරම සිල්වත් වීමට නම්...

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැමදාම සිල්වත් වන ලෙසයි. පඤ්ඤවා සුසමාහිතො පඤ්ඤාවා යනුවෙන් අදහස් කරන්නේ නුවණින් යුක්ත වීමයි. මේ ලෝකයේ අප ජීවත්වෙන විට හැමදාම නුවණින් යුක්තව ජීවත් වෙන්න ඕනෑ. සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෑ. එසේ නොවුණහොත් අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා නුවණින්, බුද්ධිමත්ව ජීවත් විය යුතුයි. කායික සමාචාරයත්, වාචසික සමාචාරයත් සීලය යන වචනයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙනවා. ‘සීල’ යන වචනයේ නියම සිංහල අර්ථය දෙන වචනය තමයි ‘හීලෑ’ කියන වචනය. මිනිසාගේ සාමාන්‍ය ස්වරූපය බැලුවොත් හරිම දඩබ්බරයි. අවිනීතයි. ගොරෝසුයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සබ්බදා සීල සම්පන්නො
පඤ්ඤවා සුසමාහිතෝ
ආරද්ධ විරියෝ විහිතෙත්‍ථා
ඔඝං තරති දුක්කරංති

පින්වතුනි,

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා අවස්ථාවකදී දේශනා කරන්නට යෙදුන ගාථා ධර්මයක් මවිසින් සඳහන් කරන්නට යෙදුණේ, ත්‍රිපිටක පාලියේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයටයි මෙය ඇතුළත් වන්නේ. එක්තරා දේවතාවෙක් සංසාරය පිළිබඳ කල්පනා කරලා තමන්ට විසඳා ගන්නට බැරි ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ මේ පිළිබඳ අසා සිටිනවා. එසේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙනුයි. මේ ගාථා ධර්මය දේශනා කරන්නේ. මේ ප්‍රශ්නය අසන දේවතාවාගේ නම චන්දන, ඒනිසා මේ සූත්‍රයට දේවතාවාගේ නමින් චන්දන සූත්‍රය කියලා හඳුන්වනවා. මේ ගාථාවට ඇතුළත් වෙලා තියෙන ධර්ම කරුණු ගැන අවධානය යොමු කරන විට වැදගත් කරුණු රැසක් හමුවෙනවා.

දේවතාව අහන්නේ මේ සංසාරය නමැති ඕඝය තරණය කරන්නේ කෙසේද කියලා.

බුදුදහම වටහා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයාටයි. පඤ්ඤාවන්තස්ස අයං ධම්මො නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ බව දේශනා කර තිබෙනවා. මේ ලෝකයේ ජීවත්වන විට බොහෝම යහපත්ව ජීවත් වෙන්න ඕනෑ. සමාජයේ යහපත් ලෙස ජීවත් වීමට නම් අපට ප්‍රඥාව අවශ්‍යයි. බුද්ධිය අවශ්‍යයි. සිහිය අවශ්‍යයි.

සිහි බුද්ධිය නැතිව කටයුතු කළොත් එතැන අවුල් වෙනවා. මේ නිසා ප්‍රඥාව යන වචනයෙන් කියන්නේ නුවණින් කටයුතු කිරීමයි. ප්‍රඥාව නිරායාසයෙන් ලැබෙන දෙයක් නොවේ. වෑයමෙන් උත්සාහයෙන් යුක්තව දියුණුකරගත යුතු දෙයක්. මෝඩකම වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මය අපෙන් ඈත් වෙනවා. මෝඩකම් අඩුවෙන්න අඩුවෙන්න ධර්මය අප ළඟට එන්න පටන් ගන්නවා. ඒ නිසා ධර්මය ක්‍ෂාත්සාත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා නම් ප්‍රඥාව දියුණුකර ගන්නට ඕනෑ.

ඇතෙක් හොඳට හික්මවලා ගත්තොත් ඒ ඇතා, රජතුමාගේ උතුම් වාහනය බවට පත්වෙනවා. එසේ වෙන්නේ හීලෑවීම, ශීලාචාරවීම කියන හික්මීමෙනුයි. බුදුරජාණන් වහන්සේ ශීලය ගැන දේශනා කරලා තියෙන්නේ මිනිසුන් ශීලාචාර කරවීම සඳහායි. ඒ ශීලාචාර වීමේ ප්‍රධාන මාර්ග දෙක වාචික හා කායික සංවරයයි. එවිට කිසිවෙකුට හිරි හැරයක් සිදුවන්නේ නැහැ. අපේ බුදුහාමුදුරුවෝ ගැන කල්පනා කරල බලන්න. අද කෝටි සංඛ්‍යාත ජනතාවක් ඒ බුදුරදුන්ගේ ධර්මය වශයෙන් පිළිගෙන පිළිපැදීමටත් සූදානම් වී සිටිනවා. ‘සබ්බදා සීල සම්පන්නෝ’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැමදාම සිල්වත් වන ලෙසයි. පඤ්ඤවා සුසමාහිතො පඤ්ඤාවා යනුවෙන් අදහස් කරන්නේ නුවණින් යුක්ත වීමයි. මේ ලෝකයේ අප ජීවත්වෙන විට හැමදාම නුවණින් යුක්තව ජීවත් වෙන්න ඕනෑ. සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෑ. එසේ නොවුණහොත් අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා නුවණින්, බුද්ධිමත්ව ජීවත් විය යුතුයි. කායික සමාචාරයත්, වාචසික සමාචාරයත් සීලය යන වචනයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙනවා. ‘සීල’ යන වචනයේ නියම සිංහල අර්ථය දෙන වචනය තමයි ‘හීලෑ’ කියන වචනය. මිනිසාගේ සාමාන්‍ය ස්වරූපය බැලුවොත් හරිම දඩබ්බරයි. අවිනීතයි. ගොරෝසුයි. මේ ගොරෝසුකම නැතිකරගෙන සිල්වත්භාවයට ගෙන එන්න ඕනෑ. එනිසා අපේ කායික සමාචාරික සන්සුන් ලෙස ශාන්ත දාන්ත ලෙස පවත්වන්නට ඕනෑ. ‘සන්තකායෝ සන්තවාඓා සන්තවා සුසමා හිතො’ යන්නෙන් පෙන්වා දෙන්නෙ ඒකයි. ශාන්ත දාන්ත වූ කායික සමාචාර ඇති කරගන්න ඕනෑ. එසේ ඇතිකර ගත්තොත් එබඳු තැනැත්තා ශිෂ්ට සමාජයට ගැළපෙන කෙනෙක් බවට පත්වේ.

සීලය විවිධ අයුරින් විග්‍රහ කොට තිබේ. එයින් එක් අර්ථයක් වෙත අවධානය යොමු කළොත් ‘සීලමෙව සීලං’ සිහිල් බව ඇති කරන නිසා ශීලය යනුවෙන් හඳුන්වනවා. දැන් අප සමාදන්වන පංචසීලය, අෂ්ඨාංග ශීලය, නාවංග ශීලය, දශ ශීලය, සාමණේර ශීලය, උපසම්පදා ශීලය, විරති ශීලය, අවිරති ශීලය ආදී වශයෙන් නොයෙක් ආකාරයේ සීලය පිළිබඳ විග්‍රහ කැරේ. චාරිත්‍ර ශීල, වාරිත්‍ර ශීල වශයෙන් තවත් අවස්ථා තිබෙනවා.

අප අතර දැනට සමාදන් වන භාවිතා වන කවර සීලයක් වුවද මේ සීල යන අකුරු දෙකට අන්තර්ගත වන බව තවත් ආකාරයට කල්පනා කරලා බැලුවොත් කායික වශයෙන් අපේ යම් බඳු විශාල වූ හෝ කුඩා වූ හෝ වැරැදි සිද්ධ වෙනවා නම් ඒවා නැති කර ගැනීම සීලයයි.

සබ්බදා සීල සම්පන්නො හැමදාම සීල සම්පන්න විය යුතු ය. මේ හැමදාම සුදු රෙදි පොරවගෙන නවගුණ ඇට වැල අතින් අරගෙන සිල් සමාදන්වෙලා ඉන්න කාටද ඉඩ තියෙන්නෙ කියලා හිතෙන්න කෙනෙකුට පුළුවන්. ජීවිතය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ වාගේම නොයෙක් ව්‍යාපාර කර්මාන්ත වල යෙදිලා ඉන්නවා. එහෙම නම් හැමදාම කොහොමද සිල් සමාදන්වෙලා ඉන්නේ. අප තේරුම් ගන්න ඕනෑ බුදුරජාණන් වහන්සේ සීලය යනුවෙන් අපට කියන්නේ කුමක්ද යන්න. පිරිසුදු හදවතක්, පිරිසුදු සිතක් ඇති පුද්ගලයාට හැමදාම උපෝසථ දිනයක්. අවශ්‍ය වන්නේ පිරිසුදු හදවතක් හා පිරිසුදු සිතක් පමණි. ඒ පිරිසුදු බව තිබේ නම් හැමදාම පෝය දිනයක් වෙයි. අපි සිතනවා සිල් සමාදන් වෙන්න පෝය දවසක්ම තියෙන්න ඕනෑ කියලා. නමුත් අපේ සිත පිරිසුදු නම් චින්තන ක්‍රමය ඉතා පැහැදිලි නම් හැමදාම පෝය දවස්. සිත හොඳනම් අපට හැමදාම සිල්වත් වෙන්න පුළුවන්.

ප්‍රඥාව දියුණු කරගන්නට උපකාර වන්නේ ‘පඤ්ඤාවා සුසමාහිතො’ යන්නෙන් උගන්වන්නේ ප්‍රඥාව අවශ්‍ය බවයි’. සුසමාහිතෝ’ කියන්නේ සමාධිගත ඉන්ද්‍රියන් ඇති කර ගැනීමයි. ඇස, කන, දිව, නාසය ශරීරය සංවර කර ගැනීමයි. ‘ආරද්ධ විරියෝ’ පටන් ගත් වීර්යයෙන් යුතුව හැම අවස්ථාවකදීම කටයුතු කිරීමයි. සතර සම්‍යග්ප්‍රධන් වීර්යය කියලා වීර්යය හතරක් ගැන දේශනා කරලා තියෙනවා. පාරමිතාවක් හැටියට, බොජ්ජංග ධම්ම හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් හැටියට ඵලයක් හැටියට දේශනා කරල තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ සමස්ත ජීවිතයම වීර්යයයේ ප්‍රතිඵලයක්. ඒ බව ජාති, කුල, ආගම් භේදයකින් තොරව මුළු මහත් සමාජයම පිළිගන්නවා. ‘ආර්ද්ධ විරියො’ පටන් ගත් වීර්යයෙන් කටයුතු කිරීම ඒ චරිතයේ කැපී පෙනෙන විශිෂ්ටතම ලක්‍ෂණයකි. ඒ ලක්‍ෂණය අපි අපේ ජීවිතයට ආදේශ කර ගන්න උනන්දු විය යුතුය. වීර්යෙන් යුතුව කටයුතු කළොත් අපේ ජීවිත වාසනාවන්ත වෙනවා. අපි හැම කෙනෙක් ළඟම ආත්ම සෙනෙහස තියෙනවා. එය අපට ලැබී තියෙන්නේ පාරම්පරිකව ය. එය නැතිකර ගැනීම සඳහා වීර්යය කළ යුතුයි. ‘පහිත අත්ථ’ කියන්නේ එකයි. මෙන්න මේ ක්‍රමය අනුගමනය කළොත් සබ්බදා සීල සම්පන්නො හැමදාම සීලවන්තයෙක් වශයෙන් කටයුතු කිරීමට හැකිවෙයි. ඉතාම පුංචි වැරැද්දේ ඉඳලා ලොකු වැරැද්ද දක්වාම අප තේරුම් ගන්නට ඕනෑ. වැරැද්ද ලොකු වුණත් කුඩා වුණත් ඒක පිළිගන්නට ඕනෑ. ඒ වරදට බය වෙන්න ඕනෑ. හිරි ඔතප් කියන්නේ ලැජ්ජා භය දෙකයි. එනම් පවට ලජ්ජාව භය ඇතිකර ගැනීමයි. ඒ විදිහට තමයි මේ සසර ගමන සිදුවන්නේ. මේ සසර දුකින් එතෙර වීමට නම් ඉහත ගාථාවේ සඳහන් සීල සම්පත්ති ප්‍රඥා සම්පත්තිය. සමාධි සම්පත්තිය, සහ ආරද්ධ විරිය සම්පත්තියෙන් ද ආත්ම සෙනෙහස නැතිකර ගැනීමේ කල්පනා වෙන් ද මේ ප්‍රතිපදාව අනුගමනය කළ යුතු බව බුදුන් වහන්සේ දේශනා කළහ.

චන්දන දිව්‍ය පුත්‍රයා මේ දේශනාව අහලා බොහොම පැහැදුනා. ඔබත් සිත දමනය කොට ප්‍රඥාවෙන් යුතුව අධිෂ්ඨානයෙන් කටයුතු කළහොත් සසර ගමන අවසන් කර ගැනීමට හැකිවේ.

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk