UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දියණියකගේ ආරක්ෂාව ඉතාම වැදගත් වනවා

මේ නිසා මවත් හැම විටම දියණියගේ යෙහෙළියක් විය යුතුයි. යෙහෙළියන් යෙහෙළියන් අතර රහස් නැත්තාසේම මව සහ දියණිය අතර කිසිදු රහසක් නැතිව යනවා. මවත් සැම විටම දියණියගේ මව ලෙසින් පෙනි සිටීමට උත්සාහ දරනවාට වඩා යෙහෙලියක ලෙසින්ම සිටීමට උත්සාහ ගත යුතුයි. සැම විටම දියණියගේ එකම ආරක්ෂකයා තමන් බව මව විසින් අවබෝධ කර දිය යුතුයි. එසේ අවබෝධ කර දිය යුත්තේ යෙහෙළියක ලෙසින් දියණියට සමීප වීමෙන්. මව ආරක්ෂකයා ලෙස අවබෝධ කරගත් විට දියණිය සැම විටම මවගේ අනුදැනුම මතයි සියලු කාර්යයන්ට යොමු වන්නේ

අතීතයේ සිට සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් ලෙසින් ජනතාව අතර මුල් බැසගෙන තිබුණා. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය බිහිවූයේත් ඒ අනුවයි.

අතීත හෙළයාගේ ජීවන ක්‍රමෝපාය සංස්කෘතිය අනුවම හැඩ ගැසී තිබුණා. විශේෂයෙන්ම කෘෂිකර්මය මත දිවි ගෙවන රටාවකට හුරුවූ අපේ ජනතාවගේ සීමාසහිත ආශාවන් නිසා තෘප්තිමත් මෙන්ම ආරක්ෂාකාරී ද වුණා.

විශේෂයෙන්ම දූ දරුවන් හදා වඩා ගැනීම, රැකබලා, ගැනීම මවගේ ප්‍රධානම කාර්යයක් වුණා.

බුදු දහමට අනුව හැඩ ගැසුණු ආර්ථික රටාවක්ද අපේ සමාජයට හුරුවී තිබුණා. එසේ වුවත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමෙහි ස්ත්‍රී පුරුෂ යනුවෙන් ප්‍රධාන බෙදා දැක්වීමක් දක්වා නැහැ. ‘මනුස්ස’ යන පොදු ව්‍යවහාරයටයි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ඇතුළු කර තිබෙන්නේ.

එසේම කිසිදු ජන කොටසක් තවත් ජන කොටසකට වඩා උසස් හෝ පහත් ලෙසින් උන්වහන්සේ දක්වා නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සඳහා විද්‍යාත්මක විග්‍රහයන් කිහිපයක් දක්වා තිබෙනවා.

උද්භිද විද්‍යාත්මකව සලකා බැලූ විට ඕනෑම ශාකයක් හඳුනාගත හැකි විශේෂ ලක්ෂණයක් තිබෙනවා. තෘණ ශාක යනුවෙන් වෙන්කර ගත්තද තණකොළ , පන්,උණ ආදි මේ සියල්ලම එක් ශාක කාණ්ඩයේ වුවත් එක් එක් වර්ගය වෙන්කර ගත හැකි ලක්ෂණ තියෙනවා.

ඒ අයුරින් බලන විට මිනිසා කුමන රටක කොතැනක වාසය කළත් ඔවුන් වෙන් කර හඳුන්වා දීමට බැහැ.

ඇස්වල වර්ණය, සමේ පැහැය ආදියෙහි දේශගුණික ක්‍රමවේදයක් අනුව යම් යම් වෙනස්වීම් ඇතිවීමට පු‍්‍රළුවන්.

නමුත් මිනිසා සිතන ආකාරය එකයි. ජානමය වශයෙන් හෝ කලාපීය වශයෙන් සුළු දෙයක් අල්ලාගෙන මිනිසා වෙන් කරන්නට බැහැ.

ආචාර විද්‍යාත්මකව බැලුවත් පින පව විපාක දෙන ආකාරය කාටත් එකයි. එහිදි ගැහැනු පිරිමි කියා වෙනසක් නැහැ.

නීතිය අනුවත් එහෙමයි . කුලය, ගෝත්‍රය, ස්ත්‍රී පුරුෂ කියා වෙනසක් නැහැ. ඒ නෛතික ක්‍රමවේදයයි.

බුදුදහමේ ඉත්ථි, පුරිස වචන භාවිතා වුවත් බුදුරජාණන් වහන්සේ සැම විටම සියලු දෙනාටම පොදුවේ එක් ආකාරයක සැලකිල්ලක් දැක්වුවේ.

ස්ත්‍රි පුරුෂ භේදයක් සහිතව බුදුරජාණන් වහන්සේ යමක් වදාරා ඇත්නම් ඒ ව්‍යවහාර ලෝකය හා සම්බන්ධවීම පිණිසයි. පරාභව සූත්‍රයේ “ඉත්ථි දුත්තො සුරා දුත්තො” යනුවෙන් නම් කර ඇත්තේ මිනිසාගේ පිරිහීමට හේතුවන කරුණු සාධක පෙන්වාදීමටයි.

කොසොල් රජතුමා තම බිසව දියණියක ප්‍රසූත කළ විට බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් තම බිසව දියණියක ප්‍රසූත කළ බව දුක්මුසුව පැවසුවා. තම රාජ්‍යය ඉදිරියට ගෙනයාමට අයකු නොමැති බව රජතුමා බුදුරජාණන් වහන්සේට සැල කර සිටියා. බුදුරජාණන් වහන්සේ රජතුමාට කරුණු පහදා දුන්නේ දියණිය ආදරයෙන් රැක බලා ගත යුතු බවත් ඇය අනාගතයේ වාසනාවන්ත දරුවන් ප්‍රසූත කරනු ඇති බවත් ය.

සක්විති රජකු බිහි කරන්නේත්, බුදු කෙනෙකුන් බිහි කරන්නේත්, මවක විසින් බවයි. බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ.

විවාහයට පත්වෙන දියණියකට නැන්දම්මා සහ මාමණ්ඩිය පවසනවා නම් “මේ දරුවා මගේම දුවෙක් හා සමානයි ‘කියා දියණියකට අසන්නට පුළුවන් වාසනාවන්තම වැකියක් ඒ.

වර්තමානයේ අපේ මව්පියන් අතර මතයක් මතුවීමට පුළුවන් දියණියක ඉපදුනහොත් ඇයගේ ආරක්ෂාව කෙසේ සලසන්නේද කියා.

ඇය හදාවඩා ගන්නේ කෙසේද? දෑවැදි හොයන්නේ, කෙසේද? මෙවැනි ප්‍රශ්න අද සමාජයේ සුලභව දකින්නට පුළුවන්.

මෙවැනි සිතිවිලි මත සිටින්නන්ට කොසොල් රජුගේ කතාව හොඳම උදාහරණයක්. දියණියකට දරා ගැනීමේ විශේෂ හැකියාවක් තිබෙනවා. එම නිසා තමයි දරුවන් බිහිකිරීමේ සිට උස් මහත් කිරීම දක්වා වූ සියලු කටයුතු සඳහා ඇය තම වගකීම් නොපිරිහෙළා ඉටු කරන්නේ.

විශේෂයෙන්ම කුඩා කල සිටම දියණියගේ රහස් පෙට්ටිය අම්මා විය යුතුය. තමාගේ සියලු දේම මවට කියන්න දියණිය පුරුදුවිය යුතුය.අම්මාට නොකියන දෙයක් දියණියක ළඟ තියෙන්න බැහැ.

පාසලේ දී පාර තොටේදී හෝ වෙනයම් ස්ථානයකදී තමන්ට පිරිමි දරුවකු හෝ වැඩිහිටියකු හෝ විසින් කරනු ලබන විහිළුවක් හෝ වෙනයම් කතාවක් හෝ අනිවාර්යයෙන්ම මවට පැවසිය යුතුයි. තම අවශ්‍යතාවන් හෝ ක්‍රියාවලියක් හෝ මවට දැනුම්දීම අනිවාර්යයෙන්ම දියණියකගේ වගකීමක් එමෙන්ම එය ඇයගේ ආරක්ෂාවට ගනු ලබන පියවරක්.

මේ නිසා මවත් හැම විටම දියණියගේ යෙහෙළියක් විය යුතුයි. යෙහෙළියන් යෙහෙළියන් අතර රහස් නැත්තාසේම මව සහ දියණිය අතර කිසිදු රහසක් නැතිව යනවා. මවත් සැම විටම දියණියගේ මව ලෙසින් පෙනි සිටීමට උත්සාහ දරනවාට වඩා යෙහෙලියක ලෙසින්ම සිටීමට උත්සාහ ගත යුතුයි. සැම විටම දියණියගේ එකම ආරක්ෂකයා තමන් බව මව විසින් අවබෝධ කර දිය යුතුයි. එසේ අවබෝධ කර දිය යුත්තේ යෙහෙළියක ලෙසින් දියණියට සමීප වීමෙන්. මව ආරක්ෂකයා ලෙස අවබෝධ කරගත් විට දියණිය සැම විටම මවගේ අනුදැනුම මතයි සියලු කාර්යයන්ට යොමු වන්නේ.

එමෙන්ම මව දියණියට පැහැදිලි කර දිය යුතුයි කුඩා කල සිටම තමන්ගේ ජීවන රටාව කෙසේ සකස් කර ගත යුතුද කියා. එමෙන්ම දියණිවරුන්ද මවගේ ඒ අවවාද අනුශාසනා අනුව කටයුතු කළ යුතුය.

විවාහ වනතුරු තමන්ගේ ඇඟට අතවත් තියන්න කිසිම පිරිමියකුට ඉඩ දෙන්න එපා. දියණියකට දෙන්න පුළුවන් ලොකුම සමාජමය අවවාදය ඒකයි. දියණියකට ලබාදෙන්න පුළුවන් ලොකුම වත්කම චරිතවත් කමයි.

අපේ රටේ අතීතයේ ඉඳලම දියණිවරුන්ගේ ආරක්ෂාවට අවවාද විශාල පිටිවහලක් වුණා. ගොම්මන් වේලාවේ තනියම නොයන්න බලපෑ හේතු රැසක් තිබුණා. ඒ වගේම වැඩිවියට පත්වු දියණියකට මව නැත්නම් අපට ‘ නැන්දා ‘ යන වචනයෙන් හඳුන්වන්න පුළුවන් අය හොඳින් අවවාද ලබා දුන්නා. දැරියකගේ ආරක්ෂාව රඳා පවතින්න ඒ සියල්ල ලොකු හේතුවක් වුණා.ඒ වගේම අපේ සංස්කෘතියෙ තිබුණු පිළිගැනීම් නිසා දියණිවරුන්ට ලොකු ආරක්ෂාවක් ලැබුණා. විශේෂයෙන් හවස් කාලයේ කළු කුමාරයා එනව කියල තිබුණූ මතය නිසා තරුණියක් ඒ වෙලාවට ගමනක් ගියානම් අඩුම වශයෙන් කුඩා පිරිමි දරුවකු හෝ එක්ක යාමට පුරුදු වුණා.

අද තරුණියො කළු කුමාරයාට බය නෑ. ඒත් කළු කුමාරයට වඩා භයානක කුමාරයො එන බව එයාලට තේරුමක් නැහැ.අද තරුණියකට කළු කුමාරයා ගැන කිව්වොත් ලැබෙන පිළිතුර මොකක්ද?

‘දැන් කළු කුමාරයා කසාද බැඳලා, අපේ පස්සෙන් එන්නෙ නෑ.’ කියයි. ඉස්සර අපේ වැඩිහිටියො ඇයි තරුණියන්ට මේ දැනුම්වත් කිරීම් කලේ. ගම්මුලාදෑනින්, කෝරාළ ආරච්චිල මොනවද කිව්වෙ. තම තමන්ගේ බල ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඒ අය කොයිතරම් උත්සාහ කරාද?

දියකඩිත්තක්, වනරොදක්, සොහොන් පිටියක් වගේ තැන් අසලින් ඉස්සර තරුණියක් තනියම ගියේ නෑ. මේ තැන් බිය මෙන්ම කාමය උද්දීපනය වන තැන්.

ඒක නිසයි අපේ පැරැන්නො කිව්වෙ ඒ තැන්වල මහසෝනා ඉන්නවා කියලා, කළු කුමාරය, ඊරියකා ඉත්නව කියල, මෝහිණී එනව කියල.

මේ නිසා අපේ තරුණියන්ට ස්වභාවික ආරක්ෂාවක් ලැබුණා. ඊරියකා පිළිබඳ මැවීම අපේ තරුණියන්ට වක්‍රව හොඳ ආවරණයක් වුණා. නමුත් අද විද්‍යාත්මක පහදාදීම් ඒ පසුපස යමින් ඒ තත්ත්වය වෙනස කරලා ඇයි අපේ තරුණියන්ගේ ආරක්ෂාව ඉවත් කරන්නේ තෙල් කෑමක් කාලා හවස් යාමයේ තනිව ගියේ නැහැ.

නැත්නම් යකඩ ඇණයක් හරි අරගෙනයි ගෙයින් එළියට බැස්සේ. එය ආයුධයක් අපේ ධර්මයේ තියෙනවා භික්ෂුණියක වුවත් තමන්ගේ ගොදුරුගමින් ඈතට යනවානම් අනිවාර්යයෙන්ම ආරක්ෂාවට ආයුධයක් රැගෙන යා යුතු බවක්. අඩුම වශයෙන් දණ්ඩක් නැත්නම් දැලිපිහිය හෝ සැරයටිය හෝ රැගෙන යන්න ඕන. ධර්මයෙන් පවා කාන්තා ආරක්ෂාව කෙරෙහි කෙතරම් සැලිකිල්ලක් දක්වා තිබෙනවාදැයි මෙයින් වටහාගන්න පුළුවන්. ඒ වගේම තමයි දියණියන් තම ආරක්ෂාවට යම් සටන් කලාවක් ඉගෙන ගැනීමත් කිසිදු වරදක් නැහැ. එය අගය කළ යුත්තකි.

අපේ රටේ ඈත අතීතයේ සිට ආගම් සටන් කලාව තිබුණා. එම නිසා තම ආරක්‍ෂාව උදෙසා යම් උපක්‍රමයක් යොදා ගැනීමට තරුණ දියණිවරුන් කටයුතු කිරීම කාලෝචිතයි.

‘කුංෆු’ සටන් කලාව භික්ෂුණීන් මුල් කරගෙන චීනයේ ඇති වූ සටන් කලාවක්. එහෙත් අද බොහෝ තරුණ දියණියන් අවධානය යොමු කරන්නේ තම ආරක්ෂාවට වඩා රූපලාවණ්‍ය කෙරෙහි පමණයි.

අපේ මව්වරුන්ද ඊට අනුබල දෙන ප්‍රවණතාවක් තිබෙනවා. අනුබල දෙනවා විතරක් නෙමෙයි තමන්ද ඒ සඳහා යොමු වී කටයුතු කරන බවයි පේන්නේ. ඇහි බැම සකස් කිරීම රෝම කූප සකස් කිරීම, ශරීරය සිහින්ව පවත්වා ගැනීම වගේ ශරීරයට බාහිර ආටෝප එකතු කිරීමට තමයි අද තාරුණ්‍යයේ සමාජය හුරුවී තිබෙන්නේ. මේ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන ඔවුන්ට හැගීමක් නැහැ.

අවට ලෝකය ගැන ඔවුන්ට මනා දැක්මක් නැහැ.

තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින්ම සලසා ගත යුතු බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. මේ නිසා තමන්ගේ ආරක්ෂාව ධර්මයට අනුවත් සමාජයට ගැළපෙන අයුරිනුත් සකසා ගැනීමට අප කටයුතුකළ යුතුයි. එසේ කිරීමට අපට හැකියාව ලැබෙන්නේ නම් පසුගිය දවස්වල වාර්තා වූ කහවත්තේ මව සහ දියණිය ඝාතනය වැනි සිද්ධීන් අපට වළක්වාගන්න ඉඩ තිබුණා.

ධර්මයට අනුව තම ආරක්‍ෂාව සලසා ගන්නේ කොහොමද? වර්තමාන සමාජ රටාවන් සමඟ ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද? ඊළඟ කලාපයෙන් විමසා බලමු.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk