UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව මගින් “උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” ගෞරව නාමය සහිත රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ලබන

කලවානේ ආනන්ද නා හිමි

සන්නස් පත්‍ර ප්‍රදානය 28 වන දා

හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමාධිපති හා මොල්ලිගොඩ ප්‍රවචනෝදය පරිවේණාධිපති කලවානේ ආනන්ද හිමියන් වෙත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව මගින් “උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” යන ගෞරව නාමය සහිතව රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය ජනවාරි 28 වන දා පස්වරු 3 ට කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී රාජකීය පණ්ඩිත සාහිත්‍යශූ®රී අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් ප්‍රධාන කාරක මහා සංඝ සභාව සහ සබරගමුව ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ඇතුළු ගිහි භවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කැරේ.

පිළිගැනීමේ මහෝත්සවය 29 වනදා

අභිනව නා හිමියන් පිළිගැනීමේ මහෝත්සවය මෙම 29 වනදා පස්වරු 3 ට හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති කේට්ටේ කල්‍යාණී සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ප්‍රධාන මහ සඟ රුවනෙහි සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගිත්වයෙන් සිදු කැරේ.
 


බලවත් සතුටට හේතුවක්

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍රධර්ම මහාසංඝ සභාවට අයත් ඉපැරණි විහාරස්ථානයක් වන හොරණ හල්තොට ඉන්දජෝත්‍යාරාම විහාරයෙහි අධිපති කලවානේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමන්නට ලැබීම බලවත් සතුටට හේතුවකි.

උගත් ධර්ම විනයධර මහා යතිවරයන් වහන්සේලාගේ අවශ්‍යතාවය වඩාත්ම දැනෙන මෙම යුගයේ උන්වහන්සේ වැනි දක්‍ෂ යතිවරයන් වහන්සේලා වැඩ සිටීම ශාසනයේ භාග්‍යයකි. මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙනෙහි අප ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන කල්හි සමකාලීනව එම පිරිවෙනෙහිම අධ්‍යාපනය ලැබූ ආනන්ද හිමියන් ඇසුරු කරන්නට ලැබීමෙන් උන්වහන්සේව මා මැනවින් හඳුනාගෙන සිටියෙමි. එ සමයෙහි දක්‍ෂ ශිෂ්‍යයෙකු ලෙස ප්‍රචලිතව සිටි ආනන්ද හිමියෝ පිළිවෙළින් පිරිවෙන් අධ්‍යාපනය අවසන් කොට උසස් අධ්‍යාපනයට පිවිස ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති හා අධ්‍යාපනපති ආදි සුදුසුකම් මෙන්ම ප්‍රාචීන අධ්‍යාපනය තුළින් ලැබිය යුතු මනා පරිචය ද දක්‍ෂ ලෙස ලබා ගත්හ.

පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විදුහල්පතිවරයෙකු දක්වා ද පිරිවෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන වැනි උසස් ආයතනයක පරිවේණාධිපති දක්වාද ගමන් කළ උන්වහන්සේ පොත් පත් රාශියක් රචනා කළ ග්‍රන්ථ කතුවරයෙක්ද වෙති. දක්‍ෂ දේශකයෙක් මෙන්ම දායක කාරකාදීන් මනා ලෙස හසුරුවන විහාරාධිපතිවරයෙක්ද වෙති.

මෙම සියලු සුදුසුකම්වලින් මෙන්ම නායක පදවියක් ලැබීමට තරම් වයෝවෘද්ධත්වයෙන් ද පිරිපුන් උන්වහන්සේට රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය අප සංඝ සභාව මගින් පිරිනමන්නට ලැබීම බලවත් සතුටට හේතුවක් බව ප්‍රකාශ කරන අතර උක්ත තනතුරෙහි ක්‍රියාකාරීව කටයුතු කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිංසනය කරමි.


උදාර සේවාව අගය කිරීමක්

කිසියම් භික්‍ෂුවක් ව්‍යක්තවූයේ විසාරද වූයේ බහුශ්‍රැතවූයේ ධර්මධරවූයේ ධර්මයට අනුව හැසිරීම ගොඩනගා ගනුයේවේ ද එබඳු භික්‍ෂුව සංඝ ශෝභන යයි කියනු ලැබේ. එබඳු උත්තමයෝ සංඝ සමාජයට ආදර්ශයක්ම වෙති. හොරණ හල්තොට ඉන්දජෝත්‍යාරාමාධිපති මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන්පති අධ්‍යාපනපති කලවානේ ආනන්ද මාහිමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එබඳු මහා යතිවරයෙකි.

සම්භාවනීය ඇදුරු පරපුරක ප්‍රවෘජ්‍යාවට පත්ව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙනින් අධ්‍යාපනය ලබා අනතුරුව විශ්වවිද්‍යාල තුළින් පශ්චාත් උපාධි අධ්‍යාපන සුදුසුකම් ලබා පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් ධර්මාචාර්යවරයෙකු වශයෙන් ද දායක කාරකාදීන්ගේ චිත්ත ප්‍රසාදය ලබාදෙන ආදර්ශවත් විහාරාධිපතීන් වහන්සේ නමක වශයෙන් ද බුද්ධ වචනය නොඉක්මාව දම් දෙසන ව්‍යක්ත දේශකයාණන් කෙනෙකු වශයෙන් ද ශ්‍රී ලංකාද්වීපයෙහි අග්‍රගණ්‍ය පරිවේනස්ථානයක් වන මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙනෙහි වර්තමාන පරිවේණාධිපතින් වහන්සේ ලෙසින් ද කලවානේ ආනන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරනු ලබන ධර්ම ශාස්ත්‍රීය සේවය පිළිබඳව අපගේ බලවත් ප්‍රසාදය පළකර සිටිමු.

උන්වහන්සේගේ එම උදාර සේවාව අගය කිරීම්වස් අපේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාව මගින් “උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” යන ගෞරවනාමය සහිතව රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය උන්වහන්සේට පිරිණමන්නට ලැබීම අප ලද භාග්‍යයක් කොට සලකමින් උන්වහනසේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.


සැමගේ ගෞරවාදරයට පත් මහ තෙරනමක්

හල්තොට ලෙනවර ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමාධිපති, ශාස්ත්‍රපති හා අධ්‍යාපනපති, ගෞරවාර්හ කලවානේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත, කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංසද් වර්ගික කාරක සංඝ සභාව මගින් “ උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” යන ගෞරව නාම සම්මුතිය සහිත රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇති බව ඇසීමෙන් මම බලවත් සතුටට පත්වීමි.

සසුන් කෙතට ඇතුළත්ව වසර 55 ක් වැනි දිගු කාලයක් තුළ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයටත්, ජාතික හා ශාසනික සේවයටත්, කළ මෙහෙවර අති උදාරය. බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසත්, මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙහි වත්මන් පරිවෙණාධිපති ලෙසත්, අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් ඉටු කිරීමට උන්වහන්සේ සමත් වූහ.

විශේෂයෙන් තම ආරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරමින් සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා අති උදාර කාර්යයන් රැසක් ඉටු කරන උන්වහන්සේ ගිහි පැවිදි සැමගේ ගෞරවාදරයට පත් මහා තෙරනමකි.

උන්වහන්සේ ඉටු කළ උදාර ශාසනික මෙහෙවර ඇගයීමට මෙම අභිනව තනතුර පිරිනැමීම අතිශයින් කාලෝචිතය. උපාලි වංශාලංකාර විමල කීර්ති ශ්‍රී රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ගෞරවාර්හ කලවානේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


සමාජයට ඉටුකරනුයේ අමිල සේවාවක්

බණ්ඩාරගම මිල්ලනිය හල්තොට, ලෙනවර ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති අධ්‍යාපනපති පූජ්‍යපාද කලවානේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත කෝට්ටේ රජමහා විහාරස්ථ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් “උපාලි වංශාලංකාර විමල කීර්ති ශ්‍රී‍්‍ර” යන ගෞරව නාමය සහිතව රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ පුවත අසා මා බලවත් සතුටට පත්වීමි. මහා සඟ රුවන අතර මෙන්ම දායක කාරකාදින් අතරත් ඉමහත් ගෞරවයට පාත්‍රව සිටින පූජ්‍යපාද කලවානේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ප්‍රදේශයේ ලොකු කුඩා සැමගේ ධර්ම ඤාණය වැඩිදියුණු කිරීමෙහිලා කැපවී කටයුතු කරන අතරම ආගමික, අධ්‍යාපනික, සාමාජිය හා අධ්‍යාත්මික වශයෙන් සමාජයට ඉටුකරනුයේ අමිල සේවාවකි. බුද්ධශාසනයේත්, රට දැය සමය සඳහාත් උන්වහන්සේ සිදු කරන ලද අපරිමිත සේවාව තවදුරටත් පුළුල් පරාසයක් තුළ විහිදුවීම සඳහා, අභිනව සංඝනායක පදවිය මහා ශක්තියක් බව සඳහන් කරමි.

රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍යපාද කලවානේ ආනන්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සිදු කරනු ලබන ආගමික, සාමාජික සේවාවන් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.
 


සතුටට හේතුවේ

හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පැළඳවීමේ පූජෝත්සවයට මා පසුගිය දිනක සහභාගි වූ අවස්ථාවේ විහාරාධිපති කලවානේ ආනන්ද හිමිපාණන් වහන්සේ බැහැදැකීමට අවස්ථාව උදාවිණි.

ඒ කතාකළ මොහොතේ උන්වහන්සේ තුළ පිහිටි බෝධිසත්ව ගුණ සමුදායක් පිළිබඳව මා සිත තුළ තැන්පත් වූයේ අපිරිමිත භක්තියකි. එසේම මුන්වහන්සේගේ ආගමික, අධ්‍යාපනික හා සමාජීය සේවාවන් පිළිබඳවත් පිහිටා ඇති නායකත්ව ගුණාංග පිළිබඳවත් හඳුනා ගැනීමට මට හැකිවිය. එය අද මේ මොහොත වන විට සාක්ෂාත් වී ඇති අයුරු සන්තෘෂ්ඨියට හේතුවේ. නායකත්වයක් ලැබීමට නම් සුවිශේෂ වූ නායක ගුණාංග පිහිටා තිබිය යුතුය. ඒ සියල්ලන්ගෙන් පෝෂිත වූ හිමිනමක් වශයෙන් අපේ කලවානේ ආනන්ද නාහිමියන් හදුන්වාදීම අතිශයෝක්තියක් නොවන්නේය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් “උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” යන ගෞරව නාමය සහිතව රයිගම් කේරළ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව මාගේ බලවත් සතුට ප්‍රකාශ කරන අතර, දළදා සමිඳු සරණින් කලවානේ ආනන්ද නායක හාමුදුරුවන්ට රට දැය සමය වෙනුවෙන් තව බොහෝ කලක් ශාසනික මෙහෙවරේ නිරතවීමට ශක්තිය ,ධෛර්යය හා චිර ජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට දළදා සමිඳු සරණයි.


කලවානේ ආනන්ද නා හිමි

කලවානේ ආනන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ආදර්ශවත් යතිවරයෙකි. උන්වහන්සේ 2012.01.28 දින කෝට්ටේ කල්‍යාණ ශ්‍රී‍්‍ර සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් “උපාලි වංශාලංකාර විමල කීර්ති ගෞරව නාමය සහිතව “රයිගම් කෝරළ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති. එය හල්තොට ගමට රයිගම් කෝරළයට පමණක් නොව සමස්ත දිවයිනටම අභිමානයක් වනු නියතය.

රත්නපුර පැල්මඩුල්ල පාතකඩ පදිංචි වී සිටි මුත්තාගේ මහගෙදර නමින් ප්‍රචලිත නිවසේ විසූ, ඩී.එන්. ලොකුවිතාන සහ හීන්මැණිකේ කොඩිතුවක්කු දම්පතීන්ට දාව 1942 ජනවාරි 11 වන දින පින්වත් කුමරෙකුගේ උපත සිදුවිණි. ඒ අපගේ කථානායකයාණන් වහන්සේ වන කලවානේ ආනන්ද නාහිමිපාණන්ය.

මේ කුමරු පාතකඩ මීදලන දෙටු පාසලින් මූලික අධ්‍යාපනය හදාරා අනතුරුව කලවානේ ජ්‍යෙෂ්ඨ මහා විද්‍යාලයට ප්‍රවේශ වී මනා ලෙස අකුරු කර අත.

කුඩා කල සිටම ගමට මහත් ලැදිකමක් දැක්වීමත් අවිහිංසාවට මුල් තැන දෙමින් කටයුතු කළ මේ කුමරු මහණ දම් පිරීමේ මහඟු බලවේගයන් විද්‍යාමාන වූ බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වූ මව්පියන්, පියාණන් ගේ උපන් භුමිය වූ හොරණ වැලිකල ප්‍රදේශයට ආසන්න හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාම යේ එවකට වැඩ විසූ ගල්තුඩේ පුඤ්ඤානන්ද නාහිමියන්ට මේ කරුණු අවධාරණය කිරීමෙන් සතුටට පත් වූ උන්වහන්සේ, මව්පියන්ගේ අදහස සනාථ කරවමින්, මේ කුමරුන් භාර ගනිමින්, උන්වහන්සේ ප්‍රමුඛව හල්තොට පියදස්සි ලොකු හාමුදුරුවන් වහන්සේ සහ උඩුවේ ජනානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේලාගේ උපාධ්‍යාත්වයෙන් හා මොල්ලිගොඩ අරියවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1956 මාර්තු මස 21 වන දින ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමයේදි ප්‍රවෘජා භූමියට පිවිස ගන්නා ලදී.

කලවානේ ආනන්ද පොඩි හාමුදුරුවෝ පිරිවෙන් අධ්‍යාපනය සඳහා මොල්ලිගොඩ ප්‍රවචනෝචදය පිරිවෙනට ඇතුලත් වී දහම් පොත් පත් හදාරමින් පසුවන කල්හි, 1962 ජුනි 14 වන දින කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලැබූහ.

ත්‍රිපිටකාචාර්ය තල්පිටියේ සද්ධාරාම හිමියන්ගේ අපවත්වීමෙන් පසු හල්තොට ලෙනවර ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාම ආධිපත්‍යයට පත්වූ මුන්වහන්සේ එතෙක් විහාරස්ථානය තුළ පවත්වාගෙන ආ ආගමික සේවාවන් තව තවත් පුළුල් කරමින් කටයුතු සංවිධානය කළහ. පෙර විසු විහාරාධිපතීන් වහන්සේලාගේ ක්‍රියා විලාශයන් වල අනන්‍යතාවය රකිමින් ඒවා තව දුරටත් තීව්‍ර වන ආකාරයේ වැඩ පිළිවෙලකට අවතීර්ණය වීම සිදු වූයේ මේ අවධියේය.

දහම් පාසල ක්‍රමවත් කිරීම, පුස්තකාල සංවර්ධනය ශ්‍රී ධම්මිකා ආදි ශිෂ්‍ය සංගමය මගින් කුඹුරු කොටසක් මිලදී ගෙන දහම් පාසල් ආහාර වේල සවිමත් කිරීම ආදිය සිදු කළහ. නියෝජ්‍ය විහාරාධිපති පලුවැල්ගාලේ රතනසාර හිමියන්ගේ මූලික ධන පරිත්‍යාගයෙන් හා දායක සභාවේ අනුග්‍රහය ඇතිව නව ආවාස ගෘහයක් ඉදිකරවීම ඇතුළු නව විහාරාංග කරවූහ.

මූලික පිරිවෙන් අධ්‍යාපනයෙන් උසස් ලෙස සමත් වූ ආනන්ද හිමියන් උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ශාස්ත්‍රවේදි උපාධිය හිමිකර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියද විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්හ. මුන් වහන්සේ විසින් මොල්ලිගොඩ ශ්‍රී අරියවංශ නාහිමි, ලබුගම ලංකානන්ද නාහිමි, මහාචාර්ය උඩුවේ ජනානන්ද නාහිමිවරුන්ගේ පා සෙවණේ සිට ලබාගත් ධර්ම ශාස්ත්‍ර ඤාණය මුන්වහන්සේගෙන් මතු සිදුවූ ධර්ම ශාසනීය සේවාවන් වලට මහගු උපකාරයක් වී ඇත.

මුන්වහන්සේ ප්‍රථම ගුරු පත්වීම පිණිස තම ආදරණීය තක්‍ෂලාව වූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන තෝරා ගනිමින් එහි සේවයට පිවිසියහ. මුන්වහන්සේට රාජ්‍ය සේවයේ ගුරුපත්වීමක් පිරිනැමීමත් සමග මැටිගහතැන්න මහ විදුහලට ද අනතුරුව ලුනුගල මහ විදුහලටද, පස්සර මධ්‍ය මහා විද්‍යාලයට වැඩම කරමින් උදාර සේවයක් සිදුකොට ඇත. මුන්වහන්සේ නැවතත් වසර 16 ක්ම බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති තනතුරු දරමින් සිට 2002 රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන ලදී.

අනතුරුව ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමයේ නිරන්තරව වැඩවෙසෙමින් භාවනා යෝගීව ධර්ම ත්‍රිපිටකය ඉගැන්වීම ආදි ශාස්ත්‍ර සේවාවන් රැසක නියෙලමින් බෞද්ධ පොත් පත් රැසක්ම ලියා ප්‍රකාශයට පත් කරන ලදී. මෙසේ විහාරස්ථානයේ වැඩවෙසෙමින් සිටි මොහොතක විහාර ගණයේ බහුතර ස්වාමින් වහන්සේලාගේ බලවත් ඉල්ලීම මත 2010 ජූලි 01 දා සිට මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් පරිවෙනාධිපති ධූරයට පත් වන ලදී.

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 22 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]