UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පූජිත පින්කෙත

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

අපේ දේශයේ ජාතික, ආගමික, සංස්කෘතික සහ ශාසනික පුනර්ජීවනය උදෙසා ආත්ම පරිත්‍යාගයෙන් ආත්ම ධෛර්යයෙන් පෙරමුණ ගෙන ඇප කැපවූ දේශපේ‍්‍රමින්ගේ ජාති හිතෛෂීන්ගේ විශිෂ්ට නාමාවලියෙහි ශ්‍රේෂ්ඨ ස්ථානයක වැජඹුණු හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන්ගේ 185 වැනි ජන්ම සංවත්සර උළෙල 2012 ජනවාරි 20 වැනි දිනයට යෙදුණි.

දකුණු සිරිලක හික්කඩුවේ හෙට්ටිගොඩ ගම් ප්‍රධානියා වූ ජොහානිස් අබේවීර ගුණවර්ධන රාළහාමි සහ දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ යන දෙපළට දාව 1827 ජනවාරි 20 වැනි දින උපන් කුමරු නිකලස් අබේවීර ලියනාරච්චි ගුණවර්ධන නම් විය. පියා විසින් දරුවාට නිසි වයස් සම්පූර්ණවීමෙන් පසු හික්කඩුවේ සෝභිත මාහිමියන් ලවා ‘ස්වස්ති සිද්ධම්’, ‘අ’,’ආ’ යනු කියා අත්පොත් තබා ගත්හ.

මිෂනාරි ආධිපත්‍යය මුළුරටම නතු කරගෙන සිටි ඒ අවධියේ පාසල් අධ්‍යාපනය සඳහා පිවිසි මේ කුමරු අනෙක් දරුවන්ට වඩා කීමෙහි බිණීමෙහි ලිවීමෙහි අතිමහත් දක්ෂතා දැක්වීය. ගාල්ල කොටුවේ සෙන්ට්‍රල් කොලිජියට භාරදීමට ගිය අවස්ථාවද අහිමිවීමෙන් මතු අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත් වන්නට සැක පහළ කෙරිණි.මේ ගැන කිසිත් නොදත් කුමරු දිගටම පන්සලේ දහම් පොත් අතර කාලය ගෙව්වේය.

1840 නොවැම්බර් මස තොටගමු මහ වෙහෙර උපෝෂථාගාරයේදී හික්කඩුවේ සුමංගල යන නාමයෙන් මෙම කුමරු පැවිදි බව ලබා ගත්තේය. පැවිදි ජීවිතයට අවශ්‍ය මූලික බණ දහම් හදාරා කුඩා සුමංගල සාමණේරයෝ උසස් අධ්‍යාපනය උදෙසා 1844 වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමියන්ට භාර කළහ. වලානේ මාහිමිපාණන් වහන්සේගේ සෙවණෙහි සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව, ජන්දෝලංකාර ඡ්‍යොතිෂය හා ආයුර්වේදය හැදෑරුහ. ප්‍රාචීන භාෂාවන්ට අමතරව හින්දි, ඉංගී‍්‍රසි ආදි භාෂාවන්ද හදාළහ. ඒ අතර කශීනාථ විද්‍යාලංකාර පඩිතුමන්ගෙන් සංස්කෘත හා තර්ක න්‍යාය ආදියෙන් තම බුද්ධි මහිමය පෝෂණය කර ගත්හ.

මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලැබ හික්කඩුවේ තිලකාරාමයට යළිත් වැඩියහ. ඉන්පසු ගාලු නගරාසන්නයෙහි පිහිටි බෝගහවත්තෙ සුදර්ශන පරමානන්ද විහාරයට පිවිසියහ. මිෂනාරි ව්‍යාපාරය ඉතා සීග්‍ර ලෙස ව්‍යාප්තව තිබුණු එම කාලයෙහි බෞද්ධ ජනතාව අසරණව සිටියහ. තරුණ සුමංගල හිමිපාණෝ ලංකෝපකාර නමින් මුද්‍රණාලයක්ද ලංකාලෝක නමින් පත්‍රයක්ද 1862 දී ආරම්භ කළහ. සුදර්ශන සඟරාව, බෞද්ධවාක්සාරය, ආගම් පරික්ෂාව ආදි වශයෙන් පත්පොත් රාශියක් මුද්‍රණය කර ව්‍යාප්ත කළහ.

1869 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණෝ ශ්‍රී පාදස්ථානයේ අභිනව නායක ධූරයටද තෝරා පත්කර ගත්හ. පැල්මඬුල්ලේ පැවැති ත්‍රිපිටක සංගායනාවේ මුලසුන හොබවන්නට අනපේක්ෂිත ආකාරයෙන් අවස්ථාවක් ලැබී හික්කඩුවේ සුමංගල හිමිපාණෝ එම කාර්යයද ඉතා ඉහළින් ඉෂ්ට කළහ.

මෙම කාලය වන විට මුළු කොළඹ ප්‍රදේශයම අන්‍ය ලබ්ධිකයන්ගේ ග්‍රහණයට හසුවී තිබුණි.මෙයින් බෞද්ධ ජනතාව ඉමහත් ව්‍යසනයට පත්ව සිටියහ. දේශවාත්සල්‍යයෙන් ජාතිකානුරාගයෙන් යුත් අනුශාසකවරයකු නොමැති කමින් ඔවුහු විපිලිසරභාවයට පත්ව සිටියහ. දොන් පිලිප්ද සිල්වා, ඈපා අප්පුහාමි රත්මලානට පැමිණ සුමංගල හිමිපාණන් හමු වූයේය. සුමංගල හිමිපාණන්ටද අගනුවර පෙදෙසෙක විහාරස්ථානයක් ගොඩ නැගීමේ බලාපොරොත්තුවද තිබිණි.

උපසම්පදා භික්ෂූන් සතර නමක් සහ සාමණේර හතර නමක්ද සමග සපැමිණ කොටහේනේ පරමානන්ද විහාරස්ථානයෙහි නතර වූහ. ප්‍රදේශයේ නොයෙක් සමිති සමාගම්වල අනුශාසක ධූරයටද පත්වූහ. 1871 වර්ෂයේදී ඇසළ පුන් පොහෝදා සුමංගල හාමුදුරුවෝ මාලිගාකන්දේ ‘ෆාම් හවුස්’ නිවසට පැමිණ වස්කාලය ගත කළහ. මෙම පින් බිමෙහිදී අනාගත නාලන්දාවක් ගොඩ නගා ගැනීමේ මහත් බලාපොරෙත්තුවක් ඇතිව දහතුන් දෙනෙකුගෙන් යුක්තව “විද්‍යාධාර සභාව“ ගොඩනගා ගත්හ. ඒ සමගම තවත් ඉදිරි පියවරක් තබමින් 1873.12.06 වැනි දින මෙම සමිතිය මගින් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර පළමු වරට සභාවකින් ආයතනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පටන් සියලු වගකීම් සහ එම ආයතනයේ පෝෂණය සහ අභිවෘද්ධිය එම සභාවටම පැවරූහ. නා හිමිපාණන් සිතු පැතූ ආකාරයෙන්ම 1873 දෙසැම්බර් මස අග දිනකදී “විද්‍යෝදය”නමින් පෙරදිග නාලන්දාවට මුල ඉතිහාසයේ පළමු වරට විද්‍යෝදය පිරිවෙන්හි ත්‍යාග ප්‍රදානෝත්සවයක් සිදු කරන ලදී. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාගේ යෝජනාවක් මත පණ්ඩිත ජේම්ස් ද අල්විස් මහතාගේ ස්ථිරත්වයෙන් රජයෙන් එම පිරිවෙනට පවුම් හැටක පාරිතෝෂික දීමනාවක් ලබාගැනීමට නිර්දේශ කෙරිණි. එම මුදල පිරිවෙන්හි දියුණුවට මහෝපකාරි විය. 1876 මාර්තු 10 වැනි දින මෙම පුණ්‍ය භූමිය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සාධූ නාදය මධ්‍යයේ සඟ සතු කොට පූජා කරන ලදී.

විද්‍යෝදය පිරිවෙන ආරම්භ කරන්නට පුළුල් මෙහෙවරක යෙදුණූ සුමංගල හිමිපාණෝ තම අවිවේකී ජීවිතයේ තත්පර ගණනාවක් නතර නොවී විවිධ කාර්යයන් වෙත පිවිසුණහ. බ්‍රහ්ම ධර්මය නම් අනුශාසනා සංග්‍රහයෙන් ආරම්භ කළ ග්‍රන්ථ කරණයෙන් හා සංස්කරණයෙන් පත් පොත් රාශියක් පළ කළහ. මුල්ම අවස්ථාවේදි ගැඹුරු මෙන්ම සරල ග්‍රන්ථ 12 ක් පළ කළහ.

පිරිවෙන් අධ්‍යාපනයෙන් තවත් ඉදිරියට ගොස් ජාතික නිදහස් සටනට පෙරමුණ ගත්හ. මිෂනාරි ආක්‍රමණයට එඩිතරව ක්‍රියා කරන්නට ජනතාව අවදි කළහ. ඒ අතරම සිංහල බෞද්ධයන් හා ක්‍රිස්තියානින් අතර හටගත් වාද විවාදවලටද සම්බන්ධ වූහ. වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් නැගු කාහල නාදයට දිරිය විරිය සවිය ලබාදෙමින් බද්දේගම වාදය, ගම්පොළ වාදය, ඔරුගොඩවත්තේ වාදය,උද්දම්මිට වාදය සහ අති ප්‍රසිද්ධ පානදුරාවාදයට එක්ව ජයග්‍රහණ රාශියක් ලබා ගත්හ.

මෙකල ශාස්ත්‍රිය අතින් වාද විවාද රාශියක් පැවතුණි. අධි මාන වාදය, පාරුපන වාදය, න,ණ,ල,ළ වාදය සව් සත්දම් වාදය වශයෙනි. මෙම ශාස්ත්‍රිය වාද විවාදවලින් අපේ භාෂාවේ සාහිත්‍යයේ සංස්කෘතියේ විප්ලවීය ගමන් මගකට යොමු විය.

ශ්‍රී පාදස්ථානයේ නායක ධූරයත් ගාලු පළාතේ නායක ධූරයත් කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝ නායක ධූරයත් පරම විඥානාර්ථ සමාගමේ උප සභාපති ධූරයත් ඉතාලියේ රාජකීය ආසියාතික සමාගමේ අධි සාමාජික ධුරයත් සමග ත්‍රිපිටක වාගීශ්වර, මහෝපාධ්‍යය හා සම්භාවනීය තනතුරු සහ වගකීම් හෙබවූහ. සුමංගල නාහිමිපාණන්ගේ ගිහි පැවිදි ශිෂ්‍යයෝ විශාල පිරිසක් වෙති. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ගේ ශ්‍රේෂ්ඨ නාමකාය සදා සිහිපත් කෙරෙන ස්ථාන නාම රාශියක් අප රට තුළ ඇත. වැලිවිටියේ සෝරත උප කුලපති හිමිපාණන් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයක් සංස්කරණය කළහ. හික්කඩුවේ ශ්‍රී සුමගල නාහිමිපාණන් පැවිදි මහා යුග පුරුෂයකු වශයෙන් පුළුල් මෙහෙවරක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉටුකර සිය ශ්‍රේෂ්ඨ නාමකාය ශ්‍රී ලංකා ධරණී තලයේ සදහටම ඉතිරි කර 1911 බක් මස 29 වැනි දින අපවත් වී වදාළහ.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk