නවම් පුර පසළොස්වක පෙබරවාරි 07
වනදා අඟහරුවාදා
ආයුබෝවන්!
ඔබට තුනුරුවන් සරණයි
බෞද්ධයාට බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ, තෙරුවන් පිහිට හැර
අන් පිහිටක්, අන් සරණක් වෙනත් නැත.
ඒ නිසාම අපේ මුතුන් මිත්තන් දවස උදේ පටන් රාත්‍රී නින්දට යන
මොහොත දක්වාම සෑම කටයුත්තකදීම පෙරටු කර ගත්තේ තෙරුවන් ය.
නිවසෙන් බැහැරට යන විට පාසලට, රැකියාවට යන විට ස්වකීය මවට,
පියාට, දෙපා නැමඳ එම ගමන යාමේ සිරිතක් එදා සිට පැවතිණි. එපමණක්
නොව රාත්‍රී නින්දට යන විටද මවුපියන්ගේ දෙපා නැමැද නින්දට යාම
සිරිතක්ව පැවැති හෙයින් එහිදී තම දුවගේ හෝ පුතාගේ හිසට අත තබා
මගේ රත්තරන් දුවට පුතාට බුදුසරණයි. තෙරුවන් සරණයි. කියා
ආශීර්වාද කිරීමටද දෙමාපියෝ අමතක නොකළහ. එය අපගේ බොදු
සංස්කෘතියේ උදාර ලක්‍ෂණයක් විය. එහෙත් ඒ උතුම් සිරිත් විරිත්
කලකට පෙර අපෙන් ගිලිහී ගොස් තිබූ බව නම් කිව යුත්තකි.
එහෙත් අද අපේ රට පෙරට වඩා දේශීයත්වය අගයන බව කෘතවේදීත්වයෙන්
සිහිපත් කළ යුතුව ඇත. දේශීයත්වය නම් අපේ දේ ඇගැයීමට අපේකම
ආරක්‍ෂා කර ගැනීමයි. රට දැයෙහි පිනට පහළ වන දේශීයත්වය අගයන
ජනනායකයන් රටටම සපයන ආදර්ශය සැබැවින්ම අගය කළ යුතු ය.
අප ගමනක් බිමනක් යන එන විට ඉදිරියට මුණ ගැසෙන තමන් දන්නා හඳුනන
අයකු වෙත ආයුබෝවන් යැයි කීමට තරම් ලාංකිකයා නිහතමානීය. එසේ
ආයුබෝවේවායි දිගාසිරි පතා ආමන්ත්‍රණය කිරීම මොනතරම් නම් ශිෂ්ට
ක්‍රියාවක් ද?
මේ වන විට දුරකථනයෙන් ඇමතුමක් ලබා ගන්නා බොහෝ රාජ්‍ය හා
පුද්ගලික ආයතන ග්‍රාහකයාට පිළිගනු ලබන්නේ ‘ආයුබෝවන්’ යැයි
පවසමිනි.
‘ගුඩ් මෝ(ර්)නින්’ යැයි කියා උදෑසන හමුවන, අමතන බොහෝ දෙනාද අද
‘ආයුබෝවන්’ කියා පිළිගැනීමට පෙළඹී සිටීම මහත් වාසනාවකි. සතුට
දනවන්නකි. දුටු විගස ‘හායි’ ‘බායි’ ‘ටටා බායි’ කියූ බොහෝ දෙනාද
අද තෙරුවන් සරණයි, බුදුසරණයි කියා ආශීර්වාද කිරීමට පෙළඹී සිටීම
මහත් සතුටකි.
ඉහත සඳහන් කළේ බස් රියේ, දුම්රියේ සහ මඟ තොටේ දීත්, කඩපළේදීත්
බොහෝ ස්ථානවල දීත් ඇසෙන හා ඇසුනු කථාය.
වෙසෙසින්ම වත්මන් තරුණ පෙළ හෙළ හැදියාව, බොදු හැදියාව අගයන
පිරිසක් බවට පත්වී තිබීම සුබ නිමිත්තකි. බුදුසරණයි, තෙරුවන්
සරණයි වැනි කලක් අපෙන් ගිලිහී ගිය ඒ උතුම් වදන් අද ජංගම
දුරකථනයෙන් කතා කරන ජංගම දුරකථනයට පිළිතුරු දෙන බොහෝ තරුණ
තරුණියන්ගෙන් මුවින් ඇසෙන්නට ලැබීමද සතුටකි. වරද දටු විට ඒ වරද
වරදක් ලෙස පෙන්වාදීම මිනිස්කම මෙන්ම යහපත, හොඳ දුටු විට එයද
මෙත් සිතින් අගය කිරීමට ද අප පුරුදු විය යුතුමය.
ඇතැම් මවුපිය වැඩිහිටියන් බොහෝ විට තම තරුණ දූ පුතුන්ට
දෝෂාරෝපනය කරනවා හැර ඔවුන් ඇගැයීමට ලක් කරනුයේ කලාතුරකින් බව
කණගාටුවෙන් වුවද කිව යුතු ය. කාරුණිකව තරුණ පෙළට යමක් අවබෝධ
කරදීම මව්පිය වැඩිහිටි යුතුකම වේ.
හරි හෝ වැරැදි අනුකරණයේ රැල්ලට නිරන්තරයෙන් යොමු වන පිරිසකි
තරුණ පෙළ. ඒ පිරිස අතුරෙන් නොදැනුවත්කම නිසා හෝ අතපසුවීමෙන් හෝ
ගිලිහීයාමට තිබූ යහපත් සමාජ චාරිත්‍රයක් මේ වන විට මහත් ඉහළින්
පිළිගැනීමට සියලු දෙනාගේම අවධානයට යොමු වී ඇති බව නම් කිව
යුතුමය.
එබැවින් අපේ මුතුන් මිත්තන් මහත් ඕනෑකමින් රැකගෙන ආ ඒ උදාර
බෞද්ධ සංස්කෘතිය දැයේ පිනට ඔපවත් වන අයුරු පෙනේ. එය රට, දැයට
සුමඟට යොමු කළ කොළ එළියක් වනු ඇත.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසරේ දී බොදුනුවා තම තමන්ගේ
ජීවිතයේ සදා මතකයේ රැඳෙන යහගුණ හැකිතාක් ජීවිතයට ළං කර ගැනීම
තමන්ට මෙන්ම සමාජයට මහත් සෙතක් වනු ඇත. අපි නිවැරැදි දේ ඉගෙන
ගනිමු. ඉගෙන ගත් දේ පිළිපදිමු. එය ක්‍රියාවට නංවමු. එය හොඳ
හැදියාවටත්, බොදු හැදියාවටත් මහත් ආලෝකයක් වනු ඇත.
ජීවිතයකින් එවන් සුළු යමක් හෝ ක්‍රියාවට නංවා සමාජයට ආදර්ශයක්
සපයමු. ජීවිතය ජීවත් කරවීම සඳහා මිල මුදල්, භෞතික සම්පත්
අවශ්‍ය වන්නා සේම, ගුණ දහමත් අත්‍යවශ්‍ය වන බව සිතන්නේ නම්
හැමදාමත් ජීවිතයකට එන කරදර බාධක ඉතා ඉවසීමෙන් විසඳා ගත හැකි
වනු ඇත. එබැවින් යහපත් දේ අගයා එය ආරක්‍ෂා කරමු. යහපත තුළින්
යහපතම මිස අයහපත නම් නොසිදුවනු ඇත. |