UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිදු දිය පරදන මවුපිය ගුණ කද

තව්තිසාවේ දෙවියන් විසින් සද්පුරුෂයා යනුවෙන් හඳුන්වනු ලබන, මිනිස් ලොව ජීවත්වන කරුණු සතකින් සමන්විත පුද්ගලයකු පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. සංයුක්ත නිකායේ සත්තවත වර්ගයේ දේවා සත්තවත පද සූත්‍රයේ මේ කරුනු අන්තර්ගත වේ. උන්වහන්සේ මෙම සූත්‍රය සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්‍ෂූන් වහන්සේට දේශනා කළ සේක. මේ සූත්‍රයේ සඳහන් වන සද්පුරුෂ ලක්ෂණ වන්නේ මවුපියන් පෝෂණය කිරීම, කුලදෙටුවන්ට ගරු සත්කාර කිරීම, මිහිරි වචන කතා කිරීම, කේලාම් නොකීම, මසුරුකම දුරු කිරීම, සත්‍ය වචන කතා කිරීම සහ ක්‍රෝධය දුරු කිරීමයි.

අප මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ, මවුපියන් පෝෂණය කිරීම නම් වූ පළමුවැනි සද්පුරුෂ ලක්ෂණය පිළිබඳයි.

බුදුරජාණන් වහන්සේ, බෝසත් අවධියේ දී මෙන් ම බුද්ධත්වයට පත්වීමෙන් පසුව ද මවුපිය පෝෂණය අගය කළ අතර එය ක්‍රියාවෙන් ම ඔප්පු කළ සේක. ඒ අනුව බුදුදහමේ තරම් මවුපිය පෝෂණය යන යහගුණය අගය කළ වෙනත් ආගමක් හෝ දර්ශනයක් හෝ නොමැති තරම් ය.

මවුපියන් බ්‍රහ්ම සහ පුබ්බාචරිය යන නම්වලින් බුදුන්වහන්සේ හැඳින්වූ සේක. උන්වහන්සේ මවුපියන් බ්‍රහ්ම නමින් හැඳින්වූයේ මහා බ්‍රහ්මයා තුළ තිබෙන මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන ගුණාංග මවුපියන් තුළ ද තිබෙන බැවිනි. එමෙන් ම පාසලට යන්නට පෙර දරුවකු ඉගෙන ගත යුතු සියලු දේ උගන්වන්නේ දෙගුරුන් බැවින් පූර්වාචාරීන් (පුබ්බාචරිය) ලෙස ද හැඳින්වූහ. පරාභව සූත්‍රයේ දී බුදුන්වහන්සේ දේශනා කළේ, වයසට ගිය මවුපියන් පෝෂණය නොකරන දරුවන් පිරිහෙන බවයි.

එපමණක් නොව වසල සූත්‍රයෙන් පැහැදිලි කෙරෙන පරිදි, පුළුවන්කම තිබිය දී මවුපියන් පෝෂණය නොකරන දරුවන් වසලයන් ලෙස හැඳින් වේ. යම් දරුවකු මවුපියන් පෝෂණය කරන්නේ නම් එය මංගල කාරණයක් බව මහා මංගල සූත්‍රයෙන් ඉගැන්වේ. මාතුපෝසක සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, යමකු මව සහ පියා දැහැමි ව පෝෂණය කරන්නේ නම් ඒ පණ්ඩිතයා මෙලොව ප්‍රශංසා ලබන අතර මරණින් මතු දිව්‍ය ලෝකයේ උපදින බවයි. එහෙත් මෙම සද්පුරුෂ ලක්ෂණය අද සමාජයෙන් කෙතරම් නම් දුරස්වී තිබේ ද?

මහා බ්‍රහ්මයා මෙන් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා ගුණ දැක් වූ මවුපියන්ගේ ගුණ සුවඳ බොහෝ දරුවන්ට අමතක වී තිබේ. එබැවින් මවුපියන් වැඩිහිටි නිවාසවලට කොටු කරන දරු පිරිසක් අද සමාජයේ බිහිවෙමින් සිටිති. ඇතැම් මවුපියන්ට විශ්‍රාම නිවාස සොයාගෙන යෑමට සිදු ව ඇත. සමහර දරුවන් මව, පියා මහමඟට දමා යන තත්ත්වයට පත්වීම කනගාටුවට කරුණකි. එපමණක් නොව මවුපියන්ගේ ජීවිත පවා උදුරා ගන්නා දරුවන් මේ බෞද්ධ සමාජය තුළ නැතුවා නොවේ. සද්පුරුෂ දරුවකුට මෙවැනි දේ කළ හැකි ද? මවුපියවරුන් දරුවන් කෙරෙහි කොපමණ ආදරයක් දක්වන්නේ ද යන්න රාහුල කුමාරයා පැවිදි කිරීමෙන් පසු සුද්ධෝදන මහ රජතුමා විසින් මවුපිය අවසරය නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් කරනලද ඉල්ලීමෙන් ද පැහැදිලි වේ. බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීමෙන් සත් වැනි දින දායාද ඉල්ලමින් උන්වහන්සේ පසුපස ගිය රාහුල කුමරුන් පැවිදි කළ බව දැන ගත් සුද්ධෝදන මහ රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටියේය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස වනාහි සිවියත්, සමත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නොනැවති ඇට මිදුළු වල හැපී පවතී. එබැවින් මවුපියන්ගෙන් නොවිමසා දරුවන් පැවිදි නොකරන්නේ නම් මැනැවි.”

ඉඳින් දරුවකු වශයෙන්, ඔබේ මවුපිය දෙදෙනා පිළිබඳ මොහොතක් සිතිය හැකි නම්! එදා ඔබ කුඩාම කාලයේ ඔබ අසනීප වූ විට අම්මාත් තාත්තාත් කෙතරම් දුකක් උහුලන්නට ඇත්ද? ඔවුනට වෙලාවට අහර පවා නොලැබෙන්නට ඇත. තම අපහසුතා ගැන බිඳකුදු තකන්නේ නැතිව ඔබ සුවපත් කරන්නට ඔවුන් දැරූ වෙහෙස ප්‍රමාණ කරන්නට නොහැකිය. ඔබට උගන්වා සමාජයේ වැදගත්, පිළිගත් මිනිසකු බවට පත් කරන්නට මවුපියන් ගත් උත්සාහය තරුණ දරුවන් වශයෙන් අද ඔබට මතක තිබේනම් මහත් වාසනාවකි.

දරු දුක නමැති බර උසුලන්නේ මවත් පියාත්ය. මෑණියන් දස එකඩ මසක් ඔබ කුසයේ තබාගෙන මෙලොවට ජනිත කළා පමණක් නොව දිවා රෑ නොතකා රැකවරණය ද ලබා දුන්නා ය. ඔබ වටා නැඟුණු මහ පවුරක් මෙන් පියාණන් ඔබට යහමඟ කියාදි ශිල්ප ලබාදි කුදුමහත් වුවමනා සපුරන්නට වගබලා ගත්තේය. මේ දෙදෙනා නොවන්නට ඔබ යැයි කිව හැකි පුද්ගලයකු අද ලොව නැත. එබඳු වු මවුපියන් වැඩිහිටි නිවාසවලට යොමුකරන්නට සිත් පිත් ඇති දරුවකුට හැකිවේද?

බිම්බිසාර රජතුමා අජාසත්ත කුමාරයා කෙරෙහි දැක් වූ ආකල්පය මවුපිය සෙනෙහසෙහි උදාරබව මොනවට පෙන්වා දෙන නිදසුනකි. අනාගතයේ යම් දිනක අජාසත්ත කුමරා පියා මරා රජවන බව දෛවඥයන් ප්‍රකාශ කළත් ඒ ගැන මඳකුදු නොතකා බිම්බිසාර රජතුමා සිය පුත් කුමරා පෝෂණය කළේය. එපමණක් නොව තරුණ අජාසත්ත පියා සිරගත කර ශාරිරික හා මානසික හිරිහැර කරද්දී වුව ද පුතා කෙරෙහි වෛරයක් ඇති නොකරගත් බව තවදුරටත් එම කතා පුවතේ විස්තර කරයි. බිම්බිසාර රජතුමා අධිකරණයේ නඩු විමසද්දී කුඩා අජාසත්තගේ අතේ ඇඟිල්ලේ විසප්පුවක් හටගෙන වේදනාවෙන් හඬද්දී ඔහු සනසනු පිණිස රජු ඇඟිල්ල කටේ දමා උරන විට සැරවගෙඩිය පිපිරී ගිය බවත් එම සැරව එළියට නොදා ගිල දැමු බවත් බෞද්ධ සාහිත්‍යයෙහි වැඩිදුරටත් සඳහන් වේ. එවන් ආදරයක් දැක්වූ බිම්බිසාර රජතුමාට අජාසත්ත කුමරු අවසානයේ දී මරණය උරුම කර දුන්නේ ය. එබඳු දරුවන් වර්තමාන සමාජයේද අඩුවක් නැත.

මවුපිය ගුණ නොහඳුනන සමාජයක් නිර්මාණය වීම කෙරෙහි බලපෑ කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. මවුපියන්ට සලකන දරු පිරිසක් තැනීමේ වගකීමෙන් මවට, පියාට බැහැර විය නොහැකි ය. එබැවින් මෑණිවරුන්, පියවරුන්, දරුවන්ගෙන් සැලකිලි ලැබිය හැකි මට්ටමට ජීවත්වීම ඉතාම වැදගත්ය. එනම්, මව මව් තනතුරේ ගෞරවයත් පියා පිය තනතුරේ ගරුත්වයත් ආරක්‍ෂා කර ගත යුතුය. සැබෑ මවක වීමට නම් මව තිදොරෙන් සංවර වූ ගුණවත් කාන්තාවක විය යුතු ය. එමෙන්ම පියතුමන් ද තිදොරින් නිවුණු තැනැත්තකු විය යුතු ය.මෙසේ නිවුණ මවුපියන්ගේ දරුවෝ ද නිවුණ දරුවෝ වෙති. එහෙත් අද සමාජයේ බොහෝ මවුවරුන් පියවරුන් තුළ නිවුණු බව අඩුවී දැයි සැක සිතේ. ගුණවත් මවුවරුන් සහ පියවරුන් මාතෘත්වයත් පීතෘත්වයක් සුරක්‍ෂිත කළ තැන ගුණබර දරුවන්ගෙන් පිරි සමාජයක් නිර්මාණය වන බව කිව හැකිය.

මවුපියන් සිය දරුවන්ගෙන් යුතුකම් පහක් බලාපොරොත්තු වන බව බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ දී දේශනා කළ සේක. එනම් වියපත් වූ කල තමන් පෝෂණය කිරීම සිය කටයුතු කරදීම, කුල පරපුර ආරක්‍ෂා කිරීම, තමන් දුන් දායාද රැකීම සහ මවුපියන් මිය ගියවිට පින් පැමිණවීම යන යුතුකම් පහයි.

මෙම යුතුකම් අතර ද මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය. එනම්, දරුවන් පවෙන් වැළැක්වීම, යහපතෙහි පිහිටුවීම, ශිල්ප ඉගැන්වීම, සුදුසු කල විවාහ කරදීම සහ සුදුසු කල දායාද පවරාදීම ආදි වශයෙනි.

එහෙත් අද සමාජයේ මේ යුතුකම් හා වගකීම් මනාව ඉටු වන්නේ ද? ඇතැම් විට දෙපාර්ශවයෙන්ම මෙම යුතුකම් හා වගකීම් මනාව ඉටු නොවීම නිසා අද මෑණිවරුන් හා පියවරුන් මුහුණ දෙන බොහෝ ගැටුම් නිර්මාණය වී දැයි සිතේ. සිගාලෝවාද සුත්‍රයේ ඉගැන්වෙන මෙම යුතුකම් හා වගකීම් සමාජයක යහපැවැත්ම සඳහා මහත් පිටිවහලක් ලබා දෙන අතර ඒවා තම ජීවිත තුළ ක්‍රියාත්මක කිරීමෙන් වර්තමානයත් ඉදිරියත් සුබදායක වේ.

කෙසේ වුවත් මවුපියන්ට දෙවියන්ට මෙන් ගරුසත්කාර කරන, වඳින පුදන සද්පුරුෂ දරුවෝ ද මේ සමාජයේම සිටිති. ඇතැම් විට ඔව්හු මවුපියන් වෙනුවෙන් තම ජීවිත කාලයම ගත කරති. මෙවැනි සද්පුරුෂ ගුණවත් දරුවන් මුළු ලොවටම වාසනාවකි. යහපත් ගුණධර්ම සමාජයෙන් ගිලිහී යමින් තිබෙන වකවානුවක සද්පුරුෂ දරුවන්ගේ සද්පුරුෂ ලක්ෂණ අගයකිරීමත් අතිශය වටිනා ක්‍රියාවකි. ඔවුන්ගේ ගුණ මතුකර පෙන්වීම සමාජයේත්, විශේෂයෙන්ම ජනමාධ්‍යවලත් කාර්යභාරයකි. සියලු දෙනා තම තමන් වෙත පැවැරී ඇති යුතුකම්, වගකීම් ඉටුකරන පසුබිමක් තුළ මවුපියන් පෝෂණය කරන සද්පුරුෂ ගුණබහුල සමාජයක් බිහිවනු ඇත.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk