| දුක දැනෙන්නේ ඇයි?
			 
			
			 කැලණිය විශ්වවිද්‍යාලයේ, සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය
 ඉඳුරාගාරේ ධම්මරතන හිමි
 
			 
			ලද දෙයින් සෑහීමකට පත් වෙන්න පුළුවන් වන්නේ නො ලද දේ ගැන දුක් නොවී 
			සිටියොත් පමණයි. යමෙකුට තමා ළඟ අලංකාර ඇඳුමක් තිබෙද්දී තවත් අලංකාර 
			ඇඳුමක් දුටු විට එය 
			ලබාගැනීමට සිතෙනවා. ලබා ගැනීමට නොහැකි වුණොත් දුක් වනවා. පුද්ගලයා සතුව 
			පවතින්නේ තිබෙන ඇඳුම ගැන හෝ තිබෙන අනෙකුත් වස්තූන් ගැන දුක හෝ සතුට 
			නෙවෙයි. නොලැබුණ, ලබා ගැනීමට බැරි වූ දේ පිළිබඳව දුකයි. 
 
 
			 
			අල්පේච්ඡතාවය යනු භාණ්ඩ ටිකක් පාවිච්චි කිරීම නොවේ. සුළු වශයෙන් 
			හරිහම්බ කරගෙන සිටින එකත් නොවේ. ලද දෙයින් සතුටුවීම යනු අල්පේච්ඡතාව 
			නොවේ. අල්පේච්ඡතාව යනු ලද දෙයින් සතුටු වීම නම් සෝවාන් ඵලයට පිවිසුන 
			පුද්ගලයා ඉන් සෑහීමට පත්වෙන්න ඕනෑ. සෝවාන් තත්ත්වයට එළඹිලා දැන් ඇතැයි 
			ලද දෙයින් සතුටට පත් වුණොත් සකෘදාගාමී, අනාගාමී, ඵලයන් වෙත පිවිසෙන්න 
			බැහැ. සකෘදාගාමී තත්ත්වයට එළඹිලා සතුටට පත්වුණොත් අනාගාමි තත්ත්වයට 
			එළඹෙන්න බැහැ. අනාගාමී තත්ත්වයට එළඹිලා සතුටට පත්වෙලා රහත් වෙන්නෙ 
			නැහැ. ඒ අනුව ලද දෙයින් සතුටු වීම අල්පේච්ඡතාව නොවන බව පැහැදිලි වෙනවා. 
			අල්පේච්ඡතාවය යනු නොලද දෙයින් දුක්නොවී සිටීමයි. පුද්ගලයා දුක් වන්නේ 
			ලද රැකියාව සම්බන්ධයෙන් නොව නොලද රැකියාව සම්බන්ධයෙනි. මිනිස්සු දුක් 
			වන්නේ ලද ස්වාමියා හෝ භාර්යාව සම්බන්ධයෙන් නොව නොලද ස්වාමියා හෝ 
			භාර්යාව සම්බන්ධයෙන්. මිනිස්සු දුක්වන්නේ ලද ආර්ථිකයෙන් නොව නො ලද 
			ආර්ථිකයෙන් මිනිස්සු දුක් වන්නේ ලද ඉඩමෙන් නිවසෙන් නොව නොලද ඉඩමෙන් 
			නිවසෙන් මේ අනුව මිනිසුන්ට දුක දැනෙන්නෙ නො ලද සැප සම්පත් නිසා මිස ලද 
			සැප සම්පත් නිසා නොවන බව පැහැදිලි වෙනවා. 
			ඒ අනුව අල්පේච්ඡතාව යනු එකී නො ලද සැප සම්පත් පිළිබඳ දුක් විඳිමින් 
			පීඩා විඳිමින් ඒ ගැන තැවෙමින් ඉන්න තත්ත්වයෙන් වැළකිලා සිටීමයි. 
			‘අල්පේච්ඡ’ යන තාක්‍ෂණික වචනය ගොඩනැඟෙන්නේ අල්ප, ඉච්ඡ යන වචන දෙකේ 
			එකතුවෙන්. අල්ප යනු ටිකක්, ස්වල්පයක් යන අර්ථයයි. ඉච්ඡ යනු කැමැති 
			වෙනවා. සතුටු වෙනවා යන්නයි. 
			උදාහරණයක් තුළින් මෙකී වචනය තවදුරටත් පැහැදිලි කර ගනිමු යමෙකුට බත් 
			පිඟානක් අනුභවයට පුළුවන්කම තිබෙද්දී බත් පිඟානෙන් කාලක් අනුභව කරලා 
			තමන් අල්පේච්ඡයි කියලා දුක්විඳින්න පුළුවන්ද? බුදුරදුන් එය අනුමත 
			කරන්නේ නැහැ. අල්පේච්ඡතාවය යන වචනයේ අර්ථය බහුතර කොටසක් වටාගෙන ඇති 
			ස්වරූපය වැරැදියි. ලද දෙයින් සතුටුවීම අල්පේච්ඡතාව නොවෙයි. නොලද දෙයට 
			දුක් නොවී සිටීමයි අල්පේච්ඡතාව. යමෙකුට බත් ලැබුණා. එය අනුභව කරලා 
			පලතුරු ලැබුණේ නැහැ කියලා දුකසේ සිටිනවා නම් ඒ දුකයි නැති කරගන්න ඕනෑ. 
			ඒ අනුව එහි තේරුම ලදදෙයින් සෑහීමට පත්වෙනවා කියන එක නෙමෙයි. නොලද දේ 
			ගැන දුක් නොවී සිටීමයි. 
			ලද දෙයින් සෑහීමකට පත් වෙන්න පුළුවන් වන්නේ නො ලද දේ ගැන දුක් නොවී 
			සිටියොත් පමණයි. යමෙකුට තමා ළඟ අලංකාර ඇඳුමක් තිබෙද්දී තවත් අලංකාර 
			ඇඳුමක් දුටු විට එය ලබාගැනීමට සිතෙනවා. ලබා ගැනීමට නොහැකි වුණොත් දුක් 
			වනවා. පුද්ගලයා සතුව පවතින්නේ තිබෙන ඇඳුම ගැන හෝ තිබෙන අනෙකුත් වස්තූන් 
			ගැන දුක හෝ සතුට නෙවෙයි. නොලැබුණ, ලබා ගැනීමට බැරි වූ දේ පිළිබඳව 
			දුකයි. අල්පේච්ඡතාව යනු එකී නැති දේවල් සම්බන්ධයෙන් ඇතිවන දුක නැතිකර 
			ගැනීමයි. අල්පේච්ඡතාව යන වදන මූලපදාර්ථයක් සහිත කාරණයක් බව පැහැදිලියි. 
			 
			 
			එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී |