UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුවිසල් ධර්ම මන්දිරයට මුල් ගල් තබන

රාගම – නාරංගොඩපාලුව සිරි ශාසනෝදයාරාමය


විහාරාධිපති ශාස්ත්‍රවේදී දංගහවෙල උපනන්ද හිමි

සියනෑ කෝරළයට මායිම්ව, අලුත්කූරු කෝරළයෙහි ජා ඇල මැතිවරණ කොට්ඨාසයෙහි රාගම නාරංගොඩපාලුවෙහි 1932 වර්ෂයෙහි ආරම්භ කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් විහාරස්ථානයකි සිරි ශාසනෝදයාරාමය.


බුද්ධ ප්‍රතිමා වහන්සේ

ආදි කර්තෘවරයාණ වහන්සේ නාරංගොඩ පාලුවේ ශාසනවංශ හිමිපාණන් ය. ආවාස ගෘහය, විහාර මන්දිරය, ධර්ම ශාලාව ආදි විහාර අංගයන් ඉදිකරමින් ශික්‍ෂාකාමී උතුම් පැවිදි ජීවිතයක් ගත කළ නාරංගොඩපාලුවේ ශාසනවංශ ස්වාමීන් වහන්සේ 1975 වර්ෂයේ දී අපවත් වීමෙන් පසු මෙම විහාරස්ථානයෙහි භාරකාරත්වය පැවරුනේ 1984 වර්ෂයෙහි අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායෙහි මහෝපාධ්‍යාය දංගහවෙල වජිරඥාන ස්වාමීන් වහන්සේට ය. භික්‍ෂූන් වහන්සේගේ ඉල්ලීම මත 2005 වර්ෂය දක්වා සිරි ශාසනෝදයාරාමයෙහි විහාරාධිපති ධූරය දැරූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය දංගහවෙල ඤාණතිලක ස්වාමීන් වහන්සේගෙන් විහාරස්ථානයටත් ප්‍රදේශයටත් සිදු වූ සේවය ප්‍රශංසනීය යි.

දංගහවෙල ඤාණතිලක හිමිපාණන්ගේ සහ දංගහවෙල මහානාම ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රපති දංගහවෙල උපනන්ද ස්වාමීන් වහන්සේ විහාරස්ථානයෙහි මෙන්ම ප්‍රදේශයෙහි ද විවිධ අංශයන්හි ප්‍රගතියක් ඇති කරන්නට වැඩසටහන් ආරම්භ කර ඇත්තේ 1982 වර්ෂයේ සිට ය. විහාරස්ථානයට පූජා කරන ලද ඉඩම් කොටස් දෙකක් සුවිසල් දෙමහල් ධර්ම මන්දිරයක් සහ අටවිසි මුනි සෑරදුන් ගොඩනඟා ඇත. බෝධීන් වහන්සේ රෝපණය කිරීමට, චෛත්‍ය රාජයාණන් ඉදිකිරීමට, ධර්මශාලාව ගොඩනැඟීමට, ආවාස මල් ආසන තැනීමට ඉඩම් පූජා කළ හිටපු දුම්රිය රියදුරු විතාරන, ජී.ඩී. මාර්ෂල්, විතාරන උපාසිකාවන් දෙදෙන, ගුණරත්න විජේසූරිය, වින්සන් කබ්රාල්, එච්.ඒ. සයිමන්, ආදී ගුණවතුන්වද සිහිපත් කරන්නේ පින්දීමෙන් යුතුව ය. මෑතකදී විහාරස්ථානයට කුඹුරක් පූජා කළ ඩී.එම්. සරත් කුමාරණතුංග තම ව්‍යාපාරික ස්ථානය පවා විහාරස්ථානයෙහි නඩත්තු කටයුතු සදහා කැප කර ඇත. විහාරස්ථානයෙහි දානමාන අවශ්‍යතා සදහා සහ මාසික වියදම් පියවීමට විශාල දායක පිරිසක් ඉදිරිපත් වී සිටිති.


චෛත්‍යය

වර්තමාන විහාරාධිපති දංගහවෙල උපන්නද හිමිපාණන්ගේ ධන පරිත්‍යාගයෙන් (ඉඩමක් මිලදීගෙන) වාහන නැවතුමක් සකසා තිබීම සිද්ධස්ථානය වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට මහත් පහසුවක් වී තිබේ. විහාරාධිපති හිමියන්ගේ වියදමින් ක්‍රියාත්මක වන පුස්තකාලයට අවුරුදු දහ අටක් සම්පූර්ණ වී ඇත. එය දියුණු කිරීමට වර්තමානයේ දී පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලැබෙමින් පැවතීම සතුටට කරුණකි.

සිරි ශාසනෝදය දහම් පාසලෙහි ශිෂ්‍ය සංඛ්‍යාව හයසියය ඉක්මවා ඇත. සමස්ත ලංකා වශයෙන් සහ දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ දහම් දරුවන් ලද ජයග්‍රහණ බොහෝ ය.


සර්වාශීර්වාද බෝධි මන්දිරය

දායක සභාව, ලිය අභිමානි කාන්තා සංවිධානය, ශීල භාවනා සමිතිය, නැගෙනහිර නාරංගොඩපාලුව අවමංගල්‍යාධාර සමිතිය විහාරස්ථ ග්‍රාම නිලධාරී කාර්යාලය, ශාසනෝදය පෙර පාසල, ශාසනෝදය තරුණ සංවිධානය, ශාසනෝදය වැඩිහිටි සංවිධානය, තුන්අඳදෙණිය ගොවි සංවිධානය සමෘධි සංවිධානය, කෝකිල ළමා දහම් පාසල් සංවර්ධන සමිතිය ආදිය විහාරස්ථානය කේන්ද්‍රකරගෙන සිදු කරන සේවාවන් අතිවිශාල ය.

කෘෂිකර්මාන්තයට මෙන්ම පරිසර සංරක්‍ෂණයට ද විහාරස්ථානයෙන් ලැබෙන පූර්වාදර්ශය අගය කළ යුතු යි. වඳවී යන ගස් නැවත වගාකිරීම පිණිස ජනතාව දිරිගැන්වීම විහාරස්ථානයෙන් සිදුවන තවත් සමාජ සේවයකි. පුවක් ගස් දහසේ ව්‍යාපෘතිය ඉන් එකකි.

ප්‍රදේශවාසීන්ගේ ශ්‍රද්ධා ගුණය වර්ධනය සඳහා විවිධ පූජාවන් පැවැත්වීම සර්ව ආශිර්වාද පුජා මන්දිරය මගින් සිදුවේ. අලුයම 05.00 ට පවත්වන දළදා කිරිපිඬු පූජාව, අලුයම 05.30 ට පවත්වන ශ්‍රී මහා බෝධි උඩමළුව කිරිපිඬු පූජාව, සිරිපා සමයේ දී අලුයම 6.00 ට පවත්වන ශ්‍රී පාද පද්ම පූජා, අගහිඟකම් දුරුවේවා යි අරමුණින් දහවල් 11.00 ට පවත්වන සීවලී පූජාව, (නිර්මාංශ ආහාර පූජාව) ගර්භනී මාතාවන් වෙනුවෙන් පුණ්‍යවන්ත දරු උපත් ප්‍රාර්ථනා කරමින් පවත්වන අංගුලිමාල පිරිත් දේශනය, නිරෝගී බව පතමින් බක්කුල මහරහත් ප්‍රතිමා වහන්සේට පවත්වන ඖෂධ පූජාව ආදිය උදාහරණ ලෙස දැක්විය හැකි ය. මෙහි විශේෂත්වය වන්නේ මෙම සෑම පූජාවකටම නියමිත පූජා මන්දිර ඉඳිකර තිබීම යි. මෙම පූජාවන් සඳහා වාර්ෂික දායකත්වය ලබා දීමට වැඩ පිළිවෙලක් ද සකසා ඇත.


ශ්‍රී පාදස්ථාන මන්දිරය

විහාරාධිපති හිමියන් සමග දංගහවෙල අරියදස්සන, පස්සර ධම්මදායාද මහනුවර මහාපන්ථක, මහනුවර චුල්ලපන්ථක යන ශිෂ්‍ය හිමිවරුන්ගෙන් ද මෙම ආගමික ශාසනික කටයුතු සඳහා ලැබෙන සහාය අගය කළ යුතු ය..


අංගුලිමාල පිරිත් මණ්ඩපය

දහම් පාසල් දරුවන් සඳහා විශේෂ පොහොය වැඩසටහන් පැවැත්වීම පිණිස රුපියල් ලක්‍ෂ එකසිය විස්සක් වැය කර ඓතිහාසික සිද්ධස්ථානවල අනුරූ සහිත සුවිසල් ධර්ම මන්දිරයක් ඉදිකිරීමට යෝජිත ය. මෙම පුණ්‍යකර්මය වසර දෙකකදී නිම කිරීමට පරිත්‍යාගශීලීන් දහසක් දැනටමත් ඉදිරිපත් වී ඇත. (මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2012.03.18 දින 08.32 ට සිදු කෙරේ)

ප්‍රදේශය, රටට, ලොවට, ආගමික සාමාජික, ශාස්ත්‍රීය, ශාසනික මහඟු සේවයක් සිදු කරන නාරංගොඩපාළුව සිරි ශාසනෝදයාරාමයෙහි දියුණුවට රත්නත්‍රයෙහි ආශීර්වාදය සහ දෙව් රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා.!

 

 

 

 

 

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]