UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රද්ධාවයි එහි ඇති බලය යි

ශ්‍රද්ධාව පිළිබඳව ධර්මයෙහි බොහෝ තැන්වල සඳහන් වී තිබෙනවා. ඒවාට අනුව සත්‍යාවබෝධයට මෙය කෙතරම් උපකාර වෙනවා දැයි සිතා ගත හැකි යි. ශ්‍රද්ධාව සප්තාර්ය ධනයන්ගෙන් එකක්. එසේම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර ද පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම අතර ද ශ්‍රද්ධාව ප්‍රමුඛත්වයෙන් සළකනවා.

ශ්‍රද්ධාව, භක්තිය, විශ්වාසය, පුද පූජා වැනි වචන මිනිසුන් විසින් අදහන සෑම ආගමක ම වගේ දක්නට ලැබෙන වචන කීහිපයක්. මේ වචන වලින් බුදුදහමෙහි වඩාත් ම භාවිත වන්නේ “ශ්‍රද්ධාව යි.” බුදුදහමෙහි ඉගැන්වෙන විශ්වාසය නැතිනම් ශ්‍රද්ධාවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බුද්ධියට නැඹුරු වූ ශ්‍රද්ධාව හා බුද්ධියට නැඹුරු නොවූ ශ්‍රද්ධාව වශයෙන්. ආකාරවතී ශ්‍රද්ධා, අමූලිකා ශ්‍රද්ධා වශයෙන් දක්වා ඇත්තේ ඒ කොටස් දෙක යි. බුදුදහම හැමවිට ම වඩාත් අගය කරන්නේ බුද්ධිගෝචර වූ ශ්‍රද්ධාව යි.

සත්‍යාවබෝධය සඳහා යන ගමනේ දී බුද්ධියට නැඹුරුව ගමන් කිරීමයි වැදගත්. ඒ නිසා බුදුදහම තුළ ශ්‍රද්ධාව යි ප්‍රඥාව යි සමාන ව පැවැත්විය යුතු ධර්මතා හැටියට සළකන්නේ. බුද්ධියෙන් තොර ශ්‍රද්ධාව බුදුදහමෙහි අගැයීමට ලක් වන්නේ නැහැ. අන්ධ භක්තියට බුදුදහම තුළ ඉඩක් නැහැ.

ශ්‍රද්ධාව පිළිබඳව ධර්මයෙහි බොහෝ තැන්වල සඳහන් වී තිබෙනවා. ඒවාට අනුව සත්‍යාවබෝධයට මෙය කෙතරම් උපකාර වෙනවා දැයි සිතා ගත හැකි යි. ශ්‍රද්ධාව සප්තාර්ය ධනයන්ගෙන් එකක්. එසේම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර ද පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම අතර ද ශ්‍රද්ධාව ප්‍රමුඛත්වයෙන් සළකනවා.

මෙයින් පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ ශ්‍රද්ධාව යනු එකම ස්වරූපයකින් පවතින නිශ්චිත දෙයක් නොව එය දියුණු කළයුතු දෙයක් බව යි. ඒ දියුණුවේ උපරිම අවස්ථාව විමුක්තිය වශයෙන් හඳුන්වනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය හා මුසුවන්නට නම් ශ්‍රද්ධාව තිබිය යුතු ම දෙයක් ලෙසට අප වටහා ගත යුතුයි. මේ කරුණ උදාහරණයකින් වටහා ගැනීම පහසුයි. ඇඟේ ගාන සුවඳ සබන් කැබැල්ලක් කෙතරම් සුවඳ වුවත් හොඳ වුවත් වටිනාකමකින් යුක්ත වුවත් එය ප්‍රයෝජනයට ගන්නට නම් වතුර හා මිශ්‍ර විය යුතුමයි. එලෙසින් ශ්‍රද්ධාව නමැති ජලය හා මුසු වූ ධර්මය නමැති සබන් කැබැල්ලෙන් අපේ පවිත්‍රත්වය ඇතිකර ගත හැකි යි.

කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයේ දී ශ්‍රද්ධාව සැම විටම සීලයත් සමඟ අත්වැල් බැඳ ගන්නවා. සත්‍යාවබෝධය සිදුකිරීමේ දී අප ත්‍රිශික්ෂාවෙහි හික්මෙන්නේ ද ශ්‍රද්ධාව පදනම් කර ගෙනයි. ත්‍රිශික්ෂාවෙහි හික්මීම තුළින් සිතෙහි කෙළෙස් දුරුකර ගත හැකි ය යන විශ්වාසය නැතිනම් ඒ තුළ හික්මෙන්නට හැකියාවක් නැහැ.

අපේ සංස්කෘතිකාංගයන් පවා ශ්‍රද්ධාවට තිබෙන තැන නිරූපණය කර දක්වා තිබෙනවා. පන්සලක ඇති චෛත්‍ය තුළින් පිටට නොපෙනෙන විශාල අදහසක් පවසනවා. චෛත්‍ය සංකේතවත් කරනුයේ ආධ්‍යාත්මික ජීවිතයක් ගෙන යා යුතු පිළිවෙළ යි.

චෛත්‍යයක පදනම පේසා වළලු තුන, ගර්භය, හතරැස් කොටුව, කොත් කැරැල්ල, කොත යන මේ කාරණා සියල්ලම ධර්මානුකූල අර්ථකථන තිබෙනවා. පදනම ශ්‍රද්ධාවයි. පේසා වළලු ත්‍රිවිධ රත්නයයි. චෛත්‍යය ගර්භය සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි. හතරැස් කොටුව චතුරාර්ය සත්‍යයයි. කොත් කැරැල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. කොත නිර්වාණය යි. ඒ අනුව ද ආධ්‍යාත්මික ජීවිතයක පදනම ආරම්භය ශ්‍රද්ධාව බව තේරුම් ගත හැකියි.

ශ්‍රද්ධාව කියන්නේ අවබෝධය තුළින් ඇතිකර ගනු ලබන නිසැක ස්වභාවයකටයි. විශ්වාසවන්ත ප්‍රසාදයකට යි. එය ඇති වූ තැනැත්තාට තමන් අවබෝධ කරගත් ධර්මය පිළිබඳ ව හා ඒ දහම් දෙසූ පුද්ගලයා පිළිබඳව පමණක් නොව ඒ මග අනුගමනය කරන අය පිළිබඳව ඇත්තේ නො සැලෙන පැහැදීමක්. ඒ ප්‍රසාදය නිසාම ඔහුත් ධර්මය දෙසටම යොමු වෙනවා. ශ්‍රද්ධාවෙහි අවසාන ඵලය විය යුත්තේ ප්‍රඥාව යි. ප්‍රඥාවේ අවසන් ඵලය විය යුත්තේ නිදහස්වීම යි. විමුක්තිය යි.

ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය නිසැකව පිළිගැනීමටයි. තවත් ලෙසකින් පවසන්නේ නම් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණායයි පිළිගැනීම යි. මෙම පිළිගැනීම බුදුදහමෙහි සුවිශේෂී තැනක් ලැබේවි. මේ පිළිගැනීම නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට පවා උනන්දුවක් ඇතිවන්නේ නැහැ.

ඒ නිසා බුදුන් වදාළ ධර්මයෙහි යෙදෙන්නට නම් නිවන් මෙගහි ගමන් කරන්නට නම් අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව තිබිය යුතුයි. කුසල මාර්ගය වඩන්නට ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය වෙනවා. එසේම ශ්‍රද්ධාව නැති ව කිසිදු කුසලයක් කළ නො හැකියි. හැම කුසලයටම ශ්‍රද්ධාව මූලික වෙනවා. සත්‍යාවබෝධයට ශ්‍රද්ධාව ප්‍රඥාවත් දෙක ම අවශ්‍ය කරනවා. ඒ නිසා ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවක් ද ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවක්ද පලක් නො වන බව තේරුම් ගෙන ඒ දෙක සමබර ව පවත්වා ගෙන යන්නට අප උත්සාහවත් විය යුතු යි.

කිසියම් කෙනෙකු තුළ ශ්‍රද්ධාවක් තිබේ ද යන්න බාහිරව බැලූ පමණින් තීරණය කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසයි ශ්‍රද්ධාව මැන බැලීමට කිසිදු මිණුම දණ්ඩක් නොමැති බවට කියමනක් තිබෙන්නේ. අවබෝධයෙන් ඇතිවන පැහැදීම තුළ අවිශ්වාසයක් සැකයක් නැහැ. කෙනෙකුගේ සිතේ තමන් අවබෝධ කරගත් දෙය පිළිබඳ වූ සැකයක් නොමැති නම් ඔහු මානසිකව ශක්තිමත් ස්ථාවර කෙනෙක්. ඔහුගේ ප්‍රසාදය ද ස්ථාවර යි. දුටු ගමන් පැහැදෙන්නේද ද දුටුගමන් කලකිරෙන්නේ ද නැති ස්වභාවයකුයි ඔහුට තිබෙන්නේ.

අපගේ ආධ්‍යාත්මික ජීවිතයේ දී ශ්‍රද්ධාව සැම විටම සීලයත් සමග අත්වැල් බැඳ ගන්නවා සත්‍යාවබෝධය සිදු කිරීමේ දී අප ත්‍රිශික්ෂාවෙහි හික්මෙන්නේ ද ශ්‍රද්ධාව පදනම් කර ගෙනයි. ත්‍රිශික්‍ෂාවෙහි හික්මීම තුළින් සිතෙහි කෙළෙස් දුරුකර ගත හැකිය යන විශ්වාසය නැති කෙනාට ඒ තුළ හික්මෙන්නට හැකියාවක් ද නැහැ.

කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතය ආරක්ෂාකාරී වන්නේ සීලයෙහි පිහිටා සිටින විටයි. සීලය ශ්‍රද්ධාවට ද ශ්‍රද්ධාව සීලයට ද අන්‍යෝන්‍ය වශයෙන් බැඳී කටයුතු කරනවා. ශ්‍රද්ධාව මුල් බැසගත් කෙනා කිසිදා ආධ්‍යාත්මික පිළිසරණ සොයා තථාගත ධර්මයෙන් බැහැරව වෙනතක ගමන් කරන්නේ ද නැහැ. නියං කාලයක පොළොවේ තෙතමනය මුලින්ම නැති වී පොළොව වියළී යනවා. එසේ වුවත් ඉතා යටට මුල් ඇදී ගිය ශක්තිමත් වූ නුග වැනි වනස්පතියන් එසේ නියඟයට වියළී යන්නේ නැහැ. සවිමත් මුල් ඉතා යටට කිඳා බැස ගස ස්ථාවර තත්ත්වයක පවතින බැවින් නියඟය කෙතරම් දරුණු වුණත් ගසට ඉන් හානියක් වන්නේ නැහැ. එසේ මුල් බැස ස්ථාවර වූ ශ්‍රද්ධාව ඇති කෙනාගේ එම ශ්‍රද්ධාව කිසිදු බාහිර බලවේගයකින් සෙලවිය නො හැකියි. ස්ථාවර වූ මුල් වලින් එම ගස පෝෂණය වන්නා සේ තෙරුවන් දෙසට ම යොමු වූ ස්ථාවර ශ්‍රද්ධාව ඇති පුද්ගලයාගේ ආධ්‍යාත්මය ඒ ශ්‍රද්ධාව විසින්ම පෝෂණය කරනවා.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]