2012 පෙබරවාරි 21 වනදා අඟහරුවාදා
නවම් අමාවක පෝදා
සෙවනැල්ලට
ඉඩ දෙමු
සියලු සිතිවිලි උපදින්නේ සිතින්ම ය. සියලු සිතිවිලිවලට සිත
පෙරටු වේ.
කුසල සිත් මෙන් ම අකුසල සිතිවිලි ද හට ගන්නේ සිත මූලික කර ගෙන
ය.
කිලිටි වූ සිතින් යමක් කීවත්, කළත්, සිතුවත් ඒ සියල්ලම අකුසල්
ය. ඒ කිලිටි වූ සිතින් සිදු කැරෙන අකුසල් හේතුවෙන් ඔහු පසු
පස්සෙහි ලුහු බඳින්නේ දුක ය.
සමාජයේ වෙසෙන සියලු දෙනා එක හා සමාන නොවේ. එකම පවුලක දෙතුන්
දෙනෙකු වුවද විවිධ ය. එමෙන්ම කෙනෙකු උගත් ය. තවත් කෙනෙකු නූගත්
ය. කෙනෙකු ධනවත් ය. තවත් කෙනෙකු දිළිදුය.
ඒ අන් කවරෙකුගේ හෝ බලපෑමක් නිසා නොව තම තමා විසින් සසර පුරා
කරන ලද යහපත අයහපත හේතුවෙනි. ඒ කර්ම ශක්තියේ බලපෑමෙනි.
ඇතැම් විට කෙනෙකුගේ යස ඉසුරු දැක තවත් කෙනෙකු ඊට එරෙහි වූවාට
පලක් නැත. ඊට ඊර්ෂ්‍යා කිරීමට, ද්වේෂ කිරීමට වඩා සම සිතින්
මෙත් සිතින් සතුටු විය හැකි නම් වඩාත් යහපත වන්නේය. කෙනෙකුගේ
දියුණුව අභිවෘද්ධිය දැක ඊට හදවතින් ම සතුට විය නොහැකි වුවහොත්
තමා නොදැනුවත්ව ම හෝ සිදු කරගනු ලබන්නේ මහ අකුසලයකි. ගැල අදනා
ගොනු පසු පස්සේ නොනැවති යන ගැල්සක මෙනි. අකුසල චෛතසිකයනට
අකුසල් සිත පෙරටු වන හෙයින් අකුසල් කිරීමෙන් උපනූපන් තැන
දිළිඳුවේ.
කිලිටි සිතෙහි විපාකය දුක නම් ඉන් ඈත්වීම නැණවතාගේ ලක්‍ෂණයකි.
කුසල චෛතසිකයනට කුසල් සිත පෙරටු වන බැවින් කුසල් සිදු කරන්නා
උපනූපන් තැන සුවපත් වන බව සම්බුදු දහමෙහි දැක්වේ.
සසර ගමන් මගෙහි කෙළවරක් නොමැත. ඒ ගමන් කරන අතර වාරයේ වාසනාවකට
මෙන් මිනිස් ලොව උපත ලැබීම මහත් භාග්‍යයකි. මිනිසත් බව ලභාගෙන
මහත් වාසනාවකට ලද ඒ උපත නැවත සසර කවරදාකවත් අපා දුක් විඳීමට නො
පෙළඹිය යුතුවේ.
සැබෑ බෞද්ධයාගේ ඒකායන අරමුණ විය යුත්තේ සියලු දුක් නිවා සසර
සයුරෙන් එතෙර වී මය. එසේ නම් ඒ අරමුණ සාක්ෂාත් කරගත යුත්තේ
කෙසේ දැ යි අවබෝධ කර ගත යුතු ය.
යහපත් දිවි පැවැත්ම හැම විට සසර සැනසීම ට හේතු වේ. තම තමන්ගේ
දිවි පෙවෙත ගැන සිතා හැම මොහොතක ම ජීවිතය යහපතට ම යොමු කළ යුතු
වේ.
සිතට ගලා එන නරක අකුසල චේතනා ඒ මොහොතෙහිම සිතින් ඉවත් කිරීමට
පසුබට නොවිය යුතුය. එසේ තමාගේ චිත්ත සන්තානය නිරවුල්ව තබා
ගනිමින් කිලිටි සිතිවිලි ඉවත් කරමින් කුසල සිතිවිලි හදවතෙහි
තැන්පත් කර ගත යුතු වේ.
සිත තනිව හැසිරෙන බැවින් නරකට, අයහපතට, නොමගට යොමුවීම යොමු
කිරීම පහසුය.
ඒ සිතේ ස්වභාවය මැනවින් වටහා ගනිමින් යහපත් සිතිවිලි වලින්ම
සිත පුරවා ගත යුතු ය. සිත පාලනය කර ගත යුතු ය.
පාලනයෙන් තොර සිතට වැටකඩොළු පැනීමට ඉඩ හැරීමෙන් දුක් විඳින අය
අප සමාජයේ කෙතරම් සිටීදැයි සමාජ වට පිටාවෙන් ම පැහැදිලි වන
කරුණකි.
එබැවින් අසංවර සිත සංවර කර ගැනීමෙන් යහපත උදාවන්නේ තමා පසුපස
එන සෙවනැල්ල සේ ය. සෙවනැල්ල අප යන එන විට එයි. යයි. සිටින විට
සිටියි. නිදන විට නිදයි. අප පසු පස එන සෙවනැල්ල කෙසේවත් නවතා
ලිය නොහැකි ය.
එබැවින් පවිත්‍ර වූ සිතින් කරන නියත ක්‍රියාවෙන් උදාවනුයේ
යහපතම ය. ඒ සුචරිත මග අනුගමනය කිරීමෙන් සසර පුරා දුකෙන් එතෙර
වී හැම තැන සුවපත් වෙයි.
එබැවින් ලබාගත් දුර්ලභ මිනිසත් භවයෙන් සසර පුරා දුක් විඳීමෙන්
වැළකී යහපත් සිතිවිලිවලින් සිත සරසා ගෙන සුවපත් වීම ට උත්සුක
වෙමු. |