UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන “සම්මා දිට්ඨි” මාර්ග අංගය ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර
“දිටිඨීති දස්සනං” දිට්ඨි යනු දැකීමයි. මනාකොට (යහපත්) දැකීම වාච්‍ය අර්ථයයි. බුදුදහමට අනුව සම්‍ය දෘෂ්ඨිය යනු කුසල් හා කුසල් මුල් ද, අකුසල් හා අකුසල් මුල් ද දුක්ඛය, දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍යය පිළිබඳ යහපත් හා අයහපත් බව හඳුනාගැනීමේ සමර්ථ වූ නුවණයි. සම්මා දිට්ඨියෙ අවස්ථා පහක් ඇති බව දේශනාවෙහි සඳහන් වෙයි.

කම්මස්සකා සම්මා දිට්ඨි
ඣාන සම්මා දිට්ඨි
විපස්සනා සම්මා දිට්ඨි
මග්ග සම්මා දිට්ඨි
ඵල සම්මා දිට්ඨි

ප්‍රශ්නය
බුද්ධ, ධම්ම, සංඝ යන මේ තුනට තිසරණය තෙරුවනය, රත්නත්‍රය යන නමින් හැඳින්වෙයි. ඒ කුමක් නිසාදැයි පැහැදිලි කරන්න.

පිළිතුර
රත්නත්‍රය එනම්, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන සරණ යන තැනැත්තාට ‘හිංසතීතී සරණගතානං තෙනෙව සරණ ගමනෙන, භයං සන්තාසං දුක්ඛං දුග්ගතිං පරික්කිලෙසං හන්ති ජනාසේ නීති අත්ථො රතනත්තයස්සෙචේතං අධිවචනං’

යන්නෙන් හිංසා කරනුයි සරණ නම් වේ. සරණගත වූවන්ගේ එම සරණ ගමනයෙන් බිය තැතිගැනීම, දුගතිං, කෙලෙස් මල යන මොවුන් විනාශ කරයි. යන අර්ථයෙන් තුනුරුවන්ට මෙම සරණ යන නාමය යෙදී ඇත. එහෙයින් ඒ ඒ බිය දුක් පැමිණ කල්හි ඒ තුනුරුවන සරණකොට යාමත් සිහි කර ගැනීමත් උතුම් ‘පිරිතක්ම’ වෙයි.

ප්‍රශ්නය
ගිහි විනය නමින් ද හැඳින්වෙන ‘සිඟාලෝවාද’ සූත්‍රය ‘සිව් සඟරාවත’ (චතුස්සංහ වත්ථු) හඳුන්වා ඇත්තේ කෙසේද?

පිළිතුර
නය ද පි‍්‍රය වචනයද, මෙහි යම් අර්ථචර්යාවක් වේ නම් එයද ඒ ඒ පුද්ගලයා කෙරෙහි සුදුසු පරිදි ධර්මානුකූලව ද සමානාත්මතාවය ද යන මොවුහු යන්නාවූ රියකට කඩඇණය මෙන් ලොව සංග්‍රහයෝ ය. මේ සංග්‍රහයෝ නොමැත්තාහු නම් පුතුගේ කරුණින් මව හෝ පියාහෝ බුහුමනක් හෝ පූජාවක් නොලබන්නේ ය. (දී.නි. 3)

ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පස්වන අංගය සම්මා ආජීවයයි. නිවැරැදි ලෙස ජීවිකාව පවත්වා ගැනීම එයින් අදහස් වෙයි. බෞද්ධ සම්මා ආජීවය පැහැදිලි කරන්න.

පිළිතුර
මිථ්‍යා ජීවයෙන් සම්‍යාජීවය වෙන්කොට හඳුනාගැනීමට ඇති ශක්තිය යහපත් ජීවිත පැවැත්ම සඳහා මූලික විය යුතු ය. සම්මා, මිච්ඡා, යනු හොඳ නරක, යහපත් අයහපත් හරි වැරැදි උසස් පහත් ලෙසින් ද නම්කළ හැකි ය. යමක කිරීමෙහිදී චේතනාව අනුව හොඳ හා නරක ක්‍රියාව වෙන්කොට හඳුනා ගැනීම බෞද්ධ පිළිවෙතයි. සම්මා ආජීවය නම් සීල සම්පන්න බවින් යුතු හෙවත් ‘අලොභ, අදෝස, අමෝහ, චේතනා මුල් වූ ක්‍රියාවන්ගෙන් හා වචනයෙන් ජීවන මාර්ගය සකස්ව තිබිය යුතු ය.

න අත්ත හේතු න පරස්ස හෙතු
න පුත්ත මිච්ඡෙ නධනං නරට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනෝ
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

මෙයින් නිවැරැදි මඟ ධර්මයට එකඟ වීම ප්‍රමාණයක් වශයෙන් සැලැකෙයි. තමා නිසා හෝ අනුන් නිසා හෝ පුතුන් ධනය රටක් හෝ සමෘද්ධිය, අධාර්මිකව නොපතන තැනැත්තා සිල්වතාද, නුවණැත්තාද, ධාර්මිකයාද වන බව සඳහන් වෙයි.

ප්‍රශ්නය
මිනිසා විසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම, බුදු සමයෙහි කුසල හා අකුසල කර්ම යන නිර්වචන දෙක යටතේ විවරණය කර තිබේ. මෙය සාවද්‍ය නිගමනයකි. පැහැදිලි කරන්න.

පිළිතුර
මිනිසා විසින් කරනු ලබන සියලු ක්‍රියාවන් කර්ම නාමයෙන් පිළිගැනීම ජෛන මතයකි. බුදු දහමට අනුව චේතනා පූර්වක ක්‍රියා පමණක් කුසල හා අකුසල කර්ම වශයෙන් වෙන්කොට හඳුනාගනී. (චෙතනාහං භික්‍ඛවෙ කම්මං වදාමි) චෙතනා පූර්වක කොටගත් සෑම ක්‍රියාවකම ප්‍රධාන ලක්‍ෂණය වන්නේ ඵලයක් (විපාකයක්) අපේක්‍ෂා කිරීමයි. එබඳු සෑම ක්‍රියාවකටම සාධාරණ අවස්ථා තුනක් දක්නට ලැබේ.

චේතනාව
ක්‍රියාව
විපාකය

ප්‍රශ්නය
ආදිත්ත පරියාස සූත්‍රය ශ්‍රවණය කර රහත් ඵලයට පත් වූ සියල්ලෝ යනුවෙන් සඳහන් වන්නේ කවුරුන් ගැනද?

පිළිතුර
උරුවෙල් කස්සප, නදී කස්සප, ගයා කස්සප නම් වූ තුන් බෑ ජටිලයෝ ය.

ප්‍රශ්නය
එක්තරා මහරහතන් වහන්සේ නමක් බුදුරදුන් විසින් දේශනා කරන ලද පටිච්ච සමුප්පාද ධර්මය, විචක්‍ෂණ ලෙස සාරාංශ කර සිව්පද ගාථාවකින් දේශනා කළහ. ඒ මහරතන් වහන්සේගේ නම සහ ගාථාව කුමක්ද?

පිළිතුර
අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජියාට (පරිබ්‍රාජක) දේශනා කළ ගාථාවයි.

යෙ ධම්මා හෙතුප්පහවා
තෙසං හෙතුං තථාගතො ආහ
තෙසං ච යො නිරෝධො
එවං වාදී මහා සමණො

තේරුම - ලෝකයෙහි හේතූන්ගෙන් හටගත් යමක් ඇද්ද ඒ හට ගන්නා හේතු තථාගතයන් වහන්සේ දේශනා කරන සේක. එම හේතූන් නැති කිරීමෙන් එහි ඵලයත් නැතිවේ. මහා ශ්‍රමණයන් වහන්සේ මෙබඳු දහමක් දේශනා කරන සේක.

ප්‍රශ්නය
අනුරාධපුර පුදබිමේ පිහිටි ථූපාරාම ස්තූපය පිළිබඳව ඓතිහාසිකත්වය ගැන හැඳින්වීමක් කරන්න.

පිළිතුර
මිහිඳු මාහිමි වැඩම කර පළමුවස ඉල්පුර පසළොස්වක පොහෝ දා සර්වඥ ධාතූන් වහන්සේ නිදන්කොට චෛත්‍යයක් කළ බව වංශකථා වල දක්නට ලැබේ. ඒ අනුව බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන්කොට දෙවනපෑතිස් රජතුමා විසින් ථූපාරාම ස්තූපය ඉදිකරනු ලැබූ එම උත්සව අවස්ථාවෙහිදී දෙවනපෑතිස් රජුගේ සොහොයුරු මිත්තාභය කුමරු ද පැවිදි වූවේ ය.

ප්‍රශ්නය
සමකාලීන විවිධ නිකායික අදහස ඛණ්ඩණය කරමින් “කතා වත්ථුප්ප කරණය” නම් ග්‍රන්ථයක් ශාසන වංශ කථාවට එක්විය. මෙම කෘතිය කවුරුන් විසින් කුමන අවස්ථාවක ඉදිරිපත් කරන ලද්දක් ද?

පිළිතුර
ධර්මාශෝක රජු දවස පැළලුප් නුවර අශෝකාරාමයෙහිදී පැවැත් වූ සංඝායනාව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු වූ සේක. කථාවත්ථූපකරණය උන්වහන්සේ විසින් රචනා කර මෙම සංගීත අවස්ථාවෙහි දී ඉදිරිපත් කරන ලදී.

ප්‍රශ්නය
පහත සඳහන් පද්‍යයෙහි ඇතුළත් සද්ගුණය කුමක්ද? මෙම ග්‍රන්ථ නාමය සහ කතුවරයා කවුද?

පිළිතුර
දෙමව්පිය ගුරුවරුන් විසින් තම සිසු දරුවනට දිය යුතු යහපත් ධනය නම් උගත් සභාවක නොබියව සභාගත වීම සඳහා හැකිවන සේ ශිල්ප ඉගැන්වනු ලැබීමයි. කෝට්ටේ යුගයේ රණස්ගල්ලේ මාහිමියන් විසින් රචනා කරන ලද ‘ලොකෝපකාරය’ ග්‍රන්ථයෙහි මෙම පද්‍ය ඇතුළත් ය.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk