UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රාහුල තෙරණුවෝ නිවන් දුටු සේක

 

පුංචි රාහුල හාමුදුරුවන් ශීල ගුණයෙන් ද එසේම සමථ විපස්සනා භාවනාවන්ගෙන් හා ප්‍රඥාවෙන් පරිපූර්ණව නිවන් සුව සලසා ගත් සේක

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තං කිම්මඤ්ඤසි රාහුල කිමත්ථීයො ආදාසො?
පච්චවෙක්ඛනෙත්‍ථා භන්නේ
එව මෙව ඛො රාහුල පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛත්වා
කායේන කම්මං, වාචාය, කම්මං මනෝ කම්මං කාතබ්බං
(අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය)

පින්වත,

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු පූජනීය දිනයක් ලෙස නවම් පොහෝ දිනය සැලකිය හැකිය. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද්දේත් ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වූයේත්, සම්බුදුරජුන් විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීමත් විශාලා මහනුවර චාපාල චේතියේදී බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමත් සිදු වූයේ මේ අසිරිමත් නවම් පෝදාය.

අගසව් ශාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත් රාහුල පොඩි හාමුදුරුවෝ වයසින් සත්වන අවුරුද්ද ඉක්මවා නොසිටියහ. කාහට වුණද පි‍්‍රයශීලි වූ රාහුල හිමියෝ අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් සුහදව පිරිස් සිනා ගන්වන විහිලු බස් තෙපලන අයෙකු ලෙස කාහට වුවද දැක ගත හැකි විය. ශ්‍රමණ ධර්මයන් නොවැඩී මේ නිසා පිරිහෙනු දුටු බුදුහු රාහුල හිමියන් අම්බලට්කාව නම් වනබද විහාරයකට පිටත් කළහ. ටික දිනකින් එහි වැඩි බුදුරදුන් වඩිනු දුරදීම දුටු රාහුල හාමුදුරුවෝ පා සෝදනු පිණිස දිය බඳුනක් තැබූහ. හිඳිනට අසුනක් ද පැන වූහ. එම අසුනෙහි වැඩ සිටි බුදුරදුන්ගේ දෙපා පැන් වක්කොට සේදූහ. දැන් බඳුනෙහි අඩක්ම හිස්ව ඇත.

රාහුලයෙනි! පළමුව මෙම බඳුනෙහි පැන් පිරී තිබුණා නේද? එසේය. භාග්‍යවතුන් වහන්ස,

පා සේදීම නිසා එයින් අඩක්ම හිස් විය. රාහුලයෙනි, අනුන් සිනා ගැන්වීමට හෝ බොරු බස් තෙපලන කළ එම පැවිද්දන්ගේ ගුණ ධර්මද අර ජලය මෙන්ම නැතිවී යන්නේය.

රාහුල, එම බඳුන මුනින් අතට හරවන්න.

දැන් මීට පිරිවිය හැකිද? රාහුල! නොහැකිය හිමියනි!

එපරිද්දෙන් රාහුල බොරු බස් තෙපලන පැවිදි තැනගේ ශ්‍රමණ ගුණයන් ද එකතු නොවන්නේය. රාහුලයෙනි, දැන්වහාම බඳුන උඩ අතට හරවන්න. රාහුලයෙනි, ශ්‍රමණ ගුණධර්මයන් පිරෙන්නේ උඩ අතට හැරවූ දිය බඳුනක මෙන් තමාගේ හිත කය වචනය වැරැදි වලින් වළකාගත් කල්හිම පමණෙකි.

සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන්ට අදාස තලය (කැඩපත හෙවත් කන්නාඩිය උපමා කරමින් තම ශ්‍රමණ ධර්මයන් හෙවත් පැවිදි බිමෙහි අපේක්‍ෂා කරන ගුණ ධර්මයන් තවත් අයුරෙකින් දක්වතොත් තම ශීලාදී ගුණධර්මයන් සපුරා ගනු ලබන පිළිවෙල ද සවිස්තරව දෙසූහ. රාහුල, මෙහිහි රන්මුවා කැඩපතකින් රජ ගෙයි දී ඔබ ලබා ගත් ප්‍රයෝජන කවරේද?

භාග්‍යවතුන් වහන්ස! විමස විමසා බලමින් මුහුණ ආදියෙහි වූ ඉවත් කළ යුතු වූ අප ද්‍රව්‍යයන් දැන හඳුනා ගෙන ඒවා ඉවත් කරමි. එපරිද්දෙන් රාහුල, නිරතුරුවම විමසා විමසා අපිරිසුදු පාප චේතනාවන් ඉවත් කොට තම පිරිහුණු බව රැක ගත යුතු ප්‍රධාන කරුණු 3 ක් තිබෙනවා. ඒවා නම් තමාගේ කාය කර්ම, වචී කර්ම, හා මනෝ කර්ම යනු මේවායි.

යම් කාය කර්මයක් කරන්නට සූදානම් වන කල්හි ද සිදු කරන කල්හිද සිදුකොට අවසන් වු කල්හිද එම කර්මය තමාට අනුන්හට අවැඩ පිණිස පවතින්නේද පළමුවෙන් කරන කල්හිත් කළායින් පසුවත් විමසා බලමින් (පච්චවේත්ඛිත්වා ප්‍රාත්‍යවේක්‍ෂා කරමින්) කැඩපතින් මුහුණ පිරිසුදු කරගන්නාක් මෙන් අවැඩදායක දෙයින් සම්පුර්ණයෙන් වැළැකී සිටීමට උත්සාහ කළ යුතුවේ.

එම කියන කරන සිතන දේ තමාට අහිතක් පිණිසවේද අනුන්ට අහිත පිණිස වේද උභය පක්‍ෂයටම අහිත පිණිස වේද එසේ නම් එය නොකටයුතුයයි අවවාද කළ සේක. මෙම කරුණු මැනවින් වටහාගත් පුංචි රාහුල හාමුදුරුවන් ශීල ගුණයෙන් ද එසේම සමථ විපස්සනා භාවනාවන්ගෙන් හා ප්‍රඥාවෙන් පරිපූර්ණව නිවන් සුව සලසා ගත් සේක.

ඔබද පුංචි රාහුල හිමියන් මෙන් දුර්ලභ මනුෂ්‍යත්වය සඵල කැර ගැනුමට තුන්දොර සංවර කර ගැනුමට අධිෂ්ඨාන ශීලි විය යුතුය.

සියලු පව් දුරුකොට
සියලු පින්කම් සිදුකොට
පිරිසුදු සිත් වන්න
එයයි සම්බුදු සමිදු උපදෙස

තෙරුවන් සරණයි


ධර්ම දානයට දායක වීමට මහඟු අවස්ථාවක්

බුදුසරණ ධර්ම දේශනා ලිපිය මෙම පිටුවෙහි පළවේ. එබැවින් ඔබටත් ධර්ම දානමය පින අත් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වී ඇත.

ඔබගේ දයාබර මවුපියන්ගේ හෝ දූ පුතුන්ගේ උපන් දිනය සමරුවට ආශිර්වාද පිණිස සෙත් පැතීමටත්, පරලොව සැපත් නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් එසේ ධර්ම දානයට ඔබට දායක විය හැකි ය.

එසේ ධර්ම දානයට දායක වන සැදැහැවතුන්ගේ නම් හා අදාළ එක් ඡායාරූපයක් (සෙ.මී. 4 1/2) සහිත දායකත්වය පිළිබඳ විස්තර මෙම පිටුවෙහි පළ කැරේ. සියලු විස්තර අලෙවි හා ශාඛා කාර්යාල අංශයේ 0777 270091 හෝ 2319741 දර්ශ ගෙන් විමසා දැන ගත හැකිය.

අද දායකත්වය: කඹුරුපිටිය මාපලානේ විසූ විශ්‍රාමලත් විදුහල්පති සුගතපාල ගොඩවත්ත මහතාට සහ එම මහත්මියට නිවන් සුව පතමු.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]