සසුන් බඹසර
නිවන පිණිසම වන
භික්ෂු ප්‍රතිපදාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
(පිළිවෙළින් පසුගිය කලාප
සතරකදී පළ වූ ‘සසුන් බඹසර’ නම් ලිපියේ අවසාන කොටසයි)
අප විසින් පසුගිය කලාප සතරකදීම සාකච්ඡා කරන්නට යෙදුණු මජ්ක්‍ධිම නිකායේ
‘දන්තභූමි’ සූත්‍රයෙන් ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳ කරුණු ඉදිරිපත්
කෙරිණි.
ආර්යශ්‍රාවකයා සිය සිතේ පිරිසුදු බව නැති කරන, ප්‍රඥාව දුබල කරන පඤ්ච
නීවරණ, භාවනාව මගින් හැරදමන අයුරු ගියවර දැන ගතිමු. දැන් මේ ආර්ය
ශ්‍රාවකයා තම ප්‍රඥාව දියුණු කර ගැනීමට බාධක වූ, ප්‍රඥාව දුබල කරන
පඤ්චනීවරණ හැර දමා කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් දනිමින් සිහි ඇතිව
කය කෙරෙහි සිහිය පිහිටුවා ගෙන වාසය කරයි. කයෙහි කය නුවණින් දක්නා සුළුව
වාසය කරයි. එමෙන්ම වේදනාවන් කෙරෙහි ද සිතෙහි ද ධර්මයන් කෙරෙහි ද මනාව
සිහිය පිහිටුවා ගනියි. මෙලෙස මේ තැනැත්තා කායානුපස්සනාව,
වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව යන සතර
සතිපට්ඨානයන්හි මනාව සිහිය පිහිටුවා ගෙන කටයුතු කරයි.
“සෝ ඉමේ පඤ්ච නීවරණේ පහාය චෙතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ කායේ
කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා
දොමනස්සං. වේදනාසු .... “
යනුවෙන් එම කරුණ දේශනා කොට තිබේ. මේ කාරණය පැහැදිලි කිරීම සඳහා
බුදුරජාණන් වහන්සේ උපමාවක් ද දේශනා කළ සේක. එනම්, යම් පරිදි ඇතුන් දමනය
කරන්නෙක් මහත් ටැඹක් පොළොවෙහි සිටුවා එහි කැලෑ ඇතකු බඳියි. ඒ කුමක්
සඳහා ද ? ආරණ්‍යයක ස්වභාවයන් එනම්, කැලෑ ගති හෙවත් වල් ගති ඉවත් කිරීමට
ය. ඇතුගේ වනයට ඇලුණු සිත ඉන් ඉවත් කොට ගමට සිත කැමැති කරවන්නට, මිනිස්
ආශ්‍රයට සුදුස්සකු බවට පත් කරන්නට ය. එලෙසට ම බුදුරජාණන් වහන්සේ ද ආර්ය
ශ්‍රාවකයාට මේ සතර සතිපට්ඨානය උගන්වන්නේ, එහි හික්මවන්නේ ගිහිගෙය හා
සම්බන්ධ වූම ස්වභාව දුරු කිරීම පිණිස ය. ඒවා කෙරෙහි ඇලීමෙන් නිවනට
ඇතිවන බාධා දුරු කරවීම පිණිස ය. නිවන ප්‍රත්‍යක්ෂ කරවීම පිණිස ය.
තථාගතයන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයා තව දුරටත් හික්මවති. ඒ කයෙහි කය
නුවණින් දක්නාසුළුව වාසය කිරීමටත්, කාමයන් සමඟ යෙදුණු විතර්ක විතර්කනය
නො කිරීමටත් ය. එමෙන්ම වේදනාවන්හි ද සිතෙහි ද ධර්මයන්හි ද සිහිය මනාව
පිහිටුවා ගෙන නුවණින් දක්නාසුළුව වාසය කිරීමටත් ය. මේ සතර සතිපට්ඨානය
වඩන ආර්ය ශ්‍රාවකයා මේ කාමාදී අකුසල විතර්ක විතර්කනය නො කිරීමට වග
බලාගත යුතුය. සිහිය මනාව තබාගත යුතුය. සතර සතිපට්ඨානය මැනැවින්
වැඩෙන්නේ එවිටය. මෙලෙස මනාව සිහිය පුරුදු පුහුණු කරමින් එය වඩන ඔහුගේ
සිත හොඳින් පිරිසුදු වෙයි. මැනැවින් සමාධිගත වෙයි. සිත සමාධිමත් වී
ධ්‍යාන උපදවා ගැනීමට හැකියාව ලැබෙයි. සතරවන ධ්‍යානය දක්වා සිත දියුණු
කර ගනියි.
ධ්‍යාන උපදවා මෘදුව කර්මණ්‍ය වූ සිත් ඇති ඒ භික්‍ෂුව පෙර ජාති සිහි
කිරීමේ නුවණ හෙවත් පුබ්බේනිවාසානුස්සති ඤාණය පිණිස සිත නතු කරයි. ඒ
භික්‍ෂුව අනේකවිධ පෙර ජාති සිහි කරයි. ඒ කෙසේද ? ඒ භික්‍ෂුව එක්
ජාතියකුත් ජාති දෙකකුත් ආදී වශයෙන් අනේක ප්‍රකාර පෙර ජාති, පෙර ජීවිත
සිහි කරයි.
තවද පිරිසුදු වූ සමාහිත වූ සිත් ඇති මේ භික්‍ෂුව සත්වයන් චුත වන, උපදින
අයුරු දැකීමේ ඥානය ද උපදවා ගනියි. එය චුතූ®පපාත ඥානය යි. එම භික්ෂුව
මිනිස් ඇස ඉක්මවා සිටින දිවැසින්, චුත වන උපදින හීන ප්‍රණීත සුවර්ණ
දුර්වර්ණ යහපත් වූ අයහපත් වූ ඉපදීම් ඇති සත්වයන් දකියි. කළ කර්මයන්ට
අනුව පරලොව ගිය සත්වයන් දකියි. ඒ භික්‍ෂුව, මේ සත්වයන් කායික
දුසිරිතෙන්, වාචසික දුසිරිතෙන්, මානසික දුසිරිතින් සමන්විත වී මේ මේ
ආකාරයට උපදිනා බව දැන ගනියි. නිවන පිණිසම ගමන් කරන මේ භික්‍ෂුව මේ
ඥානයන් ලබා ගැනීමෙන් පමණක්ම සෑහීමකට පත් නොවේ. මෙසේ පිරිසුදු වූ සමාහිත
සිත් ඇති භික්‍ෂුව ආස්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස ආස්‍රවක්ෂය ඥානය පිණිස
සිත නතු කරයි. එම භික්‍ෂුව දුක පිළිබඳ ‘මේ දුක යැ’ යි යථාභූත ව
නුවණින් දැන ගනියි. දුක්ඛසමුදය පිළිබඳ ‘මේ දුක්ඛසමුදය යැ’ යි යථාභූතව
නුවණින් දැන ගනියි. දුක්ඛනිරෝධය පිළිබද ‘මේ දුක්ඛනිරෝධයයැ’ යි යථාභූතව
නුවණින් දැන ගනියි. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳ ‘මේ දුක්ඛ
නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යැ’ යි යථාභූතව නුවණින් දැන ගනියි. මේවා
ආස්‍රව යැයි යථාභූ®තව නුවණින් දැන ගනියි. මෙය ආස්‍රව සමුදය හෙවත්
ආස්‍රව හටගැනීම බව යථාභූතව නුවණින් දැන ගනියි. මෙය ආස්‍රව නිරෝධය යැයි
යථාභූතව නුවණින් දැන ගනියි. මෙය ආස්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යැයි
යථාභූ®තව නුවණින් දැන ගනියි.
මෙහි ආස්‍රව යනුවෙන් සඳහන් කරන්නට යෙදුනේ කුමක්ද ? ආස්‍රව යනු කෙලෙස්
ය. ආස්‍රව සතරකි. ඒවා නම් කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨි ආශ්‍රව සහ
අවිද්‍යාශ්‍රව යන සතරයි. ඉඳින් අපි මෙහිදී භික්‍ෂුව ආස්‍රවනිරෝධ ගාමිනී
ප්‍රතිපදාව යථාභූ®තව නුවණින් දැන ගන්නා බව සඳහන් කළෙමු. මෙසේ ඇත්ත
තත්ත්වය යථා තත්ත්වය නුවණින් දැන ගන්නා, දක්නා එම භික්‍ෂුවගේ සිත
කාමාශ්‍රවයන්ගෙන් ද, භවාශ්‍රවයන්ගෙන් ද, අවිද්‍යාශ්‍රවයන්ගෙන් ද
මිදෙයි. සිත මේ ආශ්‍රවයන්ගෙන් නිදහස් වූ විට, මිදුණු විට සිත විමුක්ත
යැයි ප්‍රත්‍යවේක්ෂාඥානය වෙයි. දැන් මේ භික්‍ෂුව ශාසන බ්‍රහ්මචර්යාව
සම්පූර්ණ කළ අයෙකි. බඹසර වාසය කොට නිමවන ලද අයෙකි. ඉපදීම ක්ෂය වී ඇත.
නැවතත් එම භික්‍ෂුවට උපතක් නොමැත. නිවන පිණිස කළයුතු වූ සියල්ල කරන ලද
අයෙකි. උතුම් වූ රහත් බව පිණිස තවදුරටත් කළයුතු අන් කිසිවක් නැති බව
නුවණින් දැන ගනියි.
“තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවා පි චිත්තං විමුච්චති. භවාසවාපි
චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං
විමුත්තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං,
නාපරං ඉත්‍ථත්තායාති පජානාති”
කුලපුත්‍රයන් ගිහිගෙයින් නික්මෙන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිව ද ඒ උතුම්
බලාපොරොත්තුව වන උත්තමාර්ථය වෙත මේ භික්‍ෂුව දැන් පැමිණ තිබේ. සසුන්
බඹසර මැනැවින් සම්පූර්ණ කොට තිබේ. උන්වහන්සේ දැන් උතුම් වූ රහතන්
වහන්සේ නමකි.
මේ රහත් භික්‍ෂුව සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය, මැසි මදුරු උවදුරු,
අව්, සුළං යන මෙවැනි දෑ ඉවසයි. තවද දුක් වූ තීව්‍ර වූ බර වූ කටුක වූ
අමනාප වූ දැඩි ශාරීරික වේදනා ද ඉවසන සුළු වූයේ වෙයි. සියලු රාග, ද්වේෂ,
මෝහ ප්‍රහාණය කොට, කෙලෙස් කසට ඉවත් කොට දමා සිටින්නේ වෙයි. ඒ උත්තමයන්
වහන්සේට දන් දෙන්නට සුදුසුය. එතුමෝ ආහාරපාන පිළිගැනීමට සුදුසු
උත්තමයෙකි. ආගන්තුක සත්කාර ලැබීමට, දක්ෂිණා ලැබීමට සුදුසු උතුමෙකි.
වැඳුම් ලැබීමට ද සුදුසු වේ. ලෝකයට අනුත්තර වූ පින් කෙතකි. මේ පින්
කෙතෙහි බීජ වපුරා හොඳ හැටියට ඵල ලද හැකි වේ. සැබැවින්ම සිවුපසය ලැබීමට
වැඩි සුදුසුකම් ඇත්තෝ ද රහත්හුමය.
මීළඟට බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවක රහත් නොවී මරණයට පත්වීම ගැනත් රහත්
වී පිරිනිවන් පෑම ගැනත් වදාළ සේක. රජුගේ මහලු ඇතා දමනය නොවී අවිනීතව
කලුරිය කරයි ද එවිට රජුගේ මහලු ඇතා දමනය නොවී දමනය නොවූ දිවියක් ඇතිව
මරණයට පත්වූවාය යන ගණනට යයි. රජුගේ මධ්‍යම වයස් ඇතා දමනය නොවී අවිනීතව
කලුරිය කරයි ද එවිට රජුගේ ඒ මධ්‍යම වයස් ඇතා දමනය නොවී දමනය නොවූ
දිවියක් ඇතිව මරණයට පත් වූවා ය යන ගණනට යයි. රජුගේ වැඩි වයසක් නැති ඇතා
දමනය නොවී අවිනීතව මිය යයි ද එවිට රජුගේ වැඩි වයසක් නැති ඇතා දමනය නොවී
දමනය නොවූ දිවියක් ඇතිව මරණයට පත් වූවාය යන ගණනට යයි. මේ සුන්දර උපමාව
වදාළ බුදුරජාණන් වහන්සේ මෙය මේ ශාසනයටත් සම්බන්ධ කොට දක්වන සේක. එනම්,
ස්ථවිර භික්‍ෂුවක් රහත් නොවී කලුරිය කරයිද උන්වහන්සේගේ ඒ මරණය දමනයට
පත් නොවී සිදු වූ මරණයක් ය යන ගණනට යයි. තවද මධ්‍යම වයස්ව සිටින
භික්‍ෂුවක් රහත් නොවී කලුරිය කරයි ද, නවක භික්‍ෂුවක් රහත් නොවී කලුරිය
කරයි ද ඒ භික්‍ෂූන්ගේ මරණයන් ද දමනයට පත් නොවී සිදුවූ මරණයන් ය යන ගණනට
යයි.
එහෙත් රජුගේ මහලු ඇතා, මධ්‍යම වයස් ඇතා, වැඩි වයසක් නැති ඇතා දමනය වී
මනාව දමනය වී සුවිනීතව මරණයට පත් වූ විට ඒ මරණය දමනයට පත්වී සිදුවූ
මරණයක් ය යන ගණනට යයි. එමෙන්ම ස්ථවිර භික්‍ෂුවක්, මධ්‍යම වයස්ව සිටින
භික්‍ෂුවක්, නවක භික්‍ෂුවක් රහත් බවට පත් වී පිරිනිවන් පායි ද
උන්වහන්සේගේ ඒ මරණය දමනයට පත් වී සිදුවූ මරණයක් ය යන ගණනට යයි. මෙයින්
භික්‍ෂුවක වශයෙන් කෙලෙස් ප්‍රහීණ නො කොට මරණයට පත් වීමේ ඇති ගර්හිත
ස්වභාවත්, කෙලෙස් ප්‍රහීණ කොටම පිරිනිවන් පෑමේ ඇති වටිනාකමත් මැනැවින්
පැහැදිලි වේ.
බුදුරජාණන් වහන්සේ මේ ‘ දන්තභූමි සූත්‍රය’ වදාළ සේක. එය ඇසූ අචිරවත
සාමණේරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් භාෂිතය සතුටින්
පිළිගත්හ. මේ බුද්ධ දේශනාව තුළින් බුද්ධ ශාසනයේ උතුම් සසුන් බඹසර
පිළිබඳ අපි උගතිමු. මේ සංසාරය යනු ඉතා ජුගුප්සාජනක, වහ වහා එතෙරවිය
යුතු තැනකි. එබැවින් මේ සසුන් බඹසර රැකීමෙන්, පිරීමෙන් මේ සංසාරයෙන්
නිදහස් වීමට, එතෙර වීමට කටයුතු කළ යුතුවේ.
සටහන
හසන්ත වාසනා
සමරසිංහ |